Tuesday, March 1, 2022

අර්ධ නාරි සහ දේදුනු ලිංගිකයන්ගේ අන්දරය






අනුසර වීරසිංහ
'අනිද්දා' පුවත්පත (2022/01/16)

"හැම උදෑසනකම මම මටම පොරොන්දු වෙනවා මම මුළු දවසම පිරිමියෙක් හැටියට ගත කරනවා කියලා. ඒත්, මම හිතන්නෙ මගේ ඇතුලාන්තයෙ පැළපදියම් වෙලා ඉන්න ලිලී නම් ගැහැනියගේ සිතිවිලි. මම දකින්නේ ඇයගේ හීන. ඇය හැමවිටම මගේ ආත්මය ඇතුලේ ජීවත් වෙනවා." මෙලෙස පවසා සිටින්නේ ලෝකයේ ප්රථම වාර්තාගත ලිංගික අවයව වෙනස් කරගැනීමේ සැත්කමට මුහුණ දුන් බවට සැලකෙන 'අයිනා වර්ග්නර්' (පසුව ලිලී එල්බේ ලෙස නාමකාය වෙනස් කරගත් ඩැනිෂ් සිත්තරාගේ ජීවිතය ඇසුරෙන් නිර්මාණය වූ "The Danish Girl" (ඩැනිෂ් කෙල්ල) නම් අපූර්ව සිනමාපටයේ තැනෙකය. එනමුත්, කේ.කේ. සමන් කුමාර විසින් රචනා කරන "අර්ධ නාරි" නම් පෙරළිකාර උභය ලිංගික සාහිත්ය කෘතිය (androgynous literary piece) එකී වික්ටෝරියානු යුගයටත් පෙර විසූ ප්රථම සංක්රාන්ති ලිංගිකයා ලෙස, ග්රීක මිත්යා අන්දරයන්ගේ අන්ධ අනාවැකිකරුවෙකු ලෙස නිරූපිත "තිරේසස්" නම් චරිතය හඳුන්වාදෙමින් ස්වකීය කතා වියමන ආරම්භ කරයි.
සැබැවින්ම, එලෙස ස්ත්රී-පුරුෂ ලක්ෂණ ද්විත්වයම දරන්නා වූ උභයලිංගික සාහිත්ය කෘතියක් පැවතිය හැකිද? "අර්ධ නාරි" නවකතාවේ ආකෘතිය සේම අන්තර්ගතයද ඒ බවට සාක්ෂි දරයි. මෙහි ආකෘතිය පොදු ලාංකීය පාඨකාගාරයට යම් තරමක් දුරස්ථව පවතින 'චයිනීස් පෙට්ටි' (Chinese Box) ආකෘතිය ගනී. එනම්, එක් පෙට්ටියක් තුළ තවත් පෙට්ටියක්, එම පෙට්ටිය තුළ තවත් පෙට්ටියක් ආදී වශයෙන් බහාලන්නා සේ එක් අන්දරයක් තුළ තවත් අන්දරයක්, එය තුළ තවත් අන්දරයක් ආදී වශයෙන් රාමුගත ආඛ්යානයකට (frame narrative) මෙය ගොඩනැගී ඇත. මීට පෙරාතුව, එමිලි බ්රොන්ටේගේ "වදරින් හයිට්ස්"(Wuthering Heights), මේරි ෂෙලීගේ "ෆ්රෑන්කන්ස්ටයින්" (Frankenstein) ආදී කෘතිවල සිට අරාබි නිසොල්ලාසය සේම පෙරදිග පංච තන්ත්රයේද මෙකී ලක්ෂණය දැකගත හැකිය.
එමෙන්ම, පෙරදිග පන්සිය පනස් ජාතක හරහා නිරූපණය කරන්නේද ලිංගිකත්වයේ ප්රේරණයන් (drives) පසුපස කිසිදාක නිම නොවන හඹා යාමක නිරත වූ සත්ත්වයන්ගේ ජීවිත අන්දරයන් හා සබැඳුනු පරිකල්පනීය විශ්වයකි. ඒ ආකාරයෙන්ම, අපට "අර්ධ නාරී" කෘතිය හරහා එක් අතෙකින් හමුවන උමයංගනා නම් සංක්රාන්ති ලිංගිකාවියද, නතාෂා නම් සමසරාගික ගැහැනියගේ චරිතය සහ ඇගේ රුවට පෙමින් බැඳුනු හාමුදුරුවන්ගේ චරිතයද එකිනෙකා හා වියවුල්සහගත මකුළු දැලක් සේ බැඳුනු ශෘංගාර කතාන්දරයක් පාඨකයාට සම්මුඛ කරයි.
කතාවේ මුල් අර්ධය තුළ මුනගැසෙන නතාෂා නම් ගැහැනියගේ ලාලසා දනවන රූපකායට ආසක්ත වූ හාමුදුරුවන්ගේ අන්දරය මට එක්වරම සිහි ගැන්වූයේ සයිමන් නවගත්තේගමගේ "ප්රේත වස්තුව" කෙටිකතාවයි. පෙර ආත්මභාවයන්හිදී සිදු කළ අකුසලයන් හේතු කොටගෙන ප්රේතාත්ම බවට රූපාන්තරණය වූ මිනිස් ජීවිත හරහා අසන්නාට පණිවුඩයක් ලබා දීමේ අටියෙන් නිමැවුනු මෙකී බෞද්ධ කතා කලාව විසින් දනවන්නා වූ ප්රේත රසය සයිමන්ගේ සේම කේ.කේගේ සාහිත්යයටද පොදු බැව් පෙනී යයි. සයිමන්ගේ එකී කෙටිකතාව තුළ කියැවෙන්නේ එක් පුණ්යවන්ත භික්ෂුවක් සාරසුබාවට කිරි පීදෙන කෙතක් හා එහි වැඩෙහි යෙදෙනා ගැහැනියක් දක්නා කල රාගයෙන් බැඳී, පන්සාලිස් වසරක් තමා ආත්ම විමුක්තිය උදෙසා සිදු කළ තවුස් දම් බිඳගෙන, ඉනික්බිති ඇගේ ස්වාමියාට රහසෙන් ඈ හා රමණයේ යෙදීමේ අකුසලය නිසා, කෙමෙන් ෆ්රාන්ස් කෆ්කාගේ "රූපාන්තරණ" (Metamorphosis) නවකතාවේ කුරුමිණියෙකු බවට හැරුණු ග්රිගෝර් සම්සා සේ ප්රේතයෙකු බවට රූපාන්තරණය වීමේ කතාවයි. මේ අන්දමින්ම, "අර්ධ නාරි" කෘතියේ භික්ෂුව ප්රේතයෙකු සේ තමාගේ රති දොළ සංහිඳින ස්ත්රියගේ නිවසට මුලින් ඇතුළු වන්නේ ඇගේ කිළුටු රෙදි සොරාගනිමින්, ගිරි දේවියගේ කිළුටු රෙදි පසුපස ඈ වෙසෙන ඉම සොයා ගිය බව සැලකෙන දළ කුමාරයා සේ ලිංගික තෘප්තිය ලැබීමටයි. එකම වෙනස වන්නේ "අර්ධ නාරි" තුළ එම සිදුවීම සමකාලීන තාක්ෂණික ධනේශ්වරය හා බැඳුනු ලෝකයට ගෙන ඒමය. එමතු නොව, සයිමන්ගේ කතාවේ භික්ෂුව, ගැහැනියට පෙර ඈ වැඩ කරමින් සිටි කෙතට රාගයෙන් බැඳීමද සංකේතාත්මක බැව් සියුම් නිරීක්ෂකයෙකුට පෙනී යන කරුණකි. මන්ද යත්, බෞද්ධයන්ගේ දීඝ නිකායේ "අග්ගඤ්ඤ සුත්රයේ" සඳහන් වන අන්දමට, අපගේ ලෝකය ආරම්භයේදී ආභස්සර බඹලොවෙන් එන ජීවීහු මෙලොව රස පොළොව දිවගාමින්, එහි වැඩෙන බිම්හතු, බාදාලතා ආදී වැල් ආහාරයට ගනිමින් මෙම භූමිය හා රාගයෙන් බැඳී එහි වැටකොටු බෙදාගත්තෝය. සේකරගේ "ප්රබුද්ධ" කාව්ය සංග්රහයේ තැනෙක එකී පුරාණෝක්තිය අපූරුවට, මිනිස් සමාජයක වැටකොටු බෙදීම, අතිරික්තය හා ප්රාග්ධනය ඇති වීම පිළිබඳ තියුණු ඉඟියක් ලබා දීමට භාවිත කෙරේ. කෙසේ නමුදු, එලෙස ශරීර රහිත වූ එකී ජීවීන් නිසි ලිංගික අනන්යතාවක් සහිත මිනිස් සිරුරක් ලබා ගැනීම දක්වා පරිණාමය සිදු වන්නේ ඒත් සමගය.
එහෙත්, කේ.කේ. සමන් කුමාරගේ "අර්ධ නාරි" තුළ හමුවන උමයංගනාගේ චරිතය, මුලින් අරුන්දතී රෝයිගේ The Ministry Of Utmost Happiness (පරම සන්තෘප්තියේ අමාත්යංශය) කතාවේ හමුවන අන්ජුම් නම් ප්රධාන චරිතය මෙන්, ගැහැනු හා පිරිමි අවයව දෙකම සහිත උභයලිංගිකයෙකුව (hermaphrodite) සිට පසුව ශල්යකර්මයකින් ස්ත්රී අනන්යතාවක් ලබාගත්තියකි. රචකයා ඊට සමාන්තරව, මා මුලින් සඳහන් කළ, ඇපලෝ දෙවියාගේ අන්ධ අනාවැකිකරුවා වූ 'තිරේසියස්'ගේ කතාවද කියාපාන්නේ එහි සුසම්බන්ධය පාඨකයාට දනවමිනි. හෙසියඩ් නම් ග්රීක කවියාට අනුව සෙලීන් කන්දේ සැරිසරන තිරේසියස්ට රමණයේ යෙදෙන සර්පයන් යුගලක් හමුවේ. ඔහු, ඉන් හැපින්නට පහර දීම නිසා හේරා නම් මව් දෙවඟන ඔහුව වසර හතකට ස්ත්රියක් බවට පත් කර දඬුවම් කළාය. වසර හතකට පසුව නැවත මගදී හමුවන සර්ප යුගලෙන් පිරිමි සර්පයාව මැරීමෙන් අනතුරුව ඔහු යලි පුරුෂ ස්වහාවයට පත් වූ බවද කියැවේ.
එලෙසින්ම, කතාවේ නාමය වන "අර්ධ නාරි" යෙදීමේදී පවා ස්ත්රී-පුරුෂ අර්ධයන් ද්විත්වයම නියෝජනය කරන ශිව දෙවියන් හා ඔහුගේ බිරිඳ වූ උමයංගනාව නිරූපණය වන 'අර්ධ නාරීශ්වර ශිව' රුවේ පුරාණෝක්තිය රචකයා මනාව යොදාගනී. එය උමයංගනා, රජීව්, භික්ෂුව හා නතාෂාගේ නූතන ජීවිත සමගද මනාව ගලපයි. එසේම එකී අර්ධ නාරිශ්වර ශිව රුව, ඩාවින්සිගේ මොනාලිසා සිතුවම එසේත් නැතිනම් පුරාණ ඊජිප්තු වැසියාගේ ලිංගික සශ්රිකත්වයේ දේවතාවිය වූ, පයෝධර මෙන්ම පුරුෂ ලිංගයක්ද ඇති අයිසිස් දෙවඟනගේ ප්රතිමාවන් සේ, මෙම ස්ත්රී-පුරුෂ අර්ධයන්ගේ සංහිඳියාව සාංසාරික සමබරතාවයට බලපාන අන්දම මනාව නිරූපණය කරයි.
එම අර්ධ නාරිශ්වර ප්රතිමාවෙන් නිරූපිත ශිව දෙවියන්ගේ බිරිද වූ උමයංගනාව සිහි ගන්වන මෙම කතාවේ එන 'උමයංගනා' නම් චරිතය, සිය සැබෑ දිවියේදී ශල්ය කර්මයකට මුහුණ දුන් සංක්රාන්තික ලිංගිකයෙකු ලෙස මුල සිටම තම සිරුරට අලුතෙන් එක් වූ ගැහැනු අවයවය සහ ඒ හා බැඳුනු නැවුම් හැඟුම් සමුදායත්, සුරතාන්තමය ලිංගික අද්දැකීම් ආදියත් සමග හාද වීමට දරන වෑයම ඉතා සියුම් ලෙස රචකයා විවරණය කරයි. කේ.කේ.සමන් කුමාර එය "මිනිත්තු එකොළහේ කතන්දරයේ" (Eleven Minutes) හමුවන මරියා නම් ස්ත්රිය සිය අඳුරු මහද්වීපයක් වන් සිරුර ගවේෂණය කරන හැටි ගැන පාවුලෝ කොයියෝ ලියා තැබූ ආකාරයට වඩා තියුණු ලෙස මෙම නවකතාවේ පිටු පුරා ලියා තබන බව කීම අතිශයෝක්තියක් නොවේ. එය ස්ත්රී සිරුරේ පවතින ඉඳිකඩු තුඩක් තරම් වූ කුඩා ඇමෙරිකා මහද්වීපය ලෙස "ව්යවඡ්චේදකයා" (The Anatomist) කෘතියේ හැඳින්වෙන 'ක්ලිටෝරසය' නම් අවයවය සොයාගත් කොලොම්බස් නම් මිනිසාට වඩා කුහුලකින් යුතුව රචකයා ගවේෂණය කරයි. එම ගවේෂණය තුළ කේ.කේ.ගේ 'සර්ප සාහිත්යයේ' අපට සුපුරුදු ලෙස මුනගැසෙන ස්ත්රීවාදීමය අරගලය නැතිවාම නොවේ. කතාවේ එක් තැනෙක උමයංගනා මෙසේ පවසන්නේ එබැවිනි; "උන්ට තියෙන පුරුෂ ලිංග දෙවියො දීපුවා, මගෙ ස්ත්රී ලිංගෙ මට දුන්නෙ දෙවියො නෙමේ. දෙවියන්ගෙ සැලසුම අපි හොරකම් කළා.කණපිට හැරෙව්වා."
එකී ස්ත්රීවාදීමය අරගලය දෙවියන්වහන්සේ විසින් මැවූ ඊඩ්න් උයන දක්වාද රචකයා රැගෙන යයි. මුල්ම මිනිසා වූ ආදම් සහ මුල්ම ගැහැනිය වූ ලිලිත් යන දෙදෙනාම නිමැවෙන්නේ ඊඩනයේ දූවිල්ලෙනි. එහෙත්, පසුව ලිලිත් දෙවියන්ට විරුද්ධව කැරලි ගැසීම නිසා ඈව පිටමං කර, දෙවියන්වහන්සේ ආදම්ගේ ඉල ඇටයකින් ඔහුගේ තනිකම මැකීමට ඊව් නම් ගැහැනියක් මැව්වේය. එහෙත්, ලිලිත් සමායෙල් යක්ෂයා හා නිදිවදිමින්, බාලගිරි යක්ෂණිය සේ දෙවියන්ගේ දරුවන් ලෙඩ කිරීමට පැමිණෙන්නීය. එසේම, පිරිමි සාතනීය සර්ප වේශයකින් ඊඩනයට විත් ඊව් නම් ගැහැනියව වශී කරගෙන ඈව දෙවියන් විසින් තහනම් කළ දැනුමේ පලතුර කන්නට පොළඹවන්නීය. එලෙස, ස්ත්රී වේශයක සිට පිරිමි සර්ප වේශයක් ගත් ලිලිත් නම් සංකේතය නැවතත් අපට සංක්රාන්ති ලිංගික සංඥාර්ථයක් ලබා දෙයි.
සැබැවින්ම, ලිංගිකත්වය යනු වර්ණාවලියකි(Spectrum). එහි එක් තැනෙක ඔබත්, තවත් තැනෙක මමත් සිටීමට පුලුවන. "අර්ධ නාරි" නවකතාවේ නතාෂාගේ චරිතය සිටින්නේ එහි 'ලෙස්බියන්'(lesbian) හෙවත් ස්ත්රී සමසරාගික කොටසේය. 'ලෙස්බියන්' යන නාමය ඉංග්රීසියට දායාද වන්නේම "ලෙස්බෝස්"යන ග්රීක දූපතේ නාමයෙනි. එම දූපතේ එකල සමසරාගික කතුන් විසූ බවද, එහි සිටි සැෆෝ නම් ප්රකට කිවිඳිය ගීතමය සමසරාගික කවි ලිවූ බවද මතයක් ඇත. කතාවේද, නතාෂාගේ සිරුර දෙස තාක්ෂණික නැරඹුම්කාමයෙන් බලා තෘප්ත නොවන භික්ෂුව, සිය චීවරය තුළ සැඟවුනු රාගී අසහනය පිට කරන්නට, සැෆෝ කිවිඳිය, එසේත් නැතිනම් සිය අඳුරු පෙම්වතියට හා සමසරාගී පෙම්වතාට සොනෙට් කවි ලියූ ශේක්ස්පියර් මෙන් කාව්ය රචනා කරයි.
කොහොම නමුත්, මෙලෙස සීමා බෙදා වෙන් කළ නොහැකි ලිංගික අනන්යතාවයන් සේම, මෙම රාග දැලේ පැටලුණු චරිත කිහිපය (විශේෂයෙන්ම පිරිමි චරිත) දකින සිහින පවා නිරීක්ෂණය ඉතා වැදගත් වේ. මන්ද ෆ්රොයිඩ් වැනි මනෝවිශ්ලේෂණවාදියෙක් පවා පැවසුවේ 'සිහින යනු මිනිසෙකුගේ අවිඥානයට ඇතුළු විය හැකි රජ මාවත' බවයි. ඉතින්, මෙහි පිරිමි චරිත දකින අවිඥානික සිහිනවලින් බොහෝ විට ප්රකාශ වන්නේ රමණය අතරතුර ඔවුන්ගේ සහ ලිංගික සහකාරියන්ගේ ලිංගික අනන්යතාවය කෙමෙන් මාරු වෙමින්, ලිංගිකත්වයේ පුරුෂ බලය ගැහැනුන් අතට යාමයි. එය යම් ආකාරයකට කාල් යුංග් වැනි චිකිත්සකවරයෙක් පෙන්වාදෙන 'ඇනිමාව' හෙවත් පිරිමියෙකුගේ යටිසිතේ පවතින ස්ත්රී ලිංගික අර්ධය සහ 'ඇනිමසය' හෙවත් ගැහැනියකගේ යටිසිතේ පවත්නා පිරිමි අර්ධය සිහි ගන්වයි. එය හරියටම, වර්ජිනියා වූල්ෆ්ගේ "ඕර්ලැන්ඩෝ" කෘතියේ වසර තුන්සීයක් ජීවත් වන ඕර්ලැන්ඩෝගේ චරිතය ක්රමිකව පිරිමි අනන්යතාවක සිට ගැහැනු අනන්යතාවකට මාරු වන අන්දමද සිහියට නගයි. එකී සංක්රාන්තික ලිංගික අනන්යතාවය, සිරුරේ උඩ කොටස පිරිමි හෝ ගැහැනියකගේ වූද, යට කොටස අවිනිශ්චිත වූද පෙරදිග සඳුකිඳුරන්, ලියකිඳුරන් ආදී සංකේත හරහාද නිරූපණය වේ.
එකල වික්ටෝරියානු දෘෂ්ටිවාදයන් විසින් මෙවන් වෙනස් ලිංගික අනන්යතා ඇත්තන් මානසික රෝගීන් ලෙස සැලකූ බැවින්, එවන් චරිත සිය නාට්ය තුළ සඟවා නිරූපණය කරන්නට ටෙනසි විලියම්ස් වැනි මහා නාට්යකරුවන්ට පවා සිදු විය. එහෙත්, මෙම "අර්ධ නාරි" කෘතිය ඊට වඩා නූතනවාදී නිර්භය ප්රකාශනයක් බව අවසාන වශයෙන් කිව යුතු වේ.