Tuesday, April 18, 2023

සමන් කුමාර නම් කෙටිකතාකරුවා - 'එ'සඳ මම බලා සිටියෙමි' සහ 'අසාත්මිකතාව'

 කේ. කේ. ගැන K. K. ලියන ලිපිය





(2) සමන් කුමාර නම් කෙටිකතාකරුවා -
 

'එ'සඳ මම බලා සිටියෙමි' සහ 'අසාත්මිකතාව'







මීට දෙමසකට පමණ ඉහත දී මා ලියන්නට වූ කේ. කේ. සමන් කුමාර නම් ලේඛකයා සම්බන්ධ ප්‍රථම ලිපියේ දෙවැනි කොටස ය මේ. ප්‍රථම ලිපියෙන් කියැවුණේ ඔහු රචනා කරනු ලැබූ 'සර්පයකු හා සටන් වැද' සහ 'සඳැල්ලෙන් වැටී මිය ගියහ ඔවුහු' පිළිබඳ ව ය. මෙම ලිපියෙන් කියැවෙන්නේ ඔහු ලියනු ලැබූ සංකීර්ණත ම කෙටිකතා එකතූන් ද්විත්වය වන 'එ'සඳ මම බලා සිටියෙමි' සහ 'අසාත්මිකතාව' පිළිබඳ ව ය. කේ. කේ. සමන් කුමාර යනු, අනාගතයට ලියන්නෙකු මිස, තමා අදාළ වන කාල පරිච්ඡේදයට ලියන්නෙකු නොවන වග යළි යළිත් පැවසිය යුතු නොවේ. කේ. කේ. සමන් කුමාර ලේඛකතුමා ගේ පරිකල්පනයේ අසීමාන්තික බව වඩ වඩාත් පාඨකයිනට තහවුරු වන ඔහු විසින් රචනා කරනු ලැබූ කෙටිකතා එකතුව ය 'එ'සඳ මම බලා සිටියෙමි'. මාගේ පුද්ගලික මතය අනුව, එ'සඳ මම බලා සිටියෙමි යනු කේ. කේ. සමන් කුමාර මහතා ලියූ විශිෂ්ටතම කෙටි කතා එකතුව ය. එහි එන කතන්දර එකකුදු ඔබ උකටලී තත්වයකට පත් නොකරයි. කොටින් ම කිවතොත් මා මෙතෙක් කියවූ කෙටිකතා සංග්‍රහ අතරින් මා වඩාත් ප්‍රිය කරන්නේ අජිත් තිලකසේන නම් ඒ සුවිශිෂ්ට ලේඛකයා ලියූ සුන්නද්දූලි කෙටිකතා එකතුව ද, එසේත් නැතොත් එ'සඳ මම බලා සිටියෙමි ද යන්න තවමත් මා සිත පෙළන ගැටලුවකි. විවිධ විවිධ තේමා ඔස්සේ දිවුණු කතන්දර සමූහයක් මෙහි අන්තර්ගත ය. විවිධ විවිධ අර්ථකතනයන් ද මෙම කතන්දරවලට දිය හැකි ය. මෙහි එන කතන්දර කිහිපයක නම් පමණක් ම සැළකීමෙන් මෙම එකතුවෙහි එන ඒ ඒ කතන්දරය කියැවීමට උත්තේජනයක් සපයන වග මාගේ මතය යි. සමන් කුමාර මහතා තුළ කතන්දරයකට නම් තැබීම සඳහා වන හැකියාව සැබැවින් ම මනහර ය. මෙම නම් පෙළ සලකා බලන්න: "එ'සඳ මම බලා සිටියෙමි," "ඕ නගරයට පැමිණියා ය," "පොම්පේ නුවර අවසන් දා," "ඔවුහු මා අත් අඩංගුවට ගෙන සිටියහ," "මල්වර ස්වයංවර." එකී නම් පෙළ ආවේණික බවකින් යුතු, කියවන්නා ගේ මනස කුතුහලයකින් පුරවන්නා වූ නම් පෙළක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. 'සර්පයකු හා සටන් වැද' තුළින් ශ්‍රී ලාංකේය පාඨකයිනට දකිත හැකි වූ ඒ ලේඛකයා සාර්ථක ව වෙස් පෙරළන්නට භාවිත කළ කෘතිය ය එ'සඳ මම බලා සිටියෙමි.

"ඕ නගරයට පැමිණියා ය" මෙහි එන දෙවැනි කතන්දරය ය. පළමු කතන්දරය වන "එ'සඳ මම බලා සිටියෙමි" මඟින් නාට්‍යයක් නරඹන එක්තරා මිනිසෙකු ගේ නේකවිධ ආශාවන් ද, සම්ප්‍රදායික සංස්කෘතිය ද කතිකා කෙරෙන අතර, ඉන්පසු පාඨකයිනට කියවන්නට ලැබෙන "ඕ නගරයට පැමිණියා ය" යනු බෝදිලිමා ගේ උත්පත්ති කතන්දරය සහ ඈඳුණු සිදුවීම් මාලාවක් කියවන්නා හමුවේ ගෙන හැර පාන්නට වෙන කෙටි කතාවකි. "ෆ්ලෝරසන්ට් පහන දෙකොණෙහි පණ ගැහෙමින් තිබිණි," යන වැකියෙන් ඇරඹෙන මෙම කතන්දරයේ පළමුවෙන් පාඨකයිනට දැන ගන්නට ලැබෙන්නේ 'විලි පහරමින්' සිටිනා කතක් පිළිබඳ ව ය. වෛද්‍යවරුන්ට අනුව, ඇය ගැබ්බර ව සිටි කාලයටත් වඩා ඇය විලි පහරන්නට වූ කාලය දිගු ය. එහෙයින් ඇය වෛද්‍යවරුන්ට නොවිසිඳීමට හැකි වූ ප්‍රහේලිකාවක් බවට පෙරළී තිබිණි. මෙම කාන්තාව තිඹිරිගෙයෙහි සිටිද්දී ම මරණයට පත් වන්නී ය. එබැව් පාඨකයනට සමන් කුමාර මහතා දන්වන්නේ මෙසේ ය: "විලි රැහැනේ එල්ලී හෑල්ලු නොවූ කුසින් ම ඈ ඇගේ ආත්මය මුදා හැරියා තමන්ගෙ මළකඳට අයිතිකාරයෙක් හොයන් එන්න." ජනයාගේ කටින් කට පැතිර ගිය කතන්දරයට අනුව, බෝදිලිමා උපත ලබා ඇත්තේ දරුවෙකු ලබන්නට සිටිය දී වේදනාවෙනි. ඒ මිය යද්දී ඇය, ඇගේ වේදනාත්මක මරණයට තුඩු දුන් ගැබ් ගැනීමට සම්බන්ධ වූ සිය සැමියාට වෛර බඳිනට වූවා ලු. මෙයාකාරයෙන් ඇරැඹෙන මෙම කතන්දරය එක්තරා අවස්ථාවක දී පාඨකයින් හමුවේ බෝදිලිමා ගේ පළමු ගොදුර පිළිබඳ යම් හැඳින්වීමක් කරන්නට වෙයි. බීමත් ව පැමිණෙන අයෙකු වන ඔහු, තම පිටේ ඇතිල්ලෙන කබල්ලෑවෙකු බඳු සතෙකු සිය පිටේ තබාගෙන නිවෙස බලා යන්නේ ඒ තලගොයෙකු බව ද, ඌ කට ගැස්මට සුදුසු බව ද කියමිනි. මේ යන අතරවාරයේ දී ඔහුගේ 'දැං කිසිම වැඩක් පලක් නොගන්න අවයවයේ' තලගොයා ගේ නැට්ට පැටලැවී තිබෙන වග සඳහන් කරනා කතුවරයා, ඔහු සිය ඡේදනය වී ගිය රහසඟ මිට මෙළැවුණු සුරතේ ගුලි කරගෙන දොරකඩ අසළ වැටී සිටි වග පවසයි. එම සිද්ධිය සිදු ව, ඉන් ඉදිරියට සිදු වූ දේවල් පිළිබඳ ව ද විස්තර කරන්නට කතුවරයා පෙළඹෙයි. අවට පරිසරයේ කටුස්සන් දකිත හැකි වග ද කතුවරයා පවසන්නේ ය. හැරල්ඩ් පින්ටර් ගේ The Dumb Waiter නාටකයේ සිදුවීමක් සිහි කැඳවමින් මෙවැනි සටහනක් ද කතුවරයා යොදයි: "සෙල්ලං බත් උයඋය ඉන්නකොට දිව දික්කළැයි කියලා අක්කෙක් මලයගෙ දිව කාලා. ඒත් බිම වැටිලා තිබ්බෙ ජුන්ඩෙක්." ඉනික්බිති ඔහුගේ ජීහ්වයෙන් ලේ වැගිරෙන වග ද, ඇය ව මග්ගොනට යවන්නට තීරණය වුණු වග ද, ඇය සිය ගවොම ඔසොවා ඔහුට සමච්චල් කළ වග ද, ඔහුගේ රහසඟ ඔහුගේ සොයුරිය සතු ව තිබූ වග ද කතන්දරකරුවා පවසයි. මෙවන් සිදුවීම් නිරූපණයේ දී චිත්ත රූ මවන විෂුවල් ඉමේජරි නම් සිද්ධාන්තය ද, මායාමය ගුණ ද, විකාරරූපී ගුණ ද කතුවරයා උපයෝගි කරගන්නේ ය. ඉනික්බිති, රබර් මිශ්‍රිත පුරුෂ ලිඟු නිපදවන කම්හලක උපත පිළිබඳ ව ද, අභිසරු ලියන් හට රැකියා නොමැති වීම පිළිබඳ ව ද, අඹුව සැමියාගේ රහසඟ තිබේදැයි පරීක්ෂා කිරීමේ චාරිත්‍රයක යෙදුණු වග ද කතුවරයා පවසයි. සත්ත්වවේදීන් ගේ මතය ද, බෝදිලිමා ගේ චරිතය පදනම් ව නිමැවුණු චිත්‍රපට පෙළක ද ආගමනය පිළිබඳ ව පවසන කතුවරයා, බෝදිලිමා ගේ ලිඟු ඡේදන වැඩපිළිවෙළ අඩු ව ගිය වග ද පවසා ජාතික වීරයකුගේ පිළිමයක් අසළට වී විලි පහරන කතක් ද, බෝදිලිම් යක්ෂයින් පලවා හැරෙන කෙමක් පිළිබඳ ව චිත්ත රූ මවමින්, කතන්දරය අවසන් කරන්නේ ය. කතුවරයා පුරාණ විශ්වාසයක් පදනම් කරගෙන කතන්දරය ගෙතීමේ අපූර්වත්වය ද වෙසෙසින් අගය කර යුතු ය. 

මෙම එකතුවේ පස්වැන්න වන "දියසේන කුමාරයාගේ සම්ප්‍රාප්තිය" යනු අසූ අට - අසූ නවය ජන සංහාරය හා ඈඳුණු, අධි යථාර්ථවාදී මෙන් ම, මායා යථාර්ථවාදී ගුණවලින් හෙබි කතන්දරයක් වන, "පොම්පේ නුවර අවසන් දා" නම් කතන්දරය අවසන් වූ කෙණෙහි කියැවීමට ලැබෙන, නාට්‍යකරුවෙකු මූලික කොටගෙන ගෙතුණු කතන්දරය ය. නිර්භය, රැඩිකල් නාට්‍යකරුවෙකු ද, බිහිසුණු පාලකයෙකු ද මෙම කතන්දරයේ මුල් පිටුවලට හේතු වේ. එම කාල පරිච්ඡේදයේ බිහිසුණු සිතුවමක් සිත්තම් කරනට මේ වැකිය ප්‍රධාන වන්නේ ය: "එකල ඒ රම්‍ය දීපය එක් කුරිරු අධිරාජයකුගේ දෙපා යට මැඩෙමින් තිබිණි. නියංසායෙන් ඇරුණු දහසක් මුවවිටින් මහීකත දිය බිඳක් යැද්දා ය." මේ අතරවාරයේ නාට්‍යකරුවෙකු ගේ ආගමනය කතුවරයා මෙසේ පාඨක ඇස් ලොඬිවලට මානයි: "මෙසඳ, අප මහා නාට්‍යකරුවාගේ ආගමනය සිදු විය." නාට්‍යකරුවාගේ නිර්මාණශීලීත්වය, රජය සිසාරා සරයි. රාජ්‍ය නාට්‍ය උළෙලට තේරී පත් වන ඔහුගේ මෙම නාට්‍යය නරඹන්නට ජනපීඩක අධිරජ තෙමේ පැමිණෙන්නේ ය. මහා ඉහළ ලෙසින් මෙම නාට්‍යය සැළකෙන අතර, නොයෙක් නොයෙක් පාර්ශ්වවල තර්ජන ගර්ජන හමුවේ නොපැකිළ, නොබිය ව, නාට්‍ය කණ්ඩායම නාටකය පෙන්වන්නට වෙයි. එම නාට්‍යය ද එක් රටක රජවරයෙකු විවේචනය කළ එකක් වූ අතර, එය අධිරජ විවේචනය කරනු පිණිස සැකැසුණු නාට්‍යයක් වැනි ය. එක් අවස්ථාවක දී මේ අධිරාජයා ඔවුන් නාට්‍යය පුහුණු වන අයුරු නරඹන්නට තමා හට ඉඩ ලබා දෙන මෙන් ඉල්ලන අතර, එම ඉල්ලීමට ද නීති මාලාවක් දමන්නට නාට්‍යකරු උත්සුක වෙයි. මකුළු දැල් බැඳුණු බංකු කබලක හිඳ, මියුණු මැස්සෙකු ඇතුළත් කළ තේ කෝප්පයක් පානය කරන්නට සිදු ව, නව නිංගිරහ විඳි මේ අධිරජ, පාලන පන්තිය හමුවේ නොසැලුණු නාට්‍යකරුවා යන දෙපළ සැබැවින් ම මන බන්දනාසුලු ය. මෙවන් නව නිංගිරහවන් වින්දාට පසුව ද, ඒ අධිරජ තෙමේ යන්නට යන්නේ ය. ඔහු නාට්‍යකරුවා හට චෙක්පතක් එවයි. ඔහු ඒ ඉරා දමා නැවත අධිරජට යවයි. මේ දුටු බිරිඳ සලිත ය; කෝපයෙන් යුතු ය; සිය දරුවා ගේ සෞඛ්‍ය තත්වය පිරිහීම වළක්වන්නට එම චෙක්පත ලබා ගන්නට නොහුණු නිසා ඇති වූ කම්පාවෙන් යුතු ය. අධිරජ ඔහුට ලිපියක් යවයි. එම ලිපියෙන් කියැවෙන්නේ අධිරජ තම ධූරය පිළිබඳ ව උපන් කලකිරීමෙන් යුතු ව ඉන් පලා යන්නට සිතා සිටි වග සහ නාට්‍යකරුවා ගේ රාජ්‍යය ඔහුගේ රාජ්‍යයට වඩා බලවත් බැවින් ඔහු පැමිණ තමා ව එළවනතෙක් තමා රාජ්‍යය හොබවන වග ය. එය මුලින් කියවන බිරිඳ ද ඔහුගේ රාජ්‍යය බලගතු බවත්, ඔහුගෙන් ඇය වෙන්වන බවත් පවසා වෙන් වන්නී ය. උපන් දුකින් සහ ලජ්ජාවෙන් යුතු ව ඔහු බීමහලකට වැදී ඩ්‍රෑම් දෙකක් බී, මදන මෝදක ගුලි දෙකකින් සප්පායම් වෙයි. ඉන් පසු මාතෘකා අටකින් කියැවෙන්නේ මදන මෝදක ගුලි දෙකේ ක්‍රියාකාරීත්වයේ ප්‍රධාන අවස්ථා අටේ දී ඔහු අත්විඳිනා දෑ ය. එවිට ඔහු අධිරජ ය. ඔහුගේ අග බිසව ඔහුගේ බිරිඳ රඟ පෑ චරිතය රඟ පාන්නට ඉදිරිපත් වූ නිළිය ය. ඉක්බිති, ඉන්ද්‍රජාලමය සිදුවීම් ගෙනහැර පාමින් අශ්ව මේධයක් අරඹන්නට තීරණය කෙරේ. සෛන්ධවයකු හා සසඟෙහි යෙදෙන අග බිසව දෙස බලා සිටිමින් තෘප්තිමත් වන්නට අධිරජ බවට පෙරලුණු නාට්‍යකරු හට සිදු වේ. අවසන, නාට්‍යකරු නාට්‍යවලින් ඈත් වූ වග ද ඔහු ප්‍රේක්ෂකාගාරයක සිට තවත් නාට්‍යකරුවෙකු ගේ නාට්‍යයක් බලා සිට ඔහුට ශුභ පැතූ වග ද, ඒ නාට්‍යකරු ඔහුට පෙර සිටි අධිරජ වග ද, එම නාට්‍යයේ මුඛ්‍ය භූමිකාවට තමා හැර ගිය බිරිය රඟ පෑ වග දක්වා පසු ලිවීමෙහි කතන්දරකරුවා මෙලෙස ලියන්නේ ය: "එහෙත් ඒ අත්තන මුහුම් කළ මෝදක ගුලිවලට හැකි වුණේ නෑ ඔහු ව ජනතාවගෙන් ඈත් කරන්න. ඔහු තවමත් යුගයේත්, දේශයේත්, ජනතාවගේත් නාට්‍යකරුවා. ඔවුන්ගේ වදනින් මතු බුදුවන දියසේන කුමාරයා බවට ඔහු පත්වන කල ඔහු හැරගිය බිරිය තුට්ටු දෙකේ නළඟනක් බවටත්, අධිරාජයා ජනතාවට විකට රසය බෙදන්නෙක් බවටත් පත් වුණා."

මෙහි එන එකොළොස්වැනි කතන්දරය වන "එක් කුඩා කුටියක" යන කතන්දරය මෙම කෙටිකතා එකතුවෙහි එන කුඩා ම කතන්දර දෙකෙන් එකක් වන අතර, එය මා කියැවූ ප්‍රියතම කෙටිකතාවලින් එකකි. මෙම මුළු කතන්දරයම වියමන් ව ඇත්තේ සිදුවීම් කිහිපයක් වටා ය. කෙටි චිත්‍රපටයක දර්ශන පෙළකට සම අයුරින් ලියැවී ඇති මෙය, කුලී නිවහනක වෙසෙන තරුණයෙකු වටා ගෙතී ඇත්තකි. කතන්දරය පුරාවට ම කතුවරයා ව්‍යංගාර්ථයෙන්, තොරතුරු සියල්ල ම නිරාවරණය නොකරමින්, එම තරුණයා සහ කුලී නිවෙස් හිමිකාරිනිය අතර සිදුවන කතාබහ සැබැවින් ම මනහර ය. යථාර්ථවාදී රීතියට බෙහෙවින් ම කිට්ටුවෙන් ලියැවී ඇති මෙය, ඇරැඹී මඳ කලක් ගත ව ගිය සඳ, නිවෙස් හිමිකාරිනිය, තරුණයාගෙන් ඔහුගේ බිරිඳ පැමිණියාදැයි කියා අසන්නට වන්නී ය. ඊට ඔහු ඍණාත්මක පිළිතුරක් ලබා දෙන අතර, ඇය ද ඇගේ දියණියව ඇගේ සැමියා නිවසින් 'දොට්ට දැමූ' වග ද පවසා ඒ සඳහා 'ගුරුකම් අතේ' වැඩක් කළ යුතු වග ද ඇය පවසන්නී ය. හෝරාවක  පමණ කාලය, කතන්දරයේ ප්‍රධාන චරිතය කුලී කාමරයෙන් කඩයට ගොස්, නැවතත් කුලී කාමරයට පැමිණෙන අවස්ථාව එකම නිමේෂයක සිදු වූ පරිදි කතුවරයා දක්වා ඇති අතර, ඉන් කතන්දරයට වැදගත් සිද්ධීන් පමණක් හුවා දැක්වීමට කතුවරයා උත්සුක වන වග පැහැදිලි ය. කඩයට ගොස්, ඔහු නැවත පැමිණි වේලේ දී ද නිවෙස් හිමිකාරිනිය ඔහුගෙන් අසන්නේ මෙය ය: "ළමයො, දැන් නෝනා එන පාටක් නෑ නෙ?" අවසන පැහැදිලි වන්නේ මේ තරුණයා, තමාව හැරගිය බිරිය තමා වෙතට ගෙන්වාගැනීමට වශී ගුරුකමක්, නැතොත් ගුරුකම් අතේ වැඩක් සිදු කර ඇති බව ය. තිලකසේනයන් ගේ සමහර කෙටිකතාවල ඇති මුල ද, මැද ද නොවැදගත් වන මැද දී හටගන්නා එක්තරා සිදුවීමක් පදනම් කොටගත් කතාවකට සම මෙය, අවසන් වන ආකාරය අතිශයින් ම ප්‍රබල ය: "මං නැගිටලා සිගරට් එකක් පත්තු කර ගත්තා. ඇල්බම් එක අරන් ඇඳේ වාඩි වුණා. එතකොට ජනේල වීදුරුවට තට්ටු කරනවා ඇහුණා. මං ජනේලෙ රෙද්ද අයින් කරලා එබුණා. තෙතබරියං වීගෙන ඈ එතන උන්නා. ඈ හිනාවුණා."






මොහු මෑතක දී ම පළ කළ කෙටිකතා සංග්‍රහය වන 'අසාත්මිකතාව' කතන්දර පහක් පමණක් ඇතුළත් වන්නක් වන හෙයින්, එහි එන 'අසාත්මිකතාව' නම් කෙටිකතාව පිළිබඳ ව පමණක් ඇගයීමක යෙදෙන්නට සිතුවෙමි. මෙහි එන 'සිහින දිනපොත' කතන්දරය, මට නත්සුමේ සොසේකි ලියූ Ten Nights of Dreams කෙටිකතා මාලාවේ ඇති තේමාව සිහි ගැන්වුව ද, එයට වඩා මෙය සුවිශේෂ වන අතර, මෙය, එයට හාත්පසින් ම පාහේ වෙනස් ය. 'අසාත්මිකතාව' සහ 'පොත් පිල්ලුව' මෙහි එන කතන්දර අතරින් මා වඩාත් ප්‍රිය කරන කතන්දර ද්විත්වය ය. "ඈ - අසනියක මධු බිඳක්" ද එසේ ම ය. ඒ නමුත් මා තරමක විස්තර කිරීමක සහ අගය කිරීමක නිරත වන්නේ 'අසාත්මිකතාව' සඳහා පමණි.
"අසාත්මිකතාව" ඇරඹෙන්නේ සහ මුළු කතාව ම ගලා යන්නේ එක්තරා සුවිශේෂ ආකෘතියකට අනුව ය. සමන් කුමාර මහතා මාතෘකා රාශියක් අනුව යමින්, තැනැත්තෙකු ගේ මරණයක් පිළිබඳ ව අපූර්ව පරීක්ෂණයක යෙදෙයි. මෙම කතන්දරය, දකුණු කොරියානු අධ්‍යක්ෂකවරයකු වන කිම් කී දුක් ව සිහි ගැන්වූ වග ද පැවසිය යුතු ම ය. එනමුත්, ඒ ද අපූර්ව සිදුවීමක් වනුයේ මීට දශමෙකිනුඳු සම චිත්‍රපටයක් කිම් කී දුක් නිර්මාණය කළේ මෙය ලියැවී බෝ කලක් ගත වූ තැන නිසාවෙනි. කතාවෙන් කියැවෙන්නේ කාන්තා පියයුරු දුටු කල සිහි මූර්ජා වන, අසනීප තත්වයට පත්වන මිනිසෙකු පිළිබඳ ව ය. ඔහු ඉපදුණු දා පටන් ම ඔහුට සිදු වූයේ එබඳු දිවියක් ගත කරන්නට ය. ඔහු වැඩිහිටියෙකු ව නිළියක හා විවහපත් ව කල් ගෙවූ හෙයින්, ඔවුන්ගේ ජීවිතය, ඔවුන්ගේ චර්යාවන් පිළිබඳ ව නේකවිධ මාතෘකාවන්ගෙන් නිරීක්ෂණය කරන්නට වන අතර, එම අදහස් මඟින් මිනිසුන්ගේ තාත්වික අදහස් පිරික්සන්නට සමන් කුමාර මහතා සමත් වෙයි. සැමියා සහ බිරිඳ සසඟෙහි යෙදෙන අයුරු ඇය පොලීසිය හමුවේ පවසන්නී ය. ඇය පවසන්නේ ඔහුට ඇගේ උඩුකය දකිත නොහැකි හෙයින්, ඇය තෘප්තිමත් නොවූ වග ය. අවසන, ඇගේ දරුවා විත් ඇගෙන් කිරි පානය කරන්නට වෙයි. හිස එසවූ කලෙක ඇගේ පයෝධර දෑසට හසු ව ඔහු මිය යයි. ඔවුන්ගේ ලිංගික චර්යාවන් සහ නිළිය අභිසරු ලියක බවට පෙරළන අන්දමේ අදහස් දැක්වීම් කිහිපයකට පසු, අවසන් මාතෘකාවට පෙර එන මාතෘකාව මෙය ය: "මිය ගිය තැනැත්තා ගේ මරණීය සිතුවිල්ල." ඒ සිතුවිල්ල මෙසේ ය: "අනේ දෙයියනේ ඊළඟ ආත්මෙවත් මට මෙහෙම ලෙඩක් නැති ව, මේ ආත්මෙටත් එක්ක ඇති පදං තන් බලන්න ලැබුණොත් . . . . .!"

පෙර ලිපියේ ද කියැවුණු පරිදි, කේ. කේ. සමන් කුමාර යනු එසේ මෙසේ පරිකල්පනයකින් හෙබි ලේඛකයකු නොවේ. ඔහු, ලොව බිහි වූ පරිපූර්ණත ම ලේඛකයින් අතලොස්සට ඇතුළත් කළ හැකි ලේඛකයකු යැයි නිසැක ව කිව හැක. මෙම ලිපියට පසු ඔහුගේ නවකතා පිළිබඳ ව ලිපියක් ලිවීමට මා ඉටා සිටින'තර, මෙම ලිපිය අවසන් කිරීම පිණිස, "එ'සඳ මම බලා සිටියෙමි" නම් එකතුවෙහි අග වූ, සයිමන් නවගත්තේගම නම් ඒ අග්‍රගණ්‍ය ලේඛකයා ලියූ ලිපියේ වැකියක් උපුටන්නට මට අවසර දෙනු මැන: "භද්‍ර යෞවනයෙන් අතරමං වූ, ආඪ්‍ය වූ, විකසිත වූ, අකාලේ මහළු වූ සමන් නමැති කාව්‍යක්කාරය, තොපි කුමක් කියන්නාහු ද?"

2023 - 04 - 18
කේ. කේ. කාව්‍ය තත්සර

ආලේඛ්‍ය ප්‍රභාවලේඛය- දිනිල් අබේගුණවර්ධන