Friday, October 13, 2017

මරනවද?... කකුල් කඩනවද?


හීනයානයේ ඥානහීන පිළිවෙත පිළිබඳ අවලෝකනයක්


සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ හිටපු උප සභාපති, ජාතික අධ්‍යාපන මණ්ඩලයේ ලේකම්ප්‍රියන්ත දයාරත්න


වෙසක් සතියේ අලුත් පුවතක් අසන්නට ලැබුණා. ඒ තමයි අලුතෙන් පත් කරන්නට ගිය “බෞද්ධ ප්‍රකාශන  නියාමන කමිටුව” ගැන විස්තර. ඒකෙන් කරන්නට  හදන්නේ බෞද්ධත්වයට එරෙහි කෘති පළවීම වළකන එක. බැලූ බැල්මට වැඬේ නරක නැහැ. එහෙම පෙනුනට මේ  කමිටුවට ගොනු වන අනවශ්‍ය බලය විසින් නිදහසේ පතපොත සකස් කිරීමට ඉඩ ඇහිරීම ආරම්භ වේවි. සමහර විට මේ වැඬේ නිකායවාද තුනක මතිමතාන්තරවල බලපෑම් දක්වාත් දිග හැරෙන්නට පුළුවන්. අවසානයේ බුදු දහම වගේ නිදහස් දහමක තියෙන හර පද්ධතියට පටහැනි බලාධිකාරයක් විසින් මෙතරම් සමාජය ජරාජීර්ණ වුණත් රැකිලා තිබුණු විස්වාසය ඉතිරි ඉඩකඩත් ඉවර කර දානවා.

මේ වගේ අධිපතිවාදයක් කළඹමින් තිබෙන  මොහොතක සර්පයාගේ ‘නේරංජනේ’ යළි පළවීම  ඓතිහාසිකව  වටිනවා. මොකද මේ වගේ කෘතියක් අප කථා කරපු අර නියාමන කමිටුවට ඉදිරිපත් කරන්නට වත් ලැබෙන එකක් නැහැ. කමිටුවේ ඇත්තන්ගේ කෙළෙස් තද වෙයි කියල හිතල පොත අතින් අල්ලන්නවත් ඒ අය බය වෙයි.

අපටත් ඒ වගේ කාලයක් තිබුණා. අසූව දශකයේ අග වෙනකොට ජවිපෙ ප්‍රචණ්ඩත්වයේ වගේම රාජ්‍ය  මර්දනයේ පීඩාවත් එක්ක අපට අලුත් යමක් අවශ්‍ය  වෙමින් තිබුණා. “දිවයින” පුවත්පතත් එක්ක  ඇවිළෙමින් තිබුණු ජාතිකවාදී සංවාද අපේ හිත්වල අලුත් උද්වේගයක් ඇති කරමින් තිබුණා. පාසල් සමයත් එක්ක අපගේ  දේශපාලන උනන්දුව ‘කොමියුනිස්ට් පක්ෂයත්’ එක්ක  (හරියටම කියනවා නම් සරත් මුත්තෙට්ටුවේගම වගේ  දයාවන්ත මිනිසුන් එක්ක බැඳිල තිබුණ.) ජවිපෙට එරෙහිව ගොඩනැගිල තිබුණත් ඔවුන්ගේ දේශප්‍රේමී සටන් පාඨ අපව  ජාතිකවාදයකට කැඳවනු ලැබුවා. ආචාර්ය නලින්ද සිල්වාගේ ජාතිකවාදී පිවිසීමත්, එතුමන්ගේ  ‘මගේ ලෝකය’ කෘතිය පළවීමත් සමඟ අපේ ජාතිකවාදී අදහස්වල කූට ප්‍රාප්තිය  සිදුවුණා.

මේ පසුබිමේ හිඳගෙන තමයි අපට “නේරංජනේ    ඉස්නානේ” කියවන්නට ඉඩ ලැබුණේ. එහෙම වුණත් “චින්තන  පර්ෂදයේ” මේ කෘතිය සංවාදයට ලක් වුණේ නැහැ. එහෙම වුණාට ජාතිකවාදයේ ප්‍රායෝගික භාවිතාවක් ඉල්ලා  සිටින්නන් ගාල් කරගත් වෙනත් සමාජ කණ්ඩායම් මේ පොත කතාවට ගත්තා. කතාවට වඩා මේක ගත්තෙ ‘බයිට්’ එකට බව තමයි දැන් පෙනෙන්නේ. එහෙම කියන්නේ මේ කෘතියට පසුබිම් වන තාන්ත්‍රික අදහස් ගැනවත් යමක් කථා නොකර හුඟක් මතුපිට කතාවකට ‘නේරංජනේ’ මැදිකර ගත්ත නිසා. මේ කතාබහ අන්තිමට ලියපු මිනිහව මරන්න ඕනිද, කකුල් කැඩුවම ප්‍රමාණවත්ද කියන තරම් පහළට වැටුණා.

මේ තත්ත්වය ඇති වුණේ නොදැනීම නිසා,  විශේෂයෙන් ථෙරවාදයෙන් එපිට සම්ප්‍රදායයන් ගැන ඇති අනවබෝධය නිසා නොවෙයි. ඒ සම්ප්‍රදායන් පිළිබඳව  අධ්‍යයනය වෙනම දාර්ශනික තලයක තියාගෙන, සමාජගත ප්‍රායෝගික දේශපාලනමය ප්‍රතිවාදියා නැතිනම් ‘තමාගේ අනෙකා’ ගොඩනඟමින්, තමන්ගේ තිබෙන සමාජ බලවේගයක්  වීමේ ලුහුඬුතාවන් මකාගෙන තමන්ගේ කණ්ඩායම්  පැවැත්ම තහවුරු කර ගැනීමක් සිදු වුණා. මේ තත්ත්වය අද අපටම පෙනෙන්නේ ක්‍රමිකව වැඩී ආ ජාතිකවාදයට වැළඳුණු ‘වලිප්පුවක්’ හැටියටයි.

බලය වෙනුවෙන් මිනී මරණ, ලිංගික කුහකකම් වෙනුවෙන් වධ බන්ධන පමුණුවන ම්ලේච්ඡ ප්‍රවේශයක් මේ ධාරාව හරහා ගොනු නොවුණොත් ඒක පුදුමයක් බවට අපට වැටහෙන්නටත් ‘විංශතියක්’ ගෙවුණා. අවසානයේ  ජාතිකවාදීන් භේද භින්න වී පොදු අරමුණ කඩාකප්පල් වුණා.

බටහිර ලෝකයේ පල්ලි වැසී යන හැටි, පන්සල්  ඉදි වන හැටි අපට බණටත් ඇහෙනවා. ලොව පුරා බෞද්ධ දාර්ශනික සංවාදයක් දැල්වෙන බව මුසාවක් නොවෙයි  වුණාට බටහිර සමාජයට තන්ත්‍රයානිකයන් කරපු, කරන බලපෑම ගැන විමසීමක් ඒ වගේ බණවල කියැවෙන්නේ නැහැ. භාවනාව ගැන පුළුල් භාවිතයක් ඇති වෙමින් යන මේ  කාලයේ තිබ්බත භාවනාවන් වගේම, සෙන් භාවනාවන් වේගයෙන් පැතිරෙනවා. ලෞකික ප්‍රහර්ෂයේ රළ පහරත්  යොදා ගනිමින් විමුක්තියට පත් වන අයුරු දක්වන තාන්ත්‍රික ඉගැන්වීම් නූතන බටහිර විද්‍යා මෙවලම් (පිරමීඩ ආදී) යොදා ගනිමින් තවදුරටත් තාර්කික ප්‍රවේශයකින් මතුවෙනවා. මේ කිසිවක් නොසළකා අපගේ ථෙරවාදී යැයි කියා ගන්නන්ගේ කටයුතුවලට ධනය ආයෝජනය වෙනවා.

මේ තත්වයේදී සිල් රකින්න හදන, ධ්‍යාන තලවලට පත්වන ගිහියන්, මාර්ග ඵල නිවේදනය කරන පැවිදි ගිහි භවතුන් වගේම ව්‍යාපාර ගොඩනගන, දෙවුර වහන, මාධ්‍ය  කළත්තන පැවිද්දන් බෝ වනවා. මෙවැනි විපරීත ශාසන  ව්‍යාපෘති අතරේ ව්‍යාජ ජාතිකවාදී විකාර දකිමින් සමාජයම විස්සෝපයෙන් වෙළෙනවා.

මුල් බුදු සමයෙන් සර්ව අස්ථිවාදය, සෞත්‍රාන්තික,  යෝගාචාර, මාධ්‍යමික සම්ප්‍රදායන් බෙදී ගිය ඓතිහාසික  තත්වයන් අද විමසන්නේ නැහැ. මොරටුවෙ ශාසනරතන  හාමුදුරුවන් මහත් වැර වෑයමෙන් මාධ්‍යමික  සම්ප්‍රදායේ මූල ග්‍රන්ථ සිංහල පාඨකයන් වෙතට ගෙනාවා. මෑත  කාලයේ හිරිපිටියේ පඤ්ඥාකිත්ති හාමුදුරුවන් පුළුල් හා පරිපූර්ණ ආකාරයට නාගාර්ජුනපාදයන්ගෙන් පටන් අරගෙන නිචිරෙන් හාමුදුරුවන්ගේ භාවිතාව දක්වාම මූලග්‍රන්ථ හා මූලධර්ම ඇතුළත් පුළුල් විවරණයක් සිදු කළා. තවත් ගිහි භවතුනුත් මේ වැඬේට හුඟක් දායක වුණා. කොහොම වුණත් “කසාද නිකායක්” හැටියට මහායානය හඳුන්වා දුන් යුගය අවසන් කිරීමේ තාන්ත්‍රික මතවාද විවෘතව සමාජයේ සංවාද කරන්නට ඇති පසුබිමක් ගොඩනඟා ගන්නට “නේරංජනේ’ නව ආරම්භයක් හදනවා.

ක්‍රිෂ්ණමූර්තිතුමන් වෙනුවට ඕෂෝ සමාජගත වන්නේ මේ නිසඟ වෙනස වගේම විකාශනයත් ගැන සන් කරමින්. අභයගිරි සම්ප්‍රදායයේ පැවති ලෞකික ශාස්ත්‍රයන් ගැන පුළුල් අධ්‍යයනයක් ගොඩනැගෙන්නේත් මෙයට පරිවාර වශයෙන්. තවදුරටත් “තිරශ්චීන විද්‍යා” ලේබලය යොදා ජ්‍යොතිෂ්‍යය, වාස්තු, යන්ත්‍ර මන්ත්‍ර, කෙම් ක්‍රම යටපත් කරන්නට යොදා ගත් නූතන බටහිර විද්‍යාවම අද ඒවායේ සම්මුති පැවැත්ම  වෙනුයෙන් අවදිවෙමින් තිබෙනවා. පුරාතනයේ  සුවඳේත්, නූතනයේ ආලෝකයේත් එකතුවක් ආකාරයෙන් ගොඩනැඟෙන නව ලෝකයට ‘නේරංජනේ’ විරෝධාකල්පයක්  නොවෙයි ප්‍රභා මණ්ඩලයක්.

ඉදිරියේ ගොඩනැගෙන්නේ ‘ඥාන ප්‍රස්ථානයත්’  ‘යෝගාචාර භූමි ශාස්ත්‍රත්’, ‘මූල මාධ්‍යමික කාරිකාවත්’,  ‘සද්ධර්ම පුණ්ඩරීකයත්’, ‘විමුක්ති වග්ගත්’ එක්ක එකට තියාගෙන ඕෂෝ කියවන යුගයක්. එතනදි අපට ‘නේරංජනේ’ සමෝධානීය කතිකාවතක ඓතිහාසික කෘතියක් බව නම්  නිසැකයි.

බුදුවරුන් වෙනුවට බුදුවරියන් පිළිබඳ විචිත්‍රත්වයෙන් යුතු ගෞතම බුද්ධ ශාසනයේ ගමනට සමගාමී තේමාවකින් යුතු ‘නේරංජනේ’ කෙරෙහි එදාත්, අදත්, හෙටත් මතු කෙරෙන කලහය විවේක බුද්ධියෙන් තොරව තම බලව්‍යාපෘතියේ හා තමන්ගේ සමාජ පැවැත්ම වෙනුයෙන් කරන්නක් මිස ශාස්ත්‍රීය සංවාදයක අපේක්ෂාවකින්වත් මතු නොවන්නක්. ස්ත්‍රීත්වයට හිමි නෛසර්ගික ලක්ෂණ අතහැර පූර්ණ සාම්‍යයක් මතු කිරීම ධර්මතා උල්ලංඝණයක් විය හැකි වුවත් චින්තනමය විමුක්තියට අත්‍යාවශ්‍ය සමස්තය දැකීමේ නෛසර්ගික ගුණය අතින් පිරිමියා අභිබවන ගැහැණිය වෙත පූජනීයත්වයක් පිරිනැමීමද අපූර්වත්වයක්.

එසේම ථෙරවාදය ලෙස ස්ථාපනය කළ ශාසනයේ හා ධර්මයේ ‘බුද්ධත්වය’ අන්‍ය බෞද්ධ සම්ප්‍රදායවල වෙනත්  ස්වරූප ගන්නා අයුරු ගැන පූර්ව අවබෝධයක් නොමැතිවීමද දශක කීපයකට පෙර ‘නේරංජනේ’ මුහුණ දුන් පටලැවිල්ලට හේතු වන්නට ඇති.

මේ කෘතිය පිටුවෙන් පිටුව කොටස් උපුටමින් කරන විචාරය ස්වයං නිදහස් වින්දනාත්මක අධ්‍යයනයකට  බාධාවක්. ලිංගික ප්‍රහර්ෂයෙන් ඇරඹී එය අතික්‍රමණය  කරමින් විමුක්තියට පත්වීමේ තාන්ත්‍රික සංකල්පවලට  පරිකතාවක් සේ වන ‘නේරංජනේ’ මෙවර නම් නිසි විමැසුමකට ලක් කළ යුත්තක්.

https://www.youtube.com/watch?v=3qc3Ygl5kVk

No comments:

Post a Comment