Tuesday, December 5, 2017

සිරුරේ වෙනත් තැන් වෙනුවට රෝමයන් කෙළින් කරවයි- අර්ධ නාරී

Androgynous Literary Experience in Sinhala Novel.
First Sri Lankan Chinese boxes total novel.
මේ පොතෙහි අග කවරයේ පොත ගැන සටහන්ව තිබූවකි.
Androgynous යන්න ශබ්දකෝෂයන්හි අර්ථදැක්වෙන්නේ “ partly male and partly female in appearance; of indeterminate sex.” ලෙසය. සුචරිත ගම්ලත් මහතා සිය ශබ්දකෝශයේදී ඒ සඳහා දෙන සිංහල අරුත වන්නේ ' ද්විලිංගික ' ලෙස යි.
නමුත් මේ කතා ගොඩකින් ගොඩනැඟුනු කතාවෙහි කතුවරයා එහි එක් ප්‍රධාන චරිතයක් 'සංක්‍රාන්ති ලිංගිකාවියක්' ලෙස මුලදීම හඳුන්වා දීම මඟින් කතාව හා ද්විලිංගිකත්වය අතර සරල සමීකරණයක් ගොඩනංවාගැනීමට ඉඩක් නොදෙයි.

Chinese Boxes යනු එකක් තුල එකක් ගබඩා කල හැකිවනසේ සැකසූ පෙට්ටි කිහිපයකි. අන්තර්ජාලය අනුව මෙම සංකල්පය සාහිත්‍යය හා සමපාත වන්නේ සරලව 'කතා මැද කතා' ආකාරයේ ආකෘතියක් සමඟය. පහසුම උදාහරණ වන්නේ අරාබි නිසොල්ලාසය හා පංච තන්‍ත්‍රය යි. ඒ අනුව උම්මග්ගය ද මේ ගණයට වැටෙනු ඇතැයි සිතමි. ( උනන්දුවක් දක්වන අයෙකුට මේ පත්‍රිකාව හොඳ විය හැක. මා ද තවමත් කියෙව්වේ මුල පිටු තුන පමණි. Paradox of Chinese Boxes: Textual Heterarchy in Postermodern Fiction - BENZI ZHANGhttps://journals.library.ualberta.ca/…/artic…/view/3165/2526).
මේ කෘතීන් තුල කතා මැඳ කතා ලියැවෙන්නේ ආඛ්‍යානය තුලම වුව ද 'අර්ධ නාරී' තුල දී කතුවරයා සිය පරිකථා සඳහා කඩදාසිය තුලම සීමා සලකුණු කරයි. එකක් හතරැස් කොටු තුල ය. අනෙක පිටුවෙහි උඩ අර්ධයේ ය. තවෙකක් යට අර්ධයේ ය. අළු පැහැති පිටු තුල ය. කළු පැහැති පිටු තුල ය. තද කළු අකුරෙනි. සුදුවට ය.
මේ ආකෘතිකමය හරඹය නිසා මුලින්ම අපහසුවට පත් වුවත් මීට පෙර මෙම කතුවරයාම ඔහුගේ ඇතැම් කෙටිකතා තුලත් Manjula Wediwardena 'මගේ ආදරණීය යක්ෂණී' තුලත් මේ හා සමාන 'අමාරුවේ දැමීම්' කරතිබූ හෙයින්, මම එක කතාවක් කියවා අවසන අනෙක් කතාව කියවීම කළෙමි. එවිට ඔබට පිටු අංක නොසලකා හැරීමට සිදුවේ.
K.k. Saman Kumara තම බොහෝ කෘතීන්හිදී මෙන්ම මේ නවකතාව තුලත් සිය භාවයන් සංක්ෂිප්ත කොට ඔබා ඇති අතර කියවන්නෙකුට රිසි පරිදි එම ගැට ලිහාගෙන එහි ප්‍රහර්ශය විඳිය හැක. 'මහිලා වංශයේ' දී මෙන් වාක්‍ය හරඹ නොමැති හෙයින් සරල කියවීමක් රුචි අයෙකුට වුව ද තම නැණ පමණින් විඳගත හැකි කෘතියකි.
'අර්ධ නාරී' තුලදී කතුවරයා එහි ප්‍රධාන චරිත හතරම ඔවුන්ගේම මනෝභාවයන්හි, ආශාවන්හි, එසේත් නැත්නම් කතුවරයාම කියන පරිදි ක්ලේශයන්හි උපරිම අන්තයේදි හැසිරෙණ අයුරු ලියා දක්වයි. මේ චරිත හතරම Stress Test වලට භාජනය කරවයි. ( මෘදුකාංගයක් එහි සාමාන්‍ය භාවිත පිරිවිතරයන් හෝ අවස්ථාවන්ට වඩා වැඩි පිරිවිතරයන් හෝ අවස්ථාවන් තුලදී හැසිරෙන ආකාරය පරීක්ෂා කිරීම Stress Test වේ). ඒ තුලින් වඩා බියකරු ලෙස අපේම ආශාවන් තුල අපේ හැසිරීම ප්‍රශ්න කරවයි.
මෙම කෘතිය 'Androgynous' හෙවත් ද්විලිංගික නවකතාවක් වන්නේ මෙහි ප්‍රධාන චරිත හතරම විටෙන් විට දක්වන විරුද්ධ ලිංගික හැසිරීම් හෝ මනෝභාවයන් නිසා යැයි සිතමි. කතුවරයා උමයංගනා සංක්‍රාන්ති ලිංගිකාවියක් කරද්දී සවිඥානිකව හෝ අවිඥානිකව අනෙක් පිරිමින්ගේ ගැහැණු මනෝභාවයන් ද ගැහැණියගේ පිරිමි මනෝභාවයන් ද කතාව තුල උළුප්පා දක්වයි. තිරේසිස්ගේ කතාව තුලින් හා උමයංගනාගේ සැත්කමින් පසු මනෝභාවයන් විග්‍රහ කරමින් ලියවෙන කොටසින් ඒ උළුප්පා දැක්වීම වඩාත් ආලොකවත් කරව යි. කියවන සෑම ගැහැණියකුටම තමා තුල සිටින පිරිමියාත්, සෑම පිරිමියෙකුටම තමා තුල සිටින ගැහැණියත් අභිමුඛ කරවයි.
'අර්ධ නාරී' ශෘංගාරාත්මක කතාන්දරයකැයි කීවත් අන් ශෘංගාර කතාන්දර වලින් වෙනස්ව, සිරුරේ වෙනත් තැන් වෙනුවට රෝමයන් කෙළින් කරවයි.
අර්ධ නාරී - කේ කේ සමන් කුමාර - අහස පොතක්


Sunday, November 12, 2017

අකුරු - මහිලා වංශය

සිංහල ජාතියේ වංශ කතාව සංසාරාරණ්‍යය සහ සයිමන් නවගත්තේගම



සයිමන්ගේ නවකතා අලුතින් කියවීමකට හසුකිරීමට සමන් ගෙන ඇති අවංක උත්සාහය ප්‍රසංශා කටයුතු එකක්. ඒ සඳහා ඔහු අප්‍රමාණ වෙහෙසක් දරා තිබෙනවා. මේ විචාරාත්මක පොතෙන් සමන් අපේ ශාස්ත්‍රාලයීය බුද්ධිමතුන්ට විශාල අභියෝගයක් එල්ල කරනවා යැයි මා සිතනවා. විශ්වවිද්‍යාල සාහිත්‍ය ඇදුරනි, පුළුවන් නම් මේ වගේ පොතක් ලියලා පෙන්වන්න.

සුනිල් මිහිඳුකුල - අවසන් බොහීමියානුවාගේ ආඛ්‍යානය සොයායාම
- දෙසතිය 2010 මාර්තු 15

‘...තවමත් මෙරට ශාස්ත්‍රාලයීය අධ්‍යාපනය තුළ ඉහළම අදියරේදී වුවත් සාහිත්‍ය කෘතියක් කියවන්නේ චරිත නිරූපනය, සන්දර්භය වැනි අංග මතුපිටින් හඳුනා ගැනීමෙන් පමණි. එහෙත් සමන් ඉන් ඔබ්බට ගමන් කරමින් රෝලන්ඞ් බාත්, ෆූකෝ වැනි නූතනවාදයෙන් ඔබ්බට ගමන් කළ විචාරකයින් සහ ෆ්‍රොයිඞ්, කාල් යුං වැනි මනො විද්‍යාඥයන්ගේ න්‍යායයන් උපයෝගී කොට ගැනීම අගය කළ යුතු තත්වයකි. ගනනාථ ඔබේසේකර වැනි විශිෂ්ට පර්යේෂකයන්ගේ ලියවිලිවලින් මෙහිදී සමන් ආලෝකයක් ලබාගන්නා බව පෙනේ. ‘ස්වර්ණ වන්නියේ වල්ලි අම්මලා’ නම් සයිමන්ගේ නොපළ කෘතිය විවේචනයට යන සමන් සුනිල් විජේසිරිවර්ධනගේ ‘රත්නවල්ලි’ නාටකයද සමාන්තරව ගෙන අගය කළ යුතු සාකච්ඡාවක නිරත වෙයි. එහිදී මතු වන වැදගත් නිරීක්ෂණ ලෙස අප දකිනුයේ ජනශ්‍රැතිය හා මානව විද්‍යාව උපයෝගී කොට ගනිමින් පුරාණෝක්ති විග්‍රහ කර ගැනීමට සමන් දක්වන ශූරභාවයයි.  මෙය ඔහුගේ සංවේදී තුලනාත්මක පරිචය මතු නොව ලෙවී ස්ට්‍රවුස් ප්‍රමුඛ විද්වතුන්ගේ න්‍යාය ස්වාධීනව භාවිතා කිරීමට ලාංකීය විචාරකයකු ගත් උත්සාහයක් ලෙසද අගය කළ යුතුය...’

‘...ප්‍රාග් ඓ  තිහාසික ගවේෂණ පිළිබඳ දැරණියගලගේ මතය වෙත යාම, වන්නි ප්‍රදේශයේ නවගත්තේගම අනුභූතික දත්ත ලබා ගැනීමට ප්‍රාදේශීය ලේකම් චන්ද්‍රසිරි බංඩාර සමග එක්ව කටයුතු කිරීම තම න්‍යායාත්මක දේ ක්ෂේත්‍රයේ දකින්නට උත්සාහ කළ පර්යේෂකයකුගේ ගුණාත්මක බව කියාපායි...’ 

චින්තක රණසිංහ- 
සයිමන්, සමන්, සහ සිංහල ජාතියේ වංශ කතාවට ලියූ විමසුමක් 
-2008 අගෝස්තු 24- රාවය


Tuesday, October 31, 2017

පුමතිරි






ඇසු දුටු දේ: (නිමිත්ත)

“මොකද බං ඇඹරෙන්නෙ ගෑනියෙක් වගේ
කෙලින් හිටපංකො පිරිමියෙක් වගේ”

අල්ලපු ගෙදර පේමක්කා
එයා බැඳපු අයියා ට කියන්නේ
“තමුසෙ නම් ගෑනියෙක් ඕය්”

ඕල්කට් මාවතේ බඩුවක්
කස්ටමර් කෙනෙකුට කිව්වේ
“අඩෝ උඹ පොන්නයෙක්”

යාලුවෙක් මට කිව්වා
“මචං අපේ අම්මටය් තාත්තටය්
ගෘහණියක් ගෙ දෙපරැන්ද අස්සෙ 
පතිණියක් සොයද් දී
මං සොයා ගත්තා ගෑනියෙක්
පිරිමියෙක් වෙන්න මට”

“මතකද අර මල්කාන්ති
ඒකිත් දැන් සංක්‍රාන්ති”

“පත්තිනි මෑණිට ඇන්ඳේ
නාඹර රතු ගුරුන්නාන්සේ”

සර්පයාගේ “නේරංජනේ ඉස්නානේ” 
ගත වහපු හවුස් කෝට් එකේ
ඇතුලු වාටියේ තිබුණා

“පුරිස් කතුවර අමන අබිමන
නොමැති සුනෙරක විසූ මිනිසෙකි
පුම ඉතිරි ලිඟු වෙනස නැතිකොට 
උතුම් සුබසක් තැනූ මිනිසෙකි”

කේ. කේ. - එරික් ඉලයප්පාරච්චි



සිතූ දේ: 

පිරිමි ළමයි නිල් පාටය්
රෝසපාට ගෑනු ළමයි
අතුරු මිතුරු පවතිනතුරු
ගෑනු පිරිමි මල් පළතුරු

පිරිමි ගෑනු
ගෑනු පිරිමි
උඩයි බිමය්
බිමය් උඩය්

පිරිමි මූණු වය්වාරණ
ගෑනු මූණු වය්වාරණ

පිරිමි ඇඳුම් ආයිත්තම්
ගෑනු ඇඳුම් ආයිත්තම්

සපත්තු සෙරෙප්පු
සෙරෙප්පු සපත්තු

දාර මිට දිග ලොකු පිරිමි කුඩ
පාට මල් මල් පොඩි ගෑනු කුඩ

පිරිමි කටහඬ ගොරෝසුය්
ගෑනු කටහඬ සුසිනිඳුය්

පිරිමි ගැට
ගෑනු ගැට
දහන් ගැට
හතරවට

පිරිමින්ට පිරිමි වැඩ
ගෑනුන්ට ගෑනු වැඩ

කොණ්ඩ කපන්නය්
කොණ්ඩ බඳින්නය්
පච්ච කොටන්නය්
තෝඩු දමන්නය්

පිරිමි පිරිමි රිසි සුමියුරු වෙන්නය්
ගෑනු ගෑනු රිසි සුමියුරු වෙන්නය්
පිරිමි ගෑනු නෙක විසිතුරු වෙන්නය්
පිරිමි ගෑනු සම සමාජ වෙන්නය්

පිරිමි අර්ධ ගෑනු අර්ධ
සම්පූර්ණ මිනිසා

පිරිමි නම් ගෑනු නම්
දෙකලාව මෑත්කර
කුමට වග වාසගම්


-සරත් චන්ද්‍ර වල්පොල 


Saturday, October 28, 2017

ආශාව බහිෂ්කරණය කිරීම හෙවත් “නේරංජනේ ඉස්නානේ”



නදී වාසලමුදලිආරච්චි - 2017 මැයි

ප්‍රවිශ්ඨය


‘නේරංජනේ ඉස්නානේ’ හිසින් යුතුව කේ. කේ. සමන් කුමාර විසින් රචිත ස්ත්‍රී ස්කන්ධයක් බුදුබව ලැබීමේ /බුද්ධත්වයට පත්වීමේ ඵෙතිහාසික වියමන දෙස බලන විට එයට පිවිසිය හැකි යතුරු කිහිපයක් කියවන්නිය අතට එකවර පත්වීම නොවැලැක්විය හැක. පළමුවෙන්ම උත්කර්ෂවත් ලෙස හමුවනු ඇත්තේ එහි කතුවර කේ. කේ. සමන් කුමාරය.


දෙවැන්න ලෙස බලය කේන්ද්‍රගත ආයතන, ආගමික සංස්ථා හා පද්ධතිගත දැනුම හා සංස්කෘතික නිර්මිතයන්ද තෙවැන්න ලෙස මනෝ විශ්ලේෂණයද...... ආදී වශයෙන් ‘යතුරු ගණනාවක්’කියන්නිය අතට පත්වනු ඇති. නමුත් වඩාත් සුවපහසු
පිවිසුම් යතුර වන සමාජ හා මානව විද්‍යා ප්‍රවේශයක් මුලින්ම ලබා ගැනීම මගේ පෞද්ගලික කැමැත්ත වන වග මෙහිලා සඳහන් කිරීම වටි. මෙම ලිපිය, කියවන්නිය විසින් මානව වංශ විද්‍යාවේ එන ස්ත්‍රියගේ පරම ආශාවේ සිට සමාජ සංවිධාන දක්වා පුළුල් විෂයක කෙටි කරුණු දැක්වීමක් ලෙස පාඨනය කිරීමෙහි / කියවීමෙහි වරදක් මම මෙහිදී නොදනිමි.

අතීත වේදනා බහිෂ්කරණය කරනු වස් ඔබ විසින්  ප්‍රතිමා ඉදිකරනු ඇත. අතෘප්තකර ආශාවන් බහිෂ්කරණය කරනු සඳහා ඔබ ප්‍රතිරූප නිර්මාණය හෝ වන්දනාව කරනු ඇත.

අද දවසේ ඔබට හමුවන ස්ත්‍රිය ‘සැබෑ ස්ත්‍රිය’ ලෙස ඔබ වරදවා වටහාගෙන ඇත්නම් වහා එය නිවැරදි කරගන්න. ඔබට මුණගැසෙන්නේ ‘සැබෑ ස්ත්‍රිය’ නොවේ. සැබෑ ස්ත්‍රිය  කියා දෙයක් / අයෙකු ඇත්තේ නැත. සැබෑ පුරුෂයෙක් යැයි කියා අයකුද / දෙයක් ද ඔබට හමු නොවනු ඇත. සියල්ල මැනිපියුටෙඞ්ය. සිමියුලේක්‍රමිකය. ‘සැබෑවෙහි පැවැත්ම නිෂ්පාදන ලෝකය විසින් අතික්‍රමණය කර ඇත’යි  යන මූලික - සරල අදහස සිහියේ තබාගෙන මෙම ලිපිය කියවීම වඩාත් සුදුසුය.

මානව වංශ විද්‍යාව අනුව ස්ත්‍රියගේ පරම ආශාව දරුවන් වැදීම වන්නේ හෝ වන්නේ විය යුතුය. තවදුරටත් ශේෂව ඇති අග්‍රේෂ තත්වයෙන් බැහැරව පූර්ණ විකසිත මානව වර්ගයක් කරා යන ගමනේ මීළඟ ‘අතිශය දියුණුයැයි සම්මත’ මානවයා වර්ගයාගේ ජනිතෘ බිහි කිරීම සඳහා ස්ත්‍රිය හැකි උපරිම සාධාරණ පරිසර පද්ධතියක් යටතේ සූදානම් කරවීම සොබාදහමේ වඩාත් ප්‍රමුඛතම මෙන්ම ප්‍රබලතම අභියෝගාත්මක කාර්යයක් හෝ ප්‍රමුඛතම කාර්යය වන අතර
බියුටිෆිකේටඞ් මෙන්ම වෙළඳපොළ/මාධ්‍ය හරහා මැනිපියුලේටඞ් වී ඇති සිමියුලේක්‍රමික උත්සවකාරී ස්ත්‍රිය මෙම සොබාව ධර්මයාගේ උත්කෘෂ්ඨ ‘සද්කාර්යයට’ මේ වන විට දැවැන්තම අභියෝගය එල්ලකොට හමාරය.

පිටමත සැඳෑල දමා ස්ත්‍රීන් පිට නැගීයාමේ මුඛ්‍ය අධ්‍යාශයෙන්ද, පරම අධිෂ්ඨානයෙන්ද, පූර්ණ අපේක්ෂාවෙන්ද පසුවන පුරුෂයන් තැනීම සොබාව ධර්මයේ මීළඟ ඉෂ්ඨාර්ථය වන්නේද මැනිපියුලේටඞ් ස්ත්‍රිය, ඇගේ නරඹන්නිය බවට පත්ව ඇති පුරුෂයා හට තම පිට මත සැඳෑල දමා පැදයාමට සිතූ-සිතූ පරිදි ඉඩ ලබා නොදීම හේතුවෙන් ඇය යළිත් වරක් සොබාවධර්මයාගේ අභියෝගය බවට පත්වන්නීය. අනෙක් අතට තම වර්ගයා අමිශ්‍රව පවත්වාගෙන යාමේ
දේශපාලනික  සමාජීය දැඩි බල අවශ්‍යතාවය ස්ත්‍රිය විසින් නිරන්තරයෙන් අභියෝගයට ලක්කරනු ලබන්නීය. ඇය වරිගයෙන් පිටත වර්ගයා බෝ කිරීම රාජ්‍යත්වයට මෙන්ම සමාජ සංවිධානයටද අභියෝගයකි. ස්ත්‍රිය තම කුස දරාගනු ඇත්තේ කුමන වරිගේ එකාගේ බීජද යන්න දේශපාලනික වශයෙන්, සමාජය සංවිධානය කරන ආගමික - සංස්කෘතික සංස්ථා / ආයතනවලට මහත් බලපෑම් සහගත කරුණක් වන්නේද, එය සැබෑ අභියෝගයද වන්නේය.

ඓතිහාසික ‘තරඟය’ හටගන්නේ එතැන් පටන්ය. කොයි පැත්තෙන් බැලුවද ස්ත්‍රිය අභියෝගයකි. ඈ, පිටමත සෑඳල දමා සිතූ- සිතූ පරිදි පිරිමින්ට පැද යාමට දෙන්නේ හෝ සිතූ - සිතූ පරිදි ජනිතෘ බිහි කිරීමට තමාව සූදානම් කොට දෙන්නී හෝ සමාජ සංවිධානවලට අභියෝග කිරීමේ අවදානම අවබෝධ කරගන්නී හෝ නොවේ. මෙලෙස ස්ත්‍රිය අභියෝගයක් නම් ඇය ජයගත යුතු වන්නේ කෙසේද? කෙසේ හෝ ජය ගත යුතුව ඇත. වර්ගයාගේ පැවැත්ම ස්ත්‍රිය මූලික කොට ගෙන අභියෝගයට ලක්ව ඇතිවාක් මෙන්ම අවදානමටද වැටී ඇත. “මිළ ඉහළ ගිය විට කේවල් කිරීම වෙළඳපොල අභියෝග ජයගන්නා උපක්‍රමයකි.” ඒ වග සියළු ස්ත්‍රීන් දත යුත්තේය. ඒ අනුව ‘ස්ත්‍රිය මතු බුදු බව කෙලෙසින්වත් ප්‍රාර්ථනා නොකළ යුතු වන්නේය.’

මෙලෙස ස්ත්‍රිය කේවල් කිරීමේ ඵෙතිහාසික කාර්යය ඒ වන විටත් ඇරඹී තිබිණ. පුරාතන සාහිත්‍යයේ මූලික අභ්‍යාසගත ආභාෂයද, ආගමික සංස්ථාවල අභියෝගාත්මක ප්‍රමුඛ කාර්යයද, සංග්‍රහශීලී සිංහල - බෞද්ධ සංස්කෘතියේ පාදමද ‘එය’ වන්නේ එබැවිනි.

සියලු සංස්ථාවල මූලික පැවැත්ම ඈ අතය.

සදාචාරය, සංස්කෘතිය වැනි පුරුෂාලෝකයේ නිර්මිතයන්වල හරපද්ධතීන් පවතිනු ඇත්තේ ස්ත්‍රී වර්ගයා මතය. ‘ස්ත්‍රිය රෙද්ද කඩාගත හොත් පුරුෂයා විසින් නිර්මිත සංස්කෘතික ලෝකය සංකේතාත්මකව නිරුවත් වන්නේය.’ එනයින් ස්ත්‍රිය සංස්කෘතියටද අභියෝගයක් වන්නීය. ස්ත්‍රිය බුදුබව නොපැතිය යුතු වන්නේ ඇය ලෞකිකත්වයේ සංකේතය වන දෛව ස්ත්‍රිය වීම නිසා නොව ඇය මත සංස්කෘතිය රැක ගැනීමේ අභියෝගාත්මක වගකීම පැවරී ඇති හෙයිනි.

මේ අනුව ගත් කල ස්ත්‍රියක බුදුබව නොපැතිය යුතුය යන තර්කනය සංස්කෘතික ආයතනගත කාරණයක්/ තර්කනයක්/ අදහසක්/ නිර්මිතයක් මිස බුදුදහම නමැති දර්ශනය හෝ ක්‍රමවේදය හා බැඳී ආවක් නොවන බව මගේ පෞද්ගලික හැඟීමයි. බුදුන් විසින් ආගම නමැති සංස්ථාව පිහිටුවීමේදී ඇණවීමෙහි යෙදුනා යැයි කියන්නා වූ නීති - රීති හා බුදුදහම අතර සෘජු සම්බන්ධයක් මට නොපෙනේ. ආගමික සංස්ථාවක් බුදුදහමත් එකක් නොව දෙකක් බව අප දත යුත්තේද වර්තමානයෙහි ඊට අවශ්‍ය පමණ උදාහරණද ඇත්තේය. ඒ අනුව ස්ත්‍රියකට බුදුබව පැතිය නොහැකි යන්න බුද්ධ චරිතයේ නොව සංඝ/අනුගාමික, උපාසක/උපාසිකා සමාජයෙහි හා සංස්කෘතිය හා මිශ්‍රිත ආගමික සංස්ථාවල/ පද්ධතිවල/ ආයතනවල භාවිතාවක් විය යුතුය යන්න මගේ අදහසයි.

‘කොටින්ම ගැහැනියගේ කරේ ගසා ඇත්තේ කොහේවත් හැබෑවටම ඇති සංස්කෘතියක් හෝ හර පද්ධතියක් නොවේ.’ වෙනත් වචනවලින් කිවහොත් ‘කුරුසිය’ භෞතිකව පවතින්නක් නොවේ. නමුත් බර එසේමය. එමමය. ඇතැම් විට ඊටත් වඩා වැඩි මිස අඩු විය නොහැක. ‘භෞතික කුරුසියක්’ වෙනුවට ඇත්තේ සංකේත පද්ධතියක් හරහා (වචනවලින්) ගොඩ නංවන ලද ‘සංස්කෘතික ලෝකයකි.’ හර පද්ධතියකි. උදාහරණයක් ගෙන මදක් පැහැදිලි කරගන්නට උත්සහ කරමු. මෝස්තර ලෝකයේ ‘නිරාවරණ කලාප’ අටෙන් එකක් දෙකක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් (පිට, පපුව, ඉඟ, කලව, දෑත්.... ආදී වශයෙන්) නිරාවරණය වන ලෙස ඇඳීම අසංස්කෘතික යැයි මතයක් අප සමාජයේ ඇත. දැන් මෙය කා විසින් අණවන ලද රීතියක්ද? කවුරුන් විසින් කර තබාගෙන යන්නක්ද? වැඩිහිටි ස්ත්‍රීන් විසින් එය කර තබාගෙන විත් ඊළඟ ස්ත්‍රී පරම්පරාවට දායාද කරන මෙම කුරුසිය පුරුෂයන්ගේ භාෂා ලෝකයේ නිර්මිතයක් නොවේද?
නිරාවරණ කලාප වැඩි වශයෙන් ආවරණය වන්නට අඳින-පළඳින ස්ත්‍රිය සංස්කෘතික/සංවර යැයිද ආවරණය කලාප වැඩි වශයෙන් නිරාවරණය කරවන ස්ත්‍රිය අසංස්කෘතික/අසංවර යයිද යන්න භාෂා ලෝකය හරහා ගොඩනංවන/නිර්මාණය කරන ලද්දකි. නොඑසේ නම් ආවරණ කලාප සෑහෙන ප්‍රමාණයක් නිරාවරණය කරවන ඔසරිය අඳින ලද ස්ත්‍රිය සංස්කෘතික වන්නේ කෙසේද? භාෂාව මත ගොඩනංවන  ලද සංස්කෘතික ලෝකයේ  මෙබඳු කුරුසියක්  ගැහැනියට අහිමි කරනු ඇත්තේ ඇගේ පරිකල්පන ලෝකයයි. ඊට සමගාමීව පිරිමියා නරඹන්නිය බවට පත් වීමෙන් ඔහුට අහිමි වන්නේ කුමක්දැයි ඔබ සිතා බලන්න. එම අර්ථයෙන් ඇය මර්ධිතය. එනයින් ඔහුද මර්ධිතය. ඇයට පරිකල්පනය අහිමිය. ඔහුට පිරිමි ආත්මය අහිමිය. ඇය තිරයක් බවට පත්ව ඇති අතර ඇයව නරඹන්නට බොහෝ පිරිසක් ඇය ඉදිරියේ සිටී. ඒ අර්ථයෙන් ගත් විට ‘නේරංජනේ ඉස්නානේ’ ලියන කේ. කේ. සමන් කුමාරද නරඹන්නෙකු මිස අන්කවරකුවත් නොවේ. එවිට ඔහුට අහිමි වන්නේ ඔහුගේ පිරිමි ආත්මයයි. ඔහුට ඔහුවම අහිමි වී ඇත. එනයින් ‘නේරංජනේ ඉස්නානේ’ ලියා ඔහු නිදහස් කොට ගෙන ඇත්තේ කුමක්ද? අනෙක් අතට සර්පයා තම ස්ත්‍රී ආත්මය (ඔහුගේ භෞතික නොවන එක/one's doble&  බුදුබව ප්‍රාර්ථනා කිරීමක් ලෙසද අයකුට මෙය පැහැදිලි කරගත හැකිය.



අද දවසේ බලය පිළිබඳ අදහස නම් එය ලිංගිකකරණය වී ඇති බවත්, නිරන්තරයෙන් ස්ත්‍රිය වටා බලය ඒකරාශී වන බවත්ය. එසේ නම් මෙම අදහසට පිවිසිය හැකි මාර්ගයක් ලෙස අපට KK ගේ ‘නේරංජනේ ඉස්නානේ’ සැලකිය හැක. එහෙත් අවසාන අර්ථයෙන් සැබෑ ස්ත්‍රිය කියා දෙයක් නැත, සැබෑ ජීවිතය කියා දෙයක් නැත, යන තර්කනය මෙම දැනුමට බාධාවක් වන අතර පැහැදිලිවම එය (සැබෑ ස්ත්‍රිය) සොයා යාමේදී අපට සංස්කෘතිය/ආගම/භාෂාව වැනි
සංකීර්ණ බාධක රාශියක් අපට සම්මුඛ වන බව අප සිහිපත් කර ගත යුතුව ඇත. මේ යුගයේ ස්ත්‍රිය මෙන්ම පුරුෂයාද සිමියුලේක්‍රමණය වූ ශරීර පමණි.  සමන් නිවැරදිය.

මෙම ‘කුරුසිය’ බිම තැබිය යුතුමය. එය ගැහැනියක් බුද්ධත්වයට පමුණුවා හෝ ඉටුකරගත යුතු තරමේ අභියෝගයකි. අනෙක් අතට මතු බුදු බව ප්‍රාර්ථනා කරන පත්තිනි දේවීන්නාන්සේ තම පුරුෂයා (මෙහිදී තම පුරුෂයා ලෙස ස්ත්‍රිය සලකන්නේ යමෙක් වේද ඔහු ඇගේ පුරුෂයාය) හා සම්භෝගය ප්‍රතික්ෂේප කරනු ලැබ ඊට දඬුවම්  ලෙස භාවනා පූර්ණය කරනු ලබනුයේ ඉඳිකටු තුඩක වන්නේද, ඒ එසේ වී නම් ‘තම පුරුෂයාට’ සම්භෝග දානය ප්‍රදානය කිරීමෙන් ඉඳිකටු තුඩෙහි වේදනාවෙන් මිදීමේ මහා කුසල කර්මය පූර්ණය කළ හැකි බැව් මතු බුදු වන්නට පෙරුම් පුරණ පත්තිනි මෑණියන්වහන්සේලා දත යුත්තේය.

“භීෂණය සදාචාරය බවට පත් වූ විට දූෂණය එහි කතෘත්වය ගන්නා බව සිහිපත් කර ගැනීම වටී.”

යමක් පාරිශුද්ධත්වයට පත් කළ විට එහි යට සැඟවී ඇති අනෙක් භයානක අර්ථය නම් (එකවර) එය දූෂණය කළ හැකිය/කෙලෙසිය හැකිය යන අදහසයි. ගණිකාවක් දූෂණය වූ විට එය නොතකා හැරිය (නීතිය ඉදිරියේ පවා) හැකි
වන්නේ ඇයට මවක සතු පාරිශුද්ධත්වය නොමැතිය. එබැවින් එබඳු “දඬුවමක්” ඇයට උරුමය යන කුරිරුඅදහසකින් පමණි.

අනෙක් අතට කාන්තාව පාරිශුද්ධත්යට පත් නොකොට සංස්කෘතිය රැක ගැනීමේ අභියෝගයට කතෘත්වය මුහුණදී සිටි. එබැවින් ස්ත්‍රිය, ගෙදර බුදුන්, තැනට ඔසවා‘කුරුසයේ’ තබා ඇත. දැන් ඇයට ඇත්තේ තේරීම් දෙකක් පමණි. එකක් අම්මාය. අනෙක ගණිකාවය. සමාජයෙන් ගැරහුම් ලබනු අකමැති ඕනෑම ස්ත්‍රී ප්‍රාණියෙකු කුරුසිය කර තබා ගනු නිසැකය. (බංගලා දේශයේ විමුක්ති යුද්ධය
අවසන් වීමත් සමග විශ්මය උපදවන සුළු ලෙස ස්ත්‍රී දූෂණ ලක්ෂ දෙකක් සහ ජනඝාතන ලක්ෂ තිහකට මුහුණ දී තිබිණ. එලෙස විනාශ වී ගිය රට නැවත ප්‍රතිව්‍යුහගත කරනුවස් බංගලාදේශයේ ප්‍රථම ජනාධිපති ෂීක් මුජිබර් රහිමාන් විසින් ප්‍රජාතන්ත්‍රවාදය, සමාජවාදය, ලෞකිකවාදය, ජාතිකත්වය යන ප්‍රතිපත්ති හතර මත පදනම් වී ක්‍රමයක් හඳුන්වා දූෂණයට ලක් වූ දෙලක්ෂයක් ස්ත්‍රී සමූහය නැවත සමාජගත කරනු පිරිස ඔවුන් යුධ වීරවරියන් (බිරන්ගොනාස් -
birangonas ) ලෙස හඳුන්වා මල්මාලා දමා පිළිගත්තද පවුල හා සමාජය විසින් ඔවුන්ව ප්‍රතික්ෂේප කෙරුණු අතර බංගලාදේශයේ ‘ස්ත්‍රී සුචරිතය’ නමැති අදහස වටා ඇති ගූඩත්වය බිඳ දැැමීමට අළුත් රාජ්‍ය ප්‍රතිපත්ති මාලාවට හැකියාවක් ලැබී නොතිබිණ.

මාතෘ ප්‍රතිරූපය ගෘහස්ථ මට්ටමේ සිට ජාතික තලයේ ‘පරිකල්පනීය ප්‍රජාවක්‘ දක්වා පුරුෂ මූලික භාෂා ලෝකයේ කතෘත්වය -Agency  තුළින් නිර්මාණය කිරීම ඔවුන්ගේ ප්‍රතිරූප නිර්මාණ ව්‍යාපෘතියේ තවෙකක් මිස අනෙකක් නොවේ. පැහැදිලිවම ගත යුත්ත නම් ඒවා චරිත මිස සැබෑ ජීවිතයේ හමුවන ඒවා නොවන බවයි. ඒවා සියළු ප්‍රායෝගික තලවලින් බැහැරව ඇති අතර සංස්කෘතිය සදාචාරය හුදු සංකේත පද්ධතියක් බවට බිඳ වැටි ඇත. එය හුදු ‘පත්කරගනු ලැබූ’ කතෘත්වයක් -Agency පමණි.

නිදසුනක් ලෙස ආගමික ග්‍රන්ථ/පුරාතන සම්භාව්‍ය සාහිත්‍ය ග්‍රන්ථවල මෙම විෂය සම්බන්ධයෙන් වන පරස්පරය මදක් කියවා බලන්න. කාන්තාව නිවනට යන මාර්ගයට වැටෙන දැවැන්තම කාම බාධකය අනචාරයේ ප්‍රතිමූර්තිය බවට පත්කරවන ප්‍රචාරණ කාර්යය උදෙසා ලියැවුණු මහා සාහිත්‍ය තුළ වරින් වර එහි ප්‍රතිපක්ෂය වන ‘ගෙදර බුදුන් අම්මා’ නමැති සුචරිතවාදී චරිතය ඉස්මතු කිරීමේ උත්ප්‍රාසය සලකා බලන්න. අම්මා සහ ගණිකාව අතර සියුම් බෙදුම් රේඛාව මැකී ගොස් ඇත්තේ මෙම ‘සංස්කෘතිය රැකගැනීමේ’ අවශ්‍යතාවයත්, එම අවශ්‍යතාවය ඉටු කරන ස්ත්‍රිය මර්ධනය කිරීමේ කාර්යභාරයත් එකම කතෘත්වය විසින් දරා සිටීම නිසා වන අතර පරිභෝජන සමාජයක සිමියුලේක්‍රමණය වූ ස්ත්‍රිය ඊට අභියෝගයක් වීම නිසාම සැබැවින්ම එය කොතරම් දුෂ්කර ව්‍යායාමයක්දැයි ඔබට සිතාගත හැකි වනු ඇත. (විසිවන සියවසේ ඉන්දියාවේ සමාජ ප්‍රතිසංස්කරණවාදී ලිපි ලේඛන තුළ කාන්තාවන් වස්තූන් බවට පත් කිරීමේ ක්‍රියාවලිය හා ඒවායේ මව සහ ගණිකාව යන ද්විවිධකරණය වැඩිදුර
කියවන්න)
එසේනම්,

සොබාදහම් මාතාව/මාතෘ භූමිය/ගෙදර බුදුන් අම්මා මෙලෙස ස්ත්‍රිය පරමාදර්ශයට නැංවීම හෝ ස්ත්‍රී භූමිකාව ශුද්ධ වූ මොහොතකට/ද්‍රව්‍යයකට ආරූඩ කිරීමේ ව්‍යාපෘතිය කුමක් විය හැකිද? සැබැවින්ම එය සතුරාට එරෙහිව ජාතිය එක්සත් කිරීමේ හා අධිරාජ්‍යවාදයට එරෙහි ප්‍රතිරෝධය ලෙස ජාතිකත්වය කුළු ගැන්වීමේ ව්‍යාපෘතියේ ස්වරූපයයි. ආධිපත්‍යධාරීත්වය / ඒ මත පැවැත්මේ බලපෑම් සහගත බව  හා තම චිත්තවේගය ප්‍රදර්ශණය කිරීමේ සංකේතාත්මක දර්ශකය එය විය. එය රෝමෑන්තිකවාදී මෙන්ම සටන්කාමීද වන අතර, මව්වත්කම දූෂණය කරණ ‘පරයාට’ එරෙහිව අවි අමෝරා ගැනීමට අවසර / බලය ලබා දීම මෙම සුරුවම්කරණයේ වාත්තුවයි. ඒ අර්ථයෙන් ගත් විට එයද කතෘත්වයේ ආධිපත්‍යයට මිස අනෙකක් නොවේ.

“ඔබට ස්මරණය කිරීමක් කළ හැක්කේ, කිසියම් අමතක කිරීමක්ද කළ හැකි නම් පමණි.’

මහා ආඛ්‍යානයන් පිළිබඳ විශ්වාසයන් බිඳ වැටීම  ^Cross of faith&නූතනත්වයේ සමාජාර්ථික මාරුවීම්වල සමස්ථ බලපෑම ලෙස විද්වතුන් හඳුනාගෙන ඇත. මෙහිදී මහා ආඛ්‍යානය බුදුදහම නම් බිඳවැටීම ‘නේරංජනේ ඉස්නානේ’ ලෙස අපි මදකට සලකමු. මේ හඬ විප්ලවීය ද?

නැතෟ එය හැටේ දශකයේ අභාවයට ගිය විප්ලවීය අරගලයෙහි වෙනත් ස්වරූපයක් හෝ නොවේ. එය සාතිශය  සානුකම්පිත බුදුවීමකි. නේරංජනේ ස්ත්‍රීවාදී හෝ ස්ත්‍රී විරෝධී ආකල්ප දරාගත් කෘතියක් ලෙස සලකනවාට වඩා යුගයේ හුදෙකලා මනුෂ්‍ය අරගලය ලෙස කියවීමෙන් වඩා සාර්ථක අර්ථ සම්පාදනයකට යා හැකි බව මගේ පෞද්ගලික හැඟීමයි. සාචීකරණය පිළිබඳ විවාද නොහොත් පශ්චාත් යටත් විජිත න්‍යායවේදීන් හා ස්ත්‍රීවාදීන් දියත් කළ විවාද මගින් බිහි වූ නව ප්‍රවණතාවක් ලෙස කලාව තුළ න්‍යායික සූක්ෂමතාවක් හෝ දේශපාලන අරමුණක් අත්‍යවශ්‍යයෙන්ම තිබිය යුතුය යන්න ප්‍රතික්ෂේප වූ අදහසක් වන අතර ‘නේරංජනේ ඉස්නානේ’ කෘතිය තුළ වුවද එබඳු පැහැදිලි න්‍යායික සූක්ෂමතාවක් හෝ දේශපාලන අරමුණක් දක්නට නොලැබීමෙන් (මගේ පෞද්ගලික අදහසට අනුව) එය අරගලයක ස්වරූපයක් නොදැරීම ඉහත කරුණ සනාථ කිරිම සඳහා යොදාගත හැකි සාක්ෂියකි. අරගලය ඇත්තේ ‘ස්ත්‍රියගේ ’ බුදුවීම තුළ (කෘතිය තුළ) මිස ‘ස්ත්‍රිය’ බුදුවීම තුළ නොවීම මීට හේතුවයි. අවසාන වශයෙන් කේ.කේ. සමන් කුමාරගේ පෞද්ගලික ජීවිතයේ කුමන සමයක නේරංජනේ ලියැවුනේදැයි අදාල කොට නොගෙන මෙම සාහිත්‍ය කථිකාව, සම්පූර්ණ නොවනු ඇති අතර ඔහුගේ පෞද්ගලික ජීවිතය කෘතියට එල්ල කල බලපෑම සහ නූතන විචාරයන්ට අනුව කතෘගෙන් පරිභාහිරව කෘතිය කියවීමේ (උදා:- සීගිරි චිත්‍ර පිළිබඳ අර්ථ සම්පාදනය යනු පස්වන සියවසෙහි දේශපාලනය පිළිබඳව, ආසියාතික කලාවේ දෘෂ්‍ය සංකේත පිළිබඳව, කාශ්‍යප රජුගේ දේශපාලනය පිළිබඳව අර්ථ / අදහස්
සම්පාදනයක්ද වනවා සේම) අපහසුතාවය (කතෘගෙන් පරිභාහිර
කතෘත්වයක්) එසේම තිබියදී කෘතිය සම්බන්ධයෙන් අපි ඉතා කෙටි මනෝ විශ්ලේෂණාත්මක අදහසක් සම්පාදනය කර ගැනීමකට උත්සුක වෙමු.

ආශාවේ පරිනාමය පසුපස ඇති ඛණ්ඩන හා පිපිරීම් ගැන මතුපිට කියවීමකින් අපි අදහසට ප්‍රවිශ්ඨ වෙමු. ශරීර නමැති බලයෙහි කෝෂ්ඨාගාර ස්ත්‍රී සහ පුරුෂ ලෙස
ආශාවේ රේඛා හරහා වෙන්කොට දැක්වීම භාෂාවේ මූඛ්‍ය කාර්්‍ය භාරයන්ගෙන් එකක් බවට පත්වන්නට බලකෙරී ඇත. බලය සහ ආශාව අතර සිදුවන සංකීර්ණ ගනුදෙනුව අප තේරුම්ගන්නේ නැවතත් භාෂාව හරහා වීම උත්ප්‍රාසජනක මුත් අපට ඊට අභියෝග කළ හැක්කේද ‘භාෂාව හරහා ආඛ්‍යාන ගොඩ නැංවීමෙන්ය’ යන්න එහි ආධිපත්‍යයේ ස්වරූපය ඔබ හෙළිදරව් කරනු ඇත. දැන් අපි මේ කරුණ හරහා නේරංජනේ පඨිතයෙහි මතවාදී කාර්යය ගැන යම් අදහසක්
සම්පාදනය කර ගන්නට සුළු උත්සාහයක්ද දරමු. ලිංගිකත්වය හුවා දැක්වීම නැවත - නැවත යෙදීම වැනි භාෂාත්මක/ආඛ්‍යාන අභියෝගය වටහාගත හැකි වනු ඇත්තේ එවිට පමණි. ලිංගිකත්වය හුවා දැක්වීමෙන් අපේක්‍ෂිත දේශපාලනික මැදිහත්වීම ‘සර්පයාගේ’ අතිශය පෞද්ගලික සිතිවිලි තුළ දිය වී ගොස් දියාරු වී ඇත. එහෙත් ලිංගිකත්වය අධ්‍යයනය කිරීම තවදුරටත් හුදෙකලා පුද්ගලයන්ගේ ශරීරවලට පමණක් සීමා වී නොමැති හෙයින් කෘතියට වෙනත් මානයකින් දැවැන්ත වටිනාකමක් ලැබී ඇති වග පැහැදිලිවම සටහන් කළ යුතුව ඇත. ලිංගිකත්වය යනු සමාජීය ගොඩනැංවීමක් බවත්, එය පෙරළා සමාජයට දැවැන්ත අභියෝගයක්ව ඇති බවත් කෘතිය පැහැදිලිවම කරුණු ගෙන හැර දක්වයි. (උදාහරණ පිණිස ‘නේරංනේ ඉස්නානේ’ කියවන්න.)

අවසාන අර්ථයෙන් එසේ නම් යථාර්ථයේ අභ්‍යන්තර තර්කනය කුමක් විය හැකිද? සදාචාරයක් නොමැති බව දැන-දැනත් සදාචාරයක් විශ්වාස කිරීමට සිදුවීමයි. පන්සල/ පල්ලිය/කෝවිල/පාර්ලිමේන්තුව/උසාවිය.....යනාදී වශයෙන් කෙතරම් දීර්ඝ ලෙස මෙම ලැයිස්තුව සකස් කළ ඒ කිසිවක් තුළින් සදාචාරය සොයාගත නොහැකි වන නමුත් එය (සදාචාරය) ‘පවතිනවාය’ යන්න තර්කනයේ ඇති
නරුමත්වයයි.

සැබැවින්ම නොපවතින්නක් රැක ගැනීමට කුරුස කර ගසාගෙන සිටින ගැහැනුන්ට කස පහර එල්ල කිරීම (මෙම ලිපිය ලියන්නිය ස්ත්‍රීවාදිනියක්ව නොතිබියදී පවා මෙය කිරීමට සිදුව ඇත) නරුම වන්නේ එබැවිනි. මෙම දෘෂ්ඨිවාදයේ සළුපිලි KK  ඉවත් කරන්නේ නේරංජනේ අසබඩදීය. එනයින් එහි ගෞරවය ඔහුට හිමිවිය යුතුය.

එනයින්, ‘නේරංජනේ ඉස්නානේ’ යනු විකාරයක් හෝ ෆැන්ටසියක් නොවන්නේ සැබැවින්ම ‘සදාචාරයේ සළුපිලි’ ඉවත් කළ විට පෙනෙන නිරුවත මීටත් වඩා (ඇතැම් විට) විකාරසහගත විය හැකි බැවිනි.

සර්පයානු ලිවීමක ෆැලික ප්‍රමෝදය




සමන් වික්‍රමාරච්චි


‘නේරංජනේ ඉස්නානේ’ යනු කියවන්නිය මුල්වරට කිසියම් අවුලකට පත් කරනසුලු ආඛ්‍යානයකි. එය කියවිය යුත්තේ අග සිට මුලට බව වටහා ගන්නා තුරු ඇය මෙම අවුල වින්දනය කරයි. එය පදානුගත අර්ථ සහිත කියවීමක් පිණිස අගමුල සොයා ගන්නේ වුව ද ඔබ එහි අන්තර්ගතය කෙරෙහි බර තබන්නේ නම් මේ කවර වූ ලිවීමක් දැයි හරි හැටි වටහා ගන්නේ නැත.


‘නේරංජනේ ඉස්නානේ’ යනු අන්තර්ගතයක් රහිත ආකෘතියක් පමණක් ඇති නවකතාවකැයි කීමෙන් එය අර්ථ විරහිත ලියවිල්ලකැයි කියන බවක් නොගන්න. ඇත්තටම නම් එහි අන්තර්ගතය වන්නේ ආකෘතියමය. කලා කෘතියක දයලෙක්තික වටිනාකම මිනිය හැක්කේ එහි ප්‍රකාශිත අර්ථය සමඟ ගැටීමෙන්වත් අප්‍රකාශිත තේරුම් ගවේෂණය  කිරීමෙන්වත් නොවේ. ෆෙඞ්රික් ජෙම්සන් සරණ යාමට ඔබ සූදානම් නම් කලා කෘතියක අගය තිබෙන්නේ එහි ප්‍රකාශිත 
(Manifest)  හෝ අප්‍රකාශිත ගුප්ත (Latent)  අර්ථය මත නොව එය ප්‍රකාශමාන වන ආකාරය නැතහොත් ආකෘතිය මත බව පිළිගැනීමට අපට සිදු වේ. වැඩිදුර නොගොස් මම මෙසේ වදාරමි. සර්පයා මෙම ආඛ්‍යානයෙහි ආකෘතිය ලෙස ගන්නේ විසංයෝජනයකි. ඔහු විසංයෝජනය (Deconstruction)  කරන්නේ  කුමක්ද යන්න නොව ඔහුගේ ලිවීමේ ශෛලියම විසංයෝජනීය වීම මෙහි ඇති සුවිශේෂයයි. ඇත්ත. බැලූ බැල්මට මෙහි ප්‍රස්තුතය වන්නේ ස්ත්‍රී/පුරුෂ සහසම්බන්ධ ප්‍රතිපක්ෂය (Binary Opposition)  තමයි. එහි විසංයෝජනය නම් පුරුෂ ප්‍රමුඛතාව හෙළා ස්ත්‍රී බව නඟාලීමය. එහෙත් ඒ සඳහා ලේඛකයා භාවිත කරන්නේ පුරුෂවාදී වූ ආගමික කියවීම්ය.


විසංයෝජනය යනු කිමෙකැයි හරි හැටි අල්ලා නොගෙන මෙහි ඉදිරියට යා නොහැක. ඩෙරිඩාට අනුව කළු හැඟවුම්කරණය කිරීමට නම් සුදු අභ්‍යුපගමනය
 (Presume)  කළ යුතුය. එය හුදු කළු බව (Blackness) නිරූපණය නොකරයි. එහි එය නොවන වෙනත් දෙයක සලකුණ  (Trace) අන්තර්ගතව ඇත. ඒ අනුව භාෂාවේ වචන සංඥාකරණයේ කෙළවරක් නොමැති ලිස්සා යාමට යටත්ය. මෙම ප්‍රපංචය විස්තර කිරීමට ඩෙරිඩා Differance  යන නව යෙදුම (Neologism)  භාවිත කරයි. මෙම යෙදුම ශ්ලේෂාර්ථ නඟන්නකි. එනම් ප්‍රංශ අර්ථයෙන් එහි වෙනස නැතහොත් පරතරය (Differ)  සහ කල් දැමීම (Defer)  යන අර්ථ දෙකම නඟයි. වැදගත් දේ නම් එහි ස්වයං - සර්වසම අර්ථයක් ගැනීම කල් දමමින් වෙනස් වූ කිසිවක සලකුණ අඩංගු වීමය.


සහසම්බන්ධ ප්‍රතිපක්ෂමය යෙදුම්
 (Binary Oppositions) ඟින් සිදුවන්නේ ඩෙරිඩා යට සඳහන් කරන Differance අර්ථ දැක්වීම වහංගු කිරීමය. එනම් යෙදුම්  දෙකකින් එකකට ප්‍රමුඛතාව දීමය. එහෙත් පුරුෂයා/ස්ත්‍රිය යන යුගලයේ එක් එක් යෙදුමට අවකලනමය අර්ථයක් දෙන බැවින් එකක් අනෙකෙහි සලකුණ රඳවා ගනී. එහෙත් පීතෘමූලික දෘෂ්ටිවාදය අභ්‍යුපගමනය කරන්නේ ‘පුරුෂ’ යන්න ප්‍රමුඛ වන බවය. මේ නිසා ස්ත්‍රිය යන්නෙහි අවකලන අර්ථය අඩුවකි. (Lack)  එනම් පුරුෂ බව මස්තකප්‍රාප්ත වීමට අවශ්‍ය (ෆැලික) සම්පූර්ණ බව ස්ත්‍රියට නැත. බයිබලයේ උත්පත්ති කතාවේ දී ඊවා ආදම්ගෙන් නිර්මාණය වන්නේත් ආදම් දෙවියන් වහන්සේගෙන් පැවතෙන්නේත් එබැවිනි.

එම අර්ථයෙන්ම බුද්ධත්වය යනු පුරුෂවාදී සංකල්පයකි. පුරුෂයකුට හැර ස්ත්‍රියකට බුදු විය නොහැකිය. සරලව කිවහොත් නේරංජනේ ඉස්නානේ තුළ ආඛ්‍යානිකව විසංයෝජනය කරන්නේ මෙම පීතෘමූලික අධිපති දෘෂ්ටිවාදයයි. අග සිට මුලට ආවර්තනය වන ආඛ්‍යානික ශිල්පය
 (Narrative Style) තුළ මෝදුවන්නේ ඔළුවෙන් සිටුවා තිබූ ස්ත්‍රීත්වය දෙපයින් නඟා සිටුවීමේ විසංයෝජනීය ආකෘතියයි.

“ඈ නැඟී සිටියාය. සියලු කිලි කුණු ඒ අනෝරාවෙන් සේදී ගොස් තිබිණි. ඈ දෙපා අසල රන් කගක් විය. ඈ එය අතට ගත්තාය.”


“සන්තානගත සකල ක්ලේශයෙහිම නිමිත්තක් බඳු වූ ඒ කේශ කලාපය සිඳ විසි කළාය. එකල්හි ඒ අහසෙහි මඳක් රැඳී තිබිණි.


“ඈ තම සිරුරෙහි එල්ලී තිබූ වැරෑලි කිහිපය ගලවා දැමුවාය. අනතුරුව ඕ නේරංජනයට බැස්සාය. එහි සැනහෙමින් නෙළුම් පතක් කඩා ‘මාගේ අධිෂ්ඨානය පරිදි වේවයි’ කීවාය. එකල්හි ඒ උඩුගං බලා ඇදිණි.

“ඈ නේරංජනයෙහි සැනහෙමින් එගොඩට පිහිනී. ඉවුරට ගොඩව මෙගොඩ බැලී. මෙතුවක් දවස් තමා පසුපස තමාගේ මේ විපරියාසයෝ දර්ශනය කළ සතා සතුන් සියල්ලෝ තවදු එක එල්ලේ බලා සිටියෝය.


“ඈ උනට පිටු පා ඒ වන ගහනය තුළ නොපෙනී ගොස් බොහෝ වේලා යන තෙක්ම උහු ඒ බැල්මෙන්ම එදෙස බලා හුන්නෝය.”


නේරංජනේ ඉස්නානේ 148 පිට.


මෙම විස්තරයට පසුව කියවෙන්නේ බුදුන් දුෂ්කර ක්‍රියා කළ ආකාරය සැරියුත් තෙරණුන්ට විස්තර කරන මජ්ඣිම නිකායේ මහා සීහනාද සූත්‍රයෙන් උපුටා ගත් කොටසකි. ස්ත්‍රිය බුදුවීම පිණිස පා නැඟුවේ වුවත් එහි පුරුෂ සලකුණ 
(Trace) ඇති බව මෙහි දිගින් දිගටම මේ ආකාරයෙන් කියවෙන බව දත යුතුය. මෙහි ස්ත්‍රියකට ආරෝපණය කරන්නේ පුරුෂයකු බුදු බව පැතූ ආකාරයයි. බුද්ධත්වයට පත්වීමට එරෙහිව පැමිණි දස මාර සේනාව වූ කලී පෙර බුදු බව ලැබ සිටි බුදුවරුන්ය. බුදුන් වෙත පැමිණි මරඟනන් ඇය වෙත එන්නේ පිරිමි වේශයෙනි. ඒ තිදෙනාම පෙර බුදුවරු වූහ. අනතුරුව මෙසේ ලියවෙයි.


“අවසානයේ වසවත් මාර දූතිය ඇගේ වේශයට ගෙන ඈ ඉදිරියේ පහළවිණි. ඒ තමාම විය. අසීරුම සටන වූයේ එසේ ආ තමා සමඟින්මය. ඒ මාර දූතිකාව උපන්නේ තමාගේම හේමලයාගෙනි.”


නේරංජනේ ඉස්නානේ 143 පිට


මෙලෙස බුදු වීමට යන ස්ත්‍රිය තමා තුළටම අන්තරීකරණය වීමට වීම මෙය නව දිශානතියක් ඔස්සේ කියවීමට අපට ඇරයුම් කරයි. එය අන් කිසිවක් නොව ස්ත්‍රියගේ ලිංගිකත්වය 
(Woman's Sexuality)  නම් වූ ප්‍රපංචයම වේ.


බැලූ බැල්මට ‘නේරංජනේ ඉස්නානේ’ යනු ස්ත්‍රීවාදී ලිවීමකි. එහෙත් එය කෙතෙක් ස්ත්‍රී විරෝධී ද යන වග අපට දත හැක්කේ මෙම ලිවීම තුළ මතු වන ස්ත්‍රීත්වය පිළිබඳ පුරුෂවාදී ලිවීම් නැවත කියවීමෙනි. මෙහි දී මම ඔටෝ වීනින්ගර් සහ ජිජැකියානු කියවීම් ඇසුරු කොට ගතිමි. ජිජැක්ට අනුව ඔටෝ වීනින්ගර්
 (Otto Weininger) යනු දර්ශනයේ කේන්ද්‍රීය තේමාව ලෙස ලිංගික වෙනස (Sexual Difference)  සහ ලිංගික සබඳතා ඔසොවා තැබූ ලේඛකයෙකි. ඔහු මෙහි මිල ගෙවන්නේ Sex and Character  නම් වූ මාහැඟි කෘතිය ලියා අතගත් සැණින් සිය දිවි නසා ගැනීමෙනි. මිය යන විට ඔහුගේ වයස අවුරුදු විසි හතරකි.

වීනින්ගරියානු ලිවීම් ස්ත්‍රී විරෝධී බව
 (Anti feminist) නොකිවමනාය. ඔහුගේ ස්ත්‍රී විරෝධය මතුවන්නේ ස්ත්‍රිය සපුරාම ලිංගිකමය පමණක් වේ යයි (Woman is Only and thoroughly Sexual) හංවඩු ගැසීමෙනි. එනම් ඇය වූ කලී කාමුක ස්ත්‍රියයි. වීනින්ගර් Sex and Charater හි ලිංගික ගැටලු අරබයා දෙන පිළිතුර සමකාලීන ස්ත්‍රී විරෝධය සහ යුදෙව් විරෝධය කලවම් වූ නොගැඹුරු දාර්ශනික ප්‍රවේශයක් ලෙස වටහා ගැනීමට අපහසු නැතැයි ජිජැක් පවසයි. වීනින්ගර්ට අනුව ලිංගික වෙනස (Sexual Difference)  පදනම් වන්නේ විෂය සහ වස්තුව එනම් සක්‍රිය බලශක්තිය සහ අක්‍රිය දෙය (Active Spirit and Passive Matter)  අතර පවත්නා සත්භාවමය ප්‍රතිවිරුද්ධ බව Onotological Opposition  මතය. එහි දී ස්ත්‍රිය වූ කලී අක්‍රිය වූ පහසුවෙන් පොලඹවා ගත හැකි වස්තුවකි. එහි අර්ථය නම් ඇය මුළුමනින්ම ලිංගිකත්වයේ ආධිපත්‍යයට යටත් බවය.


ස්ත්‍රිය සපුරාම ලිංගිකත්වයේ ආධිපත්‍යයට යටත්ය යන ප්‍රවාදය වීනින්ගර් ප්‍රකාශයට පත් කරන්නේ මෙසේය. (මෙය එහි දළ සිංහල පරිවර්තනයයි)


“...ස්ත්‍රිය සපුරාම ලිංගිකමය පමණක් වන්නේ ඇයගේ ලිංගිකත්වය තමන්ගේ මුළු සිරුර පුරාම විසිර පවතින බැවිනි.

භෞතික අර්ථයෙන් කියන්නේ නම් යම් ස්ථානවල මෙය අන් ස්ථානවලට වඩා (ඇය ලිංගිකව ආසාදනය වන්නා සේම ඕනෑම දෙයක් ඇය විනිවිදව යයි) ප්‍රබල වන අතර සෑම විටම ඇගේ සිරුර මතුපිට සෑම තැනම විහිද පවතී. අප සාමාන්‍යයෙන් මෛථුනය යයි කියන්නේ මෙය අතිශය තීව්‍රව නැගුණ විශේෂ අවස්ථාවකටය...”
ඔටෝ වීනින්ගර්ගේ ග්‍රන්ථයේ 258 පිට

සර්පයා නේරංජනේ ලියමින් ස්ත්‍රිය සපුරාම ලිංගිකත්වයේ ආධිපත්‍යයට යටත්ය යන වීනින්ගරියානු ප්‍රවාදය නිදර්ශන සහිතව ස්ථුට කරයි. එය ලිවීමෙන් ඔහු ලබන ෆැලික ප්‍රමෝදය කෙතෙක්දැයි විඳින්න.


“මනුෂ්‍ය ගාන්ධර්ව බන්ධනයෙහි වෙළුණාහ. වෛශ්‍යා කර්මයෙහි ගැලුණාහ. උවැසිව ‘වහන්ස ඌරු අතරෙහි ගටනුමැනවි. නැබැ ගටනු මැනවි. උදර වැටියෙහි ගටනු මැනවි. කිසිල්ලෙහි ගටනු මැනවි. ග්‍රීවායෙහි ගටනු මැනවි. කන් සිදුරු ගටනු මැනවි. කෙස් වැටියෙහි ගටනු මැනවි, ඇඟිලි අතුරු ගටනු මැනවි, අතින් උපක්‍රම කොට කටින් ගන්නෙමි යනාදී වැලපිණ. ධ්‍යානගත මහණක රහසඟ මත හිඳ ඇතිතාක් කොට සිනාසෙමින් සමීපව සිට “මේ කාර්යය තීගේ ද ඇසූ කල්හි ‘එසේය මගේ කාර්යයකි’ යි කීය.


‘මහණව පුටුවක හොත් දැරියක් දැක කාය සංඝගග  රාගයෙන් යුක්තව පයැ මාපටැඟිල්ල අංග ජාතයට ප්‍රවිශ්ඨ  කළේය. සිතුවම් රුවක නිමිත්ත රහසඟින් පහළේය. වඳින්නී අඳනය ඔසවා මුවින් ගනු ඉවසීය. අග දත් ලෙස මෙවුන්දම් ඉල්ලීය. වසමග, පසමග, මුව ආදියෙහි ප්‍රවේශයද, ප්‍රවිෂ්ටය ද, ස්ථිතියද, උද්ධරණය ද ඉවසීය. පිළිසන් වස මගෙහි, නොපිළිසන් වස මගෙහි යනාදී ව්‍යායාම කළේය. සිත් ගත් ස්ත්‍රී කාල යාත්‍රා කළ කල්හි සොහොනෙහි විසිරී ඇට රැස්කොට නිමිති සටහනින් රහසඟ මෙහෙයී. රාගයෙන්, වර්වසින්, මුත්‍රායෙන්, වාතයෙන්, බුහු පනුවන් ගැටීමෙන් කවරකින් වුව අංගජාත කර්මන්‍යව ගිය කළ කාම ඡන්දයෙන් ඒ පැහැරීය”


නේරංජනේ 54 පිටු


ජීවමාන ස්ත්‍රියකගේ කවර වූ ශරීරාංගයක් කාම සංසර්ගය පිණිස වන බව කීමෙන් නොසෑහී මේ ලේඛකයා මළ ස්ත්‍රියකගේ ශරීරය වුව කාමය පිණිසම වන බව කියයි. ස්ත්‍රිය හුදු ලිංගික වස්තුවකැයි කියන ස්ත්‍රී විරෝධී විනින්ගර්ගේ අත්අඩංගුවට සර්පයා නතුවන්නේ එපරිදිය. දැන් අපි ඔහුගේ ස්ත්‍රීවාදය කෙසේ කියවන්නෙමුද? යහපත උදෙසා අධිකතර ලෙස කැපවීම නපුරට පාර කපන්නා සේ අධික ලෙස ස්ත්‍රීවාදී වීම කෙළවර වන්නේ පුරුෂවාදයෙන් බව ඉන් දත යුතුය. වීනින්ගර් පවසන පරිදි ප්‍රේමය යනු ද ලිංගික සංසර්ගය සඳහා ඇති පෙළඹවීම සඟවාලන්නකි. ස්ත්‍රියට කිසි විටෙක තමාගේ ආදරවන්තයා කෙරේ පවිත්‍ර වූ විරාගී ප්‍රේමයක් දීමට නොහැකිය. වැඩිමනත්ව කියන්නේ නම් ඇයට තමාගේ මමායනය (Egoism)  ජය ගත හැකි එකම ක්‍රමය මෛථුනයයි. ඇයට ඇති එකම ආචාර විද්‍යාත්මක (Ethical) අදහස එය පමණි.

නේරංජනේහි එන බුදු වූ ස්ත්‍රිය පිරිනිවන් පෑමට පෙර මානවකයකු සමඟ රමණය කරයි. එම රමණය ඇගේ  අවසානය ළඟා කරන බැවින් මානවකයා කියන්නේ නොමැරී සිටීමට නම් විපරිත කාම ක්‍රීඩාවකින් එය කෙළවර විය යුතු බවයි. මානවකයා මෙසේ පවසයි.


‘මා සමඟ කයින් කය පහරින යමකු වේද, උහුද ඒ ඉරණම්ම වන්නේය. නමුදු මම් නුඹ හා කයින් කය පහරනු රිසියෙමි. එද තොප මාගේ ඉරණම් ලබනු නොකමැත්තෙමි. තොප මා සමඟ සිතින් සිතදු නොපහරිනු මැනව. තොපට අන්තරා වන්නේය. එබැවින් ශ්‍රාව නොතැවරෙන ලෙස මම තොප පයෝධර ඉඹින්නෙමි. රහසඟ ඉඹින්නෙමි. තලැටක් පමණ කුදු ප්‍රවේශ නොකරන්නෙමි. නොගටන්නෙමි. කලවා මුස කරමි. අතින් උපක්‍රම කරන්නෙමි. විසර්ජික ශ්‍රව තොප සිරුරු නොගැටෙනුව වග බලා ගනිමි.


නේරංජනේ 49 පිට


අප සිත්හි තබා ගත යුතු දේ නම් මේ සියල්ල ලියන්නේ පිරිමියෙකි. එහි කිසිදු ශෘංගාරයක් නැත. ඉන් තීව්‍රව නැගෙන්නේ විපරිත කාම ක්‍රීඩාවන් පිළිබඳ පුරුෂයකුගේ අසභ්‍ය ෆැන්ටසි මනස්ගාතය. ඉන් කියවෙන පරිදි එකී මානවකයා සමඟ සිත් සේ රමණය කර ඇය පිරිනිවන් මංචකයෙහි වැදහොත් බව සඳහන්ය. ඒ වූ කලී විනින්ගර්ගේ පුරුෂ ලිවීමේ වෙනස් ප්‍රකාශනයකි. විනින්ගර් පවසන්නේ පුරුෂයා ස්ත්‍රිය වෙත ලිංගිකත්වය පිරිනැමීම ඇගේ පැවැත්ම තහවුරු කරන බවය.


“පුරුෂයා රාගී වන කල ස්ත්‍රිය නිර්මාණය කර ගනී. ස්ත්‍රිය පහළ වන්නේ පිරිමියා තම කාමරාගී බව පිළිගැනීමෙනි. ස්ත්‍රිය යනු මෙම තහවුරු කිරීමේ ප්‍රතිඵලයයි. ඇය කොහොමත් රාගිකය. මේ නිසා ස්ත්‍රියගේ එක් අරමුණක් වන්නේ පුරුෂයා කාම රාගීව තැළීමය... ඇයට ඇත්තේ එක් අරමුණකි. එනම් පුරුෂයාගේ වරදකාරී බව දිගටම පැවතීමට ඉඩ හැරීමය. පුරුෂයා තම කාම දාහය නිවා ගත් සැණෙන් ඇය අතුරුදන් වෙයි.”


-ඔටෝ විනින්ගර්


අප ඉහත නේරංජනෙන් උපුටා දැක් වූ සංසිද්ධිය තුළ සිදු වන්නේ විනින්ගර් කියන දේම නොවේද? ඇගේ පිරිහිවීම සලකුණු කරන්නේ පුරුෂයාගේ කාම පවස සංසිඳුවා අතුරුදන් වීමය. වින්ගර්ට අනුව ස්ත්‍රිය යනු පුරුෂයාගේ ඇද වැටීමේ හේතුව නොවේ. එහි ප්‍රතිඵලයයි. මේ නිසා ස්ත්‍රියට එරෙහිව යාමේ ඵලක් නැත. ඇය කවර හෝ ඵලදායී සත් භාවමය සංස්ථිතියක් හිමි කර නොගනී. මේ නිසා ස්ත්‍රිය නොපවතී 
(Woman Does not Exist) යන විනින්ගර්ගේ තීරණය ස්ත්‍රී පිරිමියාගේ රෝග ලක්ෂණය යයි ලැකාන් ගෙන එන ප්‍රවාදය සමඟ සමපාත වේ. ස්ත්‍රිය යනු පිරිමියාගේම ලිංගිකත්වයේ ප්‍රකාශනයක් මිස අන් කිසිවක් නොවේ යයි විනින්ගර් පවසයි. සර්පයා මේ පොත ලියමින් යට කී විනින්ගරියානු ප්‍රවාද උත්කර්ෂයට නංවා නැතැයි කිසිවකුට කිව හැකිද?


වීනින්ගර්ගේ ප්‍රවාද විවරණය කරමින් ජිජැක් පවසන පරිදි ස්ත්‍රියගේ පැවැත්ම සාක්ෂි දරන්නේ පිරිමියා තමාගේ ආශාව සමාදානයෙන් බේරාගෙන තිබෙන බවය. එනම් ලිංගිකත්වයට ඉඩ දීමෙන් නිදහස් ආචාර ධාර්මික ආත්මයක් ලෙස තමාගේ සැබෑ ස්වභාවය ඔහු පාවා දී  ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස සිදුවී ඇත්තේ ලිංගික සංසර්ගයට ඇති බලවත් කෑදරකම නිසා ස්ත්‍රියගේ සමස්ත ජීවිතය පැල්ලසයේ 
(Phallus) අණසකට යටත් වීමය. අපි නැවත විනින්ගර්ගෙන් කියවමු.

“පුරුෂ අංගජාතය වු කලී ස්ත්‍රියට ඇය නම නොදන්නා ඉඞ් සංස්කාරකයකි. ඇගේ ඉරණම ඇත්තේ ඒ තුළය. ඒ වූ කලී ඇයට ගැලවී ගත නොහැකි කිසිවකි. මේ හේතුව නිසාම ඇය නිරුවත් පිරිමියකු දක්නට අකමැතිය. එවන් මොහොතක තමා වියැකී යන බවක් ඇයට හැඟේ. එලෙස පැල්ලසය ඇගේ නිදහස යළි දිනාගත නොහැකි ලෙස පැහැරගෙන ඇත.


විනින්ගර්ගේ ග්‍රන්ථයේ 269 පිට


“ස්ත්‍රිය නිදහස් නැත. අන්තිමේදී පුරුෂයකු මඟින් දූෂණය වීමේ බලවත් ආශාව ඇය තුළ හැමවිටම පවතී. ස්ත්‍රිය පැල්ලසය මඟින් පාලනය වේ.”


විනින්ගර්ගේ ග්‍රන්ථයේ 274 පිට


ස්ත්‍රියකට බුදුවිය නොහැකිය යන පුරුෂවාදී ආස්ථානය සුණුවිසුණු කර දමන ආඛ්‍යානයක් සේ රචනා වූවද නේරංජනේ ඉස්නානේ, අවසන නතර වන්නේ විනින්ගරියානු ස්ත්‍රී විරෝධී අඩවියකය. අතිශය ඕලාරික ලෙස ලිංගිකත්වය උත්කර්ෂයට නංවන ලිවීම් අතර මේ ස්ත්‍රී විරෝධය සොයාගත හැකිය. මා පහත උපුටා දක්වන්නේ එවන් අවස්ථාවකි.


“පුරුෂ ලිංගාපේක්ෂිතවම කල් බලමින් සිටි මෙදෙස් ඉතිරිහු යක්ෂයින් සමඟ මෛථුනදාමයට ද හොර රහසේ පෙළඹුණහ. මදන මතින් නලියන, උගුරැස්ස කටු මෙන් ඉත්තෑකූරු මෙන් ලොම් ඇති සිරුරින් යකෙකු මා දූෂණය කරත්වා, මා බරු ගසත්වා, කත්වායි දිව මතු කරමින් හුන් ඒ ඉතිරිත් ශාසනයට හැරවීම මහත් අපහසු විය. මේ ඉතිරින්ගේ ඉකුත්වත් මෙසේ බව දත යුතු”


63 පිටුව


යට කී වැනුම් ඔටෝ විනින්ගර් නැවත ලිවීමක් බදුය. පුරුෂ ලිංගය සංකේතවත් කරන යෙදුම් බහුලව භාවිත කරමින් කරන එම ලිවීම් මඟින් තහවුරු කරන්නේ ස්ත්‍රිය පැල්ලසයේ  පාලනයට යටත්ය යන ප්‍රවාදයයි. සැබැවින්ම ස්ත්‍රියක් ඇගේ ලිංගික ආශාව මැඩ ගන්නා විට සහ ඒ කෙරෙහි ලජ්ජා වන විට ඇය යටපත් කරන්නේ ඇගේ සැබෑ ස්වරූපයයි. ඇගේ යථා ස්වභාවය ප්‍රචණ්ඩකාරී ලෙස පෙරළා සටන්වදී. එය ආපසු පැමිණෙන්නේ හිස්ටරීක රෝග ලක්ෂණ නම් වෙස්වළාගෙනය. ‘නේරංජනේ ඉස්නානේ’ යනු එබඳු හිස්ටරික ස්ත්‍රීන් පිළිබඳ ආඛ්‍යානයක් බව වටහා ගැනීමට අපහසු නැත.


අප නැගිය යුතු ප්‍රශ්නය නම් සමන් කුමාර මෙම ලිවීම් කරන්නේ කුමක් නිසාද යන්නය. ඔහුගේ ඉලක්ක පාඨකයා කවරකුද? කිසිවකු නැත. ඔහු ලියන්නේ ඔහු උදෙසාමය. මෙම ආඛ්‍යායන කියවීම තුළ අප දකින්නේ එය ලියමින් ඔහු විඳින ෆැලික ප්‍රමෝදයයි. ස්ත්‍රීවාදය දෝරේ ගැලූ යුගයක සමාජය තුළ සැරිසරණ හිස්ටරික ස්ත්‍රිය ඔහුගේ ප්‍රස්තුතය වේ. අසූව දශකයේ ස්ත්‍රීවාදය යනු හිස්ටරික ස්ත්‍රීන්ගේ යුගයයි. ඇත්තටම නම් ඔහු ලියන්නේ ඔහුට හමු වූ යට කී (පුරුෂ බුද්ධත්වය ප්‍රාර්ථනා කළ) හිස්ටරික ස්ත්‍රීන් ගැනය. සැබැවින්ම මෙහි දී විසංයෝජනය වන්නේ පුම/ ඉතිරි ලිංගික වෙනස
 (Sexual Differance) නොව එකී වෙනස මඟින් නිර්මාණය කරන හිස්ටරික ස්ත්‍රියයි. තම ලිවීම තුළ ලේඛකයා ෆැලික ප්‍රමෝදයක් විඳිතැයි අප කියන්නේ එබැවිනි. සාරාංශ කොට කිවහොත් මෙය සපුරාම පුරුෂවාදී ලිවීමකැයි සටහන් තබමින් මෙහි හමාර කියවමි.

ආශ්‍රිත ග්‍රන්ථ


The Metastases of Enjoyment - Slavoj Zizek 

Sex and Characte - Otto Weininger 

The Sublime Object Of Ideology - Slavoj Zizek 

Writing and Difference - Jark Derrida 


Wednesday, October 25, 2017

නේරන්ජනෙන් ස්නානය කලොත් ගැහැණියක් බුදු වෙයිද....?



බුදු දහමේ හැටියට ගැහැණියකට බුදු වෙන්න බෑ..
ස්ත්‍රීන් වෙලා ඉපදිලා ඉන්න අයට තමන්ගේ හැඳි මිටේ නුවණ පාවිච්චි කරලා සැමියගේ, පුතාලගේ, මුනුබුරාලගේ, සාරය ගැන හූල්ල හූල්ල මැරිලා ගිහින් ඊළඟ ආත්මේ පිරිමියෙක් වෙලා ආවොත් විතරයි පුලුවන් වෙන්නෙ බුදු වෙන්න.
K.K මේ බුද්ධ වචනය කණපිට හරවනවා. K.K ට කලින් ටෙනිසන් කරනවා. නමුත් ටෙනිසන්ගේ පුරුෂ ලිංගික පෑන ඒක කරන්න ඉඩ දෙන්නේ නෑ... බුදු වෙන්න ගිය ගැහැණියව එක පාරක් මාරයා ලව්වා පරාද කරවනවා. අනිත් පාර ටෙනිසන්ගේ පුරුෂ ලිංගය පරාද කරවනවා.
නමුත් K.K ගැහැණිය බුදු කරවනවා. මොකක්ද K.Kට තියන උවමනාව ගැහැණියක් බුද්ධත්වයට පත් කරවන්න.
මෙච්චර කාලෙකට බහුතර නිර්මාණ වල ස්ත්‍රීන්ව නිර්මාණය වෙලා තියෙන්නේ බෞද්ධ සාහිත්‍ය පොත්වල එන රාමුව ඇතුලේ. මුල්ම කාලේ සොකරි, කෝලම්, නාඩගම් ගත්තත් ස්ත්‍රිය නිර්මාණය කරලා තියෙන්නේ ඒ රාමුවෙම තමයි.. ස්ත්‍රී චරිත රඟපෑවෙත් පිරිමින් විසින්මයි.
ඊට පස්සේ මිනර්වා, නූර්ති ආවම පොල්කටු දෙක ගලවලා දාලා ස්ත්‍රීන්ට කිව්වා ඔයාලම කරන්න කියලා. එහෙම කලේ ස්ත්‍රීන්ට අවස්ථාවක් ලබා දෙන්න ඕන නිසා නෙමේ. මාකට් එක, රැල්ල, ආකර්ෂණය ඇතිවුනේ සැබෑ ස්ත්‍රී රඟපෑම් වලට නිසා. පොල්කටු වලට වඩා මොනතරම් කර වැහෙන්න ඇඳලා හිටියත් ඒ හැට්ට ඇතුලෙන් සෙලවෙන ඇත්ත පියයුරු ප්‍රේක්ෂකයින් ආකර්ශණය කලා. එතන ඉඳලා දිගටම නවකතා, නාට්‍ය, සිනමා ආදී සියලු නිර්මාණ වල හිටියේ,
පුරුෂයින්ගේ උදව්වෙන් ජීවිතය රැක ගත්ත ස්ත්‍රීන්
පුරුෂයින්ගේ උදව්වෙන් උදාර මාතෘත්වයට පත් ස්ත්‍රීන්
පුරුෂයින්ගේ උදව්වක් නැති වෙච්ච හැම වෙලාවකම විනාශ වෙච්ච ස්ත්‍රීන්
අවීචි මහා නරකාදියේ ඉඳලා දිව්‍ය ලෝකෙට යනකම් කතා වල හිටිය යක්ෂණියන්, මනුස්ස දූවරු, දේවතාවියෝ ප්‍රධාන චරිත වූ ඕනම කතාවක ඒක තමා ස්ත්‍රී දෛවය.
ඒත් එක්කම පුරුෂයන්ට තිබුණ ස්ත්‍රී ශරීර නැරඹීමේ ආශාවත් ඉෂ්ඨ කර ගත්තා. පතිවත රකින ගමන්ම පියයුරු නටවනවා, ඔමරි පානවා, මායම් 64 දානවා. මේ දෙක එකට ගැලපෙන්නේ නෑ. සාහිත්‍යයේ නම් නිර්මාණය කිරීමේදී රචකයාට අසීමිත නිදහසක් ලැබෙනවනේ.. නමුත් වේදිකා නාට්‍ය, සිනමා ආදියේ ඇත්තටම ස්ත්‍රීන් රංගනයේ යෙදුනා... මම දන්නේ නෑ ඒ චරිත කරපු නිලියෝ එවා කොහොම ගලප්පව ගත්තද කියලා. මටනම් තේරෙන්නේ ඒ දෙක ගලප්පව ගන්නවා කියන එක මාර දුකක්.
මේ දුක ගැහැණිය දිනා ගන්න හැටි තමා මේ නිර්මාණ වල තිබුණේ.
බෞද්ධ දර්ශණය පදනම් වෙලා තියෙන්නේ “දුක” එක්කනේ. බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා පුරුෂයන්ට පෙන්වලා තියෙන්නේ දුක නැති කරන හැටි. පුරුෂයන්ට දීලා තියන ඉලක්කය දුක නැති කරීම.
ඉතින් පුරුෂයන් දුක නැති කරන්න ඕන නිසා ස්ත්‍රීන්ට දුන්නා දුක දිනන්න.
මේ දුක දිනා ගැනීමේ ලැයිස්තුවක් තිබුණා.
· පතිවත දිනන්න තිබුණා
· සැමියා දිනන්න තිබුණා,
· සැමියගේ අම්මා දිනන්න තිබුණා,
· සැමියගේ අයියා දිනන්න තිබුණා,
· සැමියගේ අයියගේ නෝනා දිනන්න තිබුණා,
· සැමියගේ අයියගේ නෝනගේ බලු කුක්කා දිනන්න තිබුණා,
· සැමියගේ අයියගේ නෝනගේ පූස් පැටියගේ ඉඳලාම දිනන්නම තිබුණා.
· සැමියගෙන් දරුවෝ දිනන්න තිබුණා.
අනිවාර්‍යෙයන්ම දරුවොනම් දිනන්නම ඕන. සැමියාගෙන් බැරිනම් අහල පහල සැමියෙක්ගෙන් හරි කමක්නෑ... නැතිනම් වඳ ගෑණි කියලා ගේකට වත් වැද්ද ගත්තේ නෑ..
බෞද්ධ දර්ශණයෙත් තියෙනවා දරුවෝ ඉන්න ගැහැණිය අතිශයෝක්තියට නංවලා. විශාඛා සිටු දේවියගේ කතාව අහලා ඇතිනේ.ශ්‍රී සද්ධර්මාවාද සංග්‍රහය, සිතියම් සහිත, පළමු මුද්‍රණය 1998, දෙවන ම්‍රද්‍රණය 2009 පොතේ 145 පිටුවෙන් මම මේක ගත්තේ.

ඒ පොතේ කියනවා, විශාඛා සිටු දේවිය බුදුන් වහන්සේට කළ ඇප උපස්ථාන වලට හරියන්න වර 8ක් ඉල්ලුවාලු. බුදු හාමුදුරුවෝ “සාදු සාදු විශාඛාව” කිව්වම ඒ වර ලැබුනලු. මේ වරයන් තමා නිරෝගී පුතුන් 10ක් සහ දියණියන් 10ක් විදිහට දරුවෝ 20ක් එකදිගට වැදුවලු. ඒ දරුවොත් තවත් 20දෙනා බැගින් දරුවෝ ලැබුවලු. ඒ දරුවොත් නැවත 20 දෙනා බැගින් ලැබුවලු. ඔහොම දරුවෝ 20යි, මුනුපුරු මිනිපිරියෝ 400යි, මී මුනුපුරු මිනිපිරියෝ 8000යි ලැබුනලු. ඔහොම අවුරුදු 121 වෙච්ච විශාඛාවගේ කොණ්ඩේ එක සුදු කෙස් ගහක් නෑලු, හමේ එක රැල්ලක් නෑලු, කටේ එක දතක් සෙලවෙන්නේ වත් නෑලු. විශාඛා අවුරුදු 16ක පුංචි කෙල්ලෙක් වගේලු. මේ දරු මුණුපුරෝ ඔක්කොම එකට යනකොට අන්තිම මී මිනිපිරියි විශාඛායි කවුද කියලා අඳුරගන්නම බෑලු. මේ අවුරුදු 121ක මැහැල්ට ඇත්තු 5 දෙනෙකුගේ බලය තිබෙනවාලු.
(වයසක අම්මලා කෙල්ලෝ වගේ හැසිරෙනවා කියලා සමහර අය විවේචනය කරනවානේ.. ඒක ගැන පුදුම වෙන්න දෙයක් නෑ)
ඒ පොතේ හැඳින්වීම ලියලා තියෙනන්නේ BA ගෞරව උපාධිදාරියෙක්, ඔහු කියනවා ඒ පොත ලියපු ස්වාමීන් වහන්සේගේ ගුණ වර්ණනාවේ මෙහෙම,
“.............හිමියන් ධර්මාන්තර, ශාෂ්ත්‍රාන්තර, දර්ශනාන්තර ඥානයෙන් මෙන්ම ජීවිත පරිඥානයෙන්ද, කලා පරිඥානයෙන්ද එකසේ වශ්‍යවචෝ භාවයට පැමිණි දුර්ලභ ඝනයේ පඬි රුවනක් වන බව කාලයේ දේශයේ සීමා අතික්‍රමණය කරන ස්ත්‍රී චිත්තයට සාධාරණ ලක්ෂණ සම්මර්ශණය කර ඇති මතු දැක්වෙන වාසගම් ප්‍රදේශයෙන්ද සිතා ගත හැක්කේය.
“මේසේ ලෝකයෙහි සෙසු ස්ත්‍රීන්ගේ මනා රූප ශ්‍රී බල බලා මෙබඳු රුවක් මට ඇතිවේවායි සිතීමද, පුරුෂයන්ගේ ශෝභා වික්‍රම බල බලා මේ පුරුෂයා මටම හිමිව වල්ලභ වේවා යි සිතීමද, අනුන් වැදූ දරුවන්ගේ සුරතල් ලීලා විලාස දැක මේ වැනි දරු සිරි මටත් ලැබේවා සිතීමද සියලු ස්ත්‍රීන්ගේ ස්වාභාව ධර්මයක්මය”
දැන් මේ කියන්නේ මේ දුර්ලභ පඬි රුවන ලෝකේ පීරලා, දර්ශණය හදාරලා, කලා ඥානය ලබාගෙන හොයාගෙන තියෙන්නේ ලෝකෙ ඉන්න ගෑණුන්නට වෙන වැඩක් නෑ. ලෝකෙ ඉන්න ඔක්කොම ගෑණු අනිත් ගෑණුන්ට ඉරිසියා කර කර, ලෝකේ ඉන්න ඔක්කොම පිරිමි ගැන, දරුවෝ ගැන හූල්ල හූල්ල ඉන්නවා කියලයි.
කොහොමහරි ස්ත්‍රීන් ඔහොම දුක දිනාගෙන යනකොට 1789 ප්‍රංශ විප්ලවෙන් පස්සේ ස්ත්‍රීන් පුරුෂයින් හා සම අයිතීන් දිනන්න පටන් ගන්නවා. 19වන සියවසේ පළමු ස්ත්‍රීවාදී රැල්ල ලෝකේ පුරාම හමාගෙන යනවා.
දුක දිනන්න දුන්නට සමාන අයිතිවාසිකම් දිනන්න දෙන්න බෑනේ..
ඔන්න කියන්න පටන් ගන්නවා ස්ත්‍රීන්ට හිස්ටීරියා කියලා එකක්. මේ හිස්ටීරියා කියන රෝගය ක්‍රි.පූ.5-4 කාලේ ස්ත්‍රීන්ට පමණක් හැදුන ස්ත්‍රී ප්‍රජනක පද්දතිය සම්භන්ධ රෝගයක් විදිහට තමා හදුනාගෙන තිබුණේ. ස්වයං වින්දනයේ යොදවලා සුරතාන්තය ලබා දීලා තමා මේක සුව කරවලා තියෙන්නේ.
නමුත් 1වන ලෝක යුද්දෙදි සොල්දාදුවන්ට මේ රෝගය හැදුනා. ඔන්න කලබල වෙලා නැවත පරීක්ෂණ කලාම හොයා ගත්තා මේක ස්ත්‍රී ප්‍රජනක පද්දතිය සම්භන්ධ රෝගයක් නොවේ. මානසික රෝගයක් කියලා.
අපේ කලාකරුවෝ හරිම සංවේදීනේ...සමාජය විනිවද දකිනවා... සමාජයට වඩා ඉදිරියෙන් ඉන්නවා.. විවෘතයි, ස්ත්‍රීන්ව තේරෙනවා. වෙන පිරිමින්ට තේරෙන්නේ නෑ.. කලාකරුවන්ට සමස්ථ ගැහැණිය අහු වෙනවා.
නිර්මාණවල වල ඉන්නවා
හිස්ටරික ගැහැණු
පිරිමි වගේ වෙන්න ගිය ගැහැණු
පිරිමි පරාජයට පත් කරපු ගැහැණු
පිරිමි එක්ක සමාන්තරව කටයුතු කරන ගැහැණු
පිරිමි ප්‍රතික්ෂේප කරන ගැහැණු
ඔන්න ඒ ගැහැණුන්ව නිරිමාණ ඇතුලේ රේප් කරවනවා, හිරේ යවනවා, සිය දිවි නස්සෝනවා. අවසානයේ පිරිමියාගෙන් සමාව අරන්, ආපහු මුලින් වගේම ඔමරි කර කරම පතිවත රකිනවා. ලමයි හදලා සතුට හොයා ගන්නවා. ගොඩක්ම රැඩිකල් පිරිමියෙක් හමු වුනොත් ඩිල්ඩෝ එකක් තෑගි ලැබෙනවා.
ඔය අතරේ කපන්න බැරි අත ඉඹිනවා වගේ, තමන්ටම හිතිලා දුන්නා වගේ, බල්ලට මස් කටු දුන්නා වගේ, කලිසම් සාක්කුවේ හිලකින් වැටුණා වගේ ලෝකේ හැම තැනම ස්ත්‍රීන් සමාන අයිතිවාසිකම් දිනා ගනිමින් යනවා. නමුත් ඒවයේ ප්‍රතිඵල ස්ත්‍රී සමාජයට ලැබෙන්නේ නෑ.
ලංකාවෙත් එහෙමයි. ජනගහනයෙන් 50% කට වඩා ස්ත්‍රීන් හිටියට, 1931 සර්වජන ඡන්ද අයිතිය යටතේ ඡන්ද බලය ලැබිලත් තාමත් පාර්ලිමේන්තුවේ ස්ත්‍රී නියෝජනය 4%යි. දකුණු ආසියාවෙම දේශපාලන පක්ෂ වල ස්ත්‍රී නියෝජනය 7%යි. ලංකාවේ සමස්ථ ස්ත්‍රී සමාජයේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය 62.2%(2011/12) වුනාට ආර්ථිකව සක්‍රීය 5.5%යි. (2013).
ලෝකේම විවිධ ප්‍රමාණ වලින් එහෙම විශමතා එනවා. ගැහැණු දහස් ගණනක් මැරිලා, හිර ගෙවල් වල ලැගලා, දූශණය වෙලා සියඹලා ගෙනැල්ලා නෑ වගේ වැඩක් වෙලා තියෙන්නේ කියලා තේරෙනවා. ඉතින් ස්ත්‍රීන් හොයන්න ගන්නවා මොකද මේ ස්ත්‍රී සමාජයට වුණේ කියලා. මනුශ්‍ය සමාජය තුල “මම කවුද” කියලා හොයන්න ගන්නවා.
ඔන්න ආපහු අපේ නිර්මාණ වල ඉන්නවා තමන්ව හොයාගෙන පුරුෂ සමාජය මැද්දෙන් ධෛර්‍යෙයන් යන ගැහැණු. නමුත් ඒ ස්ත්‍රීන්, තමන්ව හොයාගෙන ගිහින් ජනෙල් වලින් වැටිලා මැරෙනවා බේරගන්න පිරිමියෙක් නැතිව. මැරිච්ච ගැහැණු ඇවිල්ලා තමන්ගේ අහිංසක මෝඩ සැමියට අනුකම්පා කරනවා තමන්ව විනාශයෙන් බේරගන්න බැරි වුන එක ගැන. සමහරු ස්ත්‍රීන්ගේ අතට පිහි දීලා තමන්ගේ පුරුෂ ලිංග කප්පව ගන්නවා තමන් අතින් ස්ත්‍රීන්ට සිදුවුන වැරදි වලට වන්දි ලෙස. ලෝකේ ඉතුරු උන අන්තිම ගැහැණිය ගැනත් නිර්මාණයක් කරන්න යනවා කියලා ආරංචියි. (50%කට වඩා ඉඳලා මේ වෙන දේවල් වල හැටියට අන්තිම ගැහැණියට මොනවා කරනවද දන්නේ නෑ)
ඔය වගේ හොටු පෙරාගැනිලි ගොඩක් මැද්දේ තමා K.K ත් ස්ත්‍රියක් බුදු කරවලා “නේරන්ජනේ ස්නානේ” ලියන්නේ. බුද්ධාගමට ස්ත්‍රිය එක්ක තියන සම්භන්ධය මොකක්ද කියන එක පැහැදිලි කරගන්න එක වටිනවා ඒ ගැන කතා කරන්න නම්.
මිනිසා ‍"ආගම" කියලා හොයා ගත්ත දේ ඇතුලේ ගොඩක් හොඳ දේවල් තියනවා සමස්ථ මනුෂ්‍ය සමාජ සංවිධානයට ධනාත්මක විදිහට බලපාපු. නමුත් ආගමේ පුරුෂයෙක්ට දීලා තියනවා ස්ත්‍රීන්ට නැති ඉලක්කයක්. ඒ තමයි මනුශ්‍යත්වයේ අග්‍ර ඵලය වෙන බුද්ධත්වය හරහා හදන “මහා පුරුෂයා”. ඒක කරන්නේ පිරිමියාට ඇතිවෙන “ලිංගික ආශාව” නැති කරලා. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලත් සියළුම අංග ප්‍රත්‍යංග මනාව පිහිටියට පුරුෂ ලිංගය රන් කෙමියක් තුල හැකිලුනා කියනවා. ඒක හෙල්ලුනේ නෑ කියනවා මොන ගෑණි රෙදි කඩාගෙන ආවත්.
නමුත් පිරිමියෙකුට ඔය ආශාව නැති කරනවා තියා පාලනය කරගන්නේ කොහොමද කියන එකම මාර අවුලක්නේ. ඉතිං ඕකට තියරි හදලා තියනවා පිරිමි බය කරන්න.
සූත්‍රන්ත පිටකය ජාතක පාලි( උපුටා ගැනීම බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලා 30 පොත)
මුදුපාණි ජාතකය(පිටුව 133)
මේ ඉතිරියෝ කාමයෙන් පුරුෂයන් පොළඹවන්නෝය. මහාමායා ඇත්තෝය. ඹඹසර නම් උතුම් හැසිරීම නසා පුරුෂයන් අපායේ ගිල්වත්. මෙය දැන ඇය දුරින්ම දුරු කරන්න.
සිරිකාලකන්නි ජාතකය(පිටුව 89)
ස්ත්‍රීහු වදයට සුදුසුය. ස්ත්‍රීන් කෙරෙහි ඇත්තක් නැත.
පදුම ජාතකය (පිටුව 133)
තෙල ස්ත්‍රීහු රුචියෙන් වේවයි ධන හේතුවෙන් වේවයි යම් පුරුෂයෙක් ඇසුරු කෙරෙත්ද. තමා සිටි තැන දවන ගින්න සේ සේවනය කලහුම වහා දවති.
හලිද්දිරාග ජාතකය(පිටුව 343)
ස්ත්‍රීහු ලෝකස්වාද රතියෙන් තෘප්තිමත් නොවන හෙයින් මහ මුහුදේ ප්‍රපාතයට සමානය. මෙසේ වූ ස්ත්‍රීන් කෙරේ ප්‍රමත්ත වූ පුරුෂයා විනාශයට යයි.
ස්ත්‍රිය ගැන මෙවැනි ඉගැන්වීමි ඉතාම බහුලයි බෞද්ධ සාහිත්‍යය පුරාම.
මේ පොත මුද්‍රණය කරන්නේ 1983දී එවකට හිටිය සංස්කෘතික ඇමතිගේ ඉල්ලීම පිට. ස්ත්‍රීන්ට එරෙහි සියලුම ආකාරයේ වෙනස්කම් තුරන් කිරීමේ සම්මුතියට 1980 දි ලංකාවේ රජය අත්සන් කරලා 1981 ලංකාව තුල බලාත්මක වුනාට පස්සේ ජාතික වගකීමක් විදිහට සලකලා තමා මේ පොත ජනගත කරන්නේ.
කොහොමහරි දැන් මේ කියන්නේ ඔබට මේක කරන්න පුලුවන්. ගැහැණු නිසා කරන්න බෑ කියලා. මේක කරනවා, පුළුවන් කියලා තැඹිලි පාට රෙදි ඇඳගෙන ගියපු අය කරන ඒවා පේනවනේ. පහුගිය දවසක එක්කෙනෙක්ව මුලු ගමක් එකතු වෙලා හූ පූජාවක් මැද්දේ වටකරලා පොලිසියට අල්ලලා දුන්න මතක ඇති.
සාහිත්‍ය පොත්වල පරසක්වල ගහලා කිව්වත් ගෑණුන්ගෙන් ඈත් වෙන්න කියලා ඒක කරන්න බෑ. ඔය චූටි හම් කෑල්ල තියෙන්නේ චූ කරන්න විතරක් නෙමේ කියලා දැනගත්ත දවසේ ඉඳලා ඕකෙන් කරන්න පුළුවන් දේවල් මොනවද කියලා බලන්න මොනතරම් දේවල් කරනවාද? එහෙම තියෙද්දි ඒ සතුට නැති කරන්න කියන එක දරාගන්න බෑ. නමුත් කරන්න පුළුවන් සුලුතරයක් ඉන්නවා. ඒක ඒ අයගේ ශාරීරික, මානසික විශේෂ තත්වයන් අනුව තමා කරන්න පුළුවන්. හෝමොන සංයුතීන් එහෙම බලපානවා.
නමුත් බහුතරයකට බෑ. ඒත් බහුතරයකට කරන්න කියලනේ කියන්නේ. ඒක දරාගන්න බැරි මිලක්. ඒ දරාගන්න බැරි මිල විසින් තමා පුරුෂයා ස්ත්‍රියට වෛර කරන්නේ. මේ සත්‍රීන් හැඳි ගෑවිලා ගියාම මහා පුරුෂයාට තියන භාධකය ඉවරයි කියන හැඟීම එනවා. නමුත් එහෙම කරලා හරියන්නෙත් නෑ. මොකද භාධකය අවසන් වුනාම හදන්න හදන මහා පුරුෂයාත් ඉවර වෙනවා. චිත්‍රපට වලත් එහෙමනේ. දුශ්ටයා ඉන්නකම් තමා වීරයගේ වීර කම් තියෙන්නේ. බුදු හාමුදුරුවොත් බුදු වෙලා, තමන් හොයා ගත්ත දර්ශණය සමාජ ගත කරලා නිකම් නිකම් හිටියේ නෑ. ඇත්තු නැවැත්තුවා, රෙදි කඩන් ආව ස්ත්‍රීන්ව සෝවාන් කෙරෙව්වා, යක්කු මෙල්ල කලා.
පසු කාලීනව පුරුෂයින්,
“ගෑණු ඇතිවත් බෑ.. නැතිවත් බෑ” කියනවා..
“ස්ත්‍රිය නොපවතී.. ස්ත්‍රියගේ සාරය නොපවතී” වගේ එවා කියනවා.
වර්තමාන ස්ත්‍රිය තමන් කවුද කියලා හොයාගෙන යන වෙලාවක තමා නේරන්ජනේ ස්නානේ එන්නේ. මේක ස්ත්‍රී වාදීද? ස්ත්‍රිය, ස්ත්‍රීවාදය, ස්ත්‍රීවාදී කතිකාව එක්ක මේ පොතට තියන සම්භන්ධය මොකක්ද? ස්ත්‍රියක් ප්‍රධාන චරිතය නිරූපණය කළ පලියට මේ පොත “ස්ත්‍රිය යනු කවුද” යන්න ගැන හෙලි කිරීමක් කරනවාද?
අපේ රටේ ඉතාම කලාතුරකින් නිර්මාණ වල පුරුෂයින් උත්සාහ කරලා තිබුණා ස්ත්‍රීන්ගේ චරිත අරගෙන ස්ත්‍රිය කවුද කියලා හොයා ගන්න. නමුත් ආගම් විසින් උඩු යටිකුරු කරපු ස්ත්‍රියවම අරගෙන තමයි ඔවුන් ඒක කරන්න හදලා තිබුණේ. ඒක උගුරට හොරා බෙහෙත් බීමක් වගේ වැඩක්. ඒක කරන්න බෑ.
මේ පොතේ බුදුවරියගේ බුද්ධත්වය නැති කරන්න පෙර බුදුවරු ඇවිල්ලා ශුක්‍ර වැස්සක් වස්සන සිදුවීමක් එනවා. ඒ වගේ අර කලින් කියපු නිරිමාණත් ඒ නිරිමාණකරුවොන්ගේ ශුක්‍ර වලින් වැහිලා ගිහින් තියෙනවා කියලා පේනවා ගොඩක් අවස්ථා වල. සමහර නිර්මාණ වැහිලා ගිහින් විතරක් නෙමේ කුණු වෙලා, පනුවෝ ගහලා. ඒවා තේරුම් ගන්න මේ ලෝකේ මනුස්සයෙකුට බෑ.
නමුත් ඒ නිර්මාණ එක්ක මේ නේරන්ජනේ ස්නානේ පොත ගත්තම K.K මේ පොත උඩ ශුක්‍රාණු හලා ගන්නේ නෑ.
මේ පොත පටන් ගන්නේ මානව ඉතිහාසයේ ස්ත්‍රීවාදී රැල්ල පටන් ගන්න හේතු වුන තැනින්. නිද්‍රාවෙන් හිටපු මහා ස්ත්‍රිය අවදිවෙන තැනින්. එතන ඉඳලා ස්ත්‍රියක් බුදු වෙලා පිරිනිවන් පානකම් සිදුවීම් අරගෙන එනවා. මෙහි පටන් ගැන්ම ස්ත්‍රීවාදී කතිකාව එක්ක සමපාත වෙන තැනකින් තමා පටන් ගන්නේ.
ස්ත්‍රියක් බුදුවීම කියන සංකල්පය මූලිකවම ගෙනාවට ඒ ඇතුලේ සමස්ථ මානව සමාජීය ඉතිහාසයේම ස්ත්‍රියගේ සහ පුරුෂයාගේ හැසිරීම පොදුවේ අපි ඉස්සරහට අරගෙන එනවා. අපිව ප්‍රශ්ණ කරවනවා. විශාල දේශපාලනික ඉතිහාසයක් ඉතාම නිර්මාණශීලීව, සංශිප්තව, පැහැදිලිව අරගෙන එනවා. ඒක K.K රචකයෙන් විදිහට ඉතාම සාර්ථකව කරනවා. එච්චරටම ශූර රචකයෝ හරි අඩුයි ලාංකීය සාහිත්‍යයේ.
අනිත් අතට පිරිමියෙකුට ස්ත්‍රී ලෝකය එක්ක තියන ගණුදෙනුව මොකක්ද කියලා පැහැදිලි කර ගන්නත් නේරන්ජනේ ස්නානේ වැනි“පුරුෂ ප්‍රකාශණ” ස්ත්‍රී ලෝකයට හරිම වැදගත්.
· K.K අරගෙන එන “විශාල ස්ත්‍රිය” කියන සංකල්පය.

ස්ත්‍රියක් පුරුෂයෙකුට වඩා ශාරීරිකව හෝ මානසිකව විශාලයි කියන එක, ඉදිරියෙන් ඉන්නවා කියන එක කොහොමටවත් පුරුෂයෙකුට දරාගන්න හෝ බාරගන්න පුළුවන් දෙයක් නෙමේ. ඒ නිසා සම්භන්ධතා ඇතුලේ පුරුෂයා විශාල වෙලා ඉන්න, ඉදිරියෙන් ඉන්න ගේම් ගොඩක් ගහනවා. උදාහරණයක් කියනවා නම් සහකාරියක් තෝරගන්නකොට ඒ මානසිකත්වය හොඳින් ප්‍රකට වෙනවා දකින්න පුළුවන්. නමුත් මහා ස්ත්‍රියක් අත්පත් කර ගැනීමෙන් පුරුෂයා ඉතා විශාල මානසික තෘප්තියක් ලබනවා. ජනප්‍රිය, සිවිල් හෝ දේශපාලනික බලයක් තියන ස්ත්‍රීන් එක්ක ලිංගිකව හැසිරෙන්න පුරුෂයන් විශාල මුදලක් ගෙවන්න එක පයින් කැමති වෙන්නේ ඒ නිසයි.
· K.K ත් මහා ස්ත්‍රියක් ලඟට කුඩා රිලවෙක් ගේනවා. (බුද්ධාගමේ ස්ත්‍රිය වැඳිරියන්ට සමාන කරලා තියෙනවා)
මේ රිලවා මහා ස්ත්‍රිය දිහා විශ්මයෙන් බලාගෙන ඉන්න එක, ලෝකේ කවදාවක් රිලවෙක් බලා නොහිටපු විදිහට බලා හිටියේ කියනවා (321පිට), රිලවාගේ හීල්ලීම්, රිලවා තමන්ගෙන්ම හූල්ල හූල්ල අහන ප්‍රශ්ණ, ඒවා මේ ලෝකේ ඕනම පුරුෂයෙක් ස්ත්‍රිය සම්භන්ද විශයේදී තමන් එක්කම කරන ගණුදෙනුව හෙලි කරනවා.
· රිලවා බුදුවරියගේ ඇඳුම් ගලවන්න කරන දැඟලිල්ල.
අපෙත් බ්ලවුස් එකක්, සායක් අස්සෙන් අතක් දා ගන්න පුරුෂයන් මොනතරම් ප්ලෑන් ගොඩක් ගහනවද.. මොනතරම් මහන්සියක් ගන්නවද කියලා අපි දන්නවනේ.
· රිලවා බුදුවරියගේ කකුල් දෙක මැද තියන බෙල්ලා ඈත් කරගන්න දඟලන දැඟලිල්ල.
ස්ත්‍රීන් ඔය කකුල් දෙක මැද්දේ තියන නිධානය රැකගෙන ඉන්නවනේ දිවි හිමියෙන්. බෙල්ලා ලොක් කරගෙන ඉන්න තමයි කාන්තාවන්ට පුංචි කාලේ ඉඳලා උගන්වන්නේ. ස්ත්‍රී ලෝකේ වීරවරිය වෙන්නේ ඒ බෙල්ලාගේ ලොක් එක හොඳටම තියාගෙන හිටිය ස්ත්‍රීන්. (බැඳලා හනිමූන් දවසේවත් ලොක් එක ඇරගන්න බැරි වෙනවා ගොඩක් වෙලාවට. මොකද මළකඩ කාලා) ඊට ප්‍රතිවිරුද්ධව පුරුෂ ලෝකේ ඇතුලේ වීරයා වෙන්නේ ස්ත්‍රීන්ගේ මේ ලොක් වැඩිපුර ප්‍රමාණයක් ගලවගත්ත අය.
· බුද්ධත්වය නැති කරන්න එනවා මාර පියවරු.
දරුවෝ ඉන්න තාත්තලා සහ සෙල්ලක්කාර පිරිමි එනවා. මේ දෙගොල්ලොන්ටම සාමාන්‍ය පිරිමියෙකුට වඩා බොහොම පහසුවෙන් ගෑණු ලමයින්ව රවට්ටලා බුද්ධත්වය නැති කරන්න පුළුවන්. ඒ වගේම එනවා සැමියා සහ දරුවෝ. අනිවාර්‍යෙයන්ම ස්ත්‍රියක් ගිහි ගෙට බැඳලා දාන දෙයක්නේ සැමියා සහ දරුවෝ. ස්ත්‍රියක් සැමියා සහ දරුවෝ වෙනුවෙන් තමාගේ ජීවිතේ කැප කිරීම අපි උත්කර්ෂයට නංවලා තියෙන්නේ.
මා පිය දූදරු සම්භන්ධතා වලදී, ආදර සම්භන්ධතා වලදී ස්ත්‍රියගේ ජීවන ඉරණම විස්තර කරනවා K.K හරිම නිරිමාණශීලී විදිහට. 298 පිටුවේ බුදුවරිය බිළිදුව ඉන්න කාලය ඔහු ගේනවා සතර පෙර නිමිත් වලට.
“මෑණියන්ගේ හොස්සෙහි මුඛය වෙනුවට වූයේ ඉතිරි නිමිත්තකි. පියාගේ නාසය පුරුෂ නිමිත්ත විය. සොයුරා දිව දිගුකොට තමාට ඔච්චම් කලේය. දිව වෙනුවට වූයේද පුරුෂ නිමිත්තකි.|”
“කොන්ද කුදු ගැන්නීගත් ඇටසැකිලියක් මොලක් ගෙන වනයක ශස්‍ය පැස්සාය. ඒ ශස්‍ය ඇගේ හද කෙතෙන් නෙලාගත් පසුතැවිල්ල නැමැති අස්වැන්න විය. පිළිකුල නැමැති කුල්ලෙහි පොළා ඉවත් කල යුතු නිවුඩ්ඩ නම් අතීත බලාපොරොත්තූන් විය”
ඒ වගේම ඔහු පිරිමින් ලිංගික අවශ්‍යතා වලට ස්ත්‍රීන් එක්ක ගහන ගේම්, දාන ඩීල් ගොඩක් තැන් වල ගේනවා.
පුරුෂ ලෝකේ තියනවානේ ස්ත්‍රී ආරක්ෂණ භූමිකාවක්. පොතේ බුදුවරිය බුදුවෙන්න ඉන්නකොට මුචලින්ද එනවා. මුචලින්ද බුදුවරිය එක්ක ලිංගික සෙල්ලම් දාන්න ගියාම මුචලින්දගෙම වලිගෙන් මතුවෙන මුගටියා තමා බුදුවරියව රැක ගන්නේ. හරියට අපි පිට පිරිමින්ගෙන් ආරක්ෂා වෙන්න ගෙදර ඉන්න පිරිමි පාවිච්චි කරනවා වගේ.
K.K ට සාම්ප්‍රදායික විවාහ සංස්ථාව ගැන තියන විවේචනය ඔහු ගේනවා.
252 පිටුවේ- මල ගැහැණිය - පන තියන පුරුෂයා සමඟ ජීවත් වීම.
මල පිරිමියා - පන තියන ගැහැණිය සමඟ ජීවත් වීම කියන සංකල්ප සාම්ප්‍රදායික විවාහ සංස්ථාවල නොගැලපෙන ස්ත්‍රීන් පුරුෂයන් එක්ව දිවි ගෙවීම විවේචනය කරන්න යොදා ගත්ත හරිම ප්‍රභල සංකල්ප රූප විදිහට මම දකිනවා. පොතේ දිගින් දිගටම සමාජයක් විදිහට අපි නොගැලපෙන මේ සම්භන්ධතා පවත්වා ගැනීමට කරන බොරු විකාර වලට ඔහු නිර්දය විදිහට පහර දෙනවා.
විවාහ සංස්ථාව ඕන කාටද?
විවාහය ගැන සමාජ මතය වෙන්නේ,
පිරිමියෙක් නැතිව ගෑණියෙකුට ඉන්න බෑ.
ඉක්මනට කසාද බැඳලා ලමයෙක් හදාගන්න. වයස යනවා.
පිරිමියෙක් නම් තව ටිකක් හිටියට කමක් නෑ..
කාන්තා හා ලමා කටයුතු අමාත්‍යංශයේ 2012 වාර්ථාව,
විවාහක ගැහැණු - 52.7% විවාහක පිරිමි - 94.7%යි.
දික්කසාදය?
දික්කසාදය ගැන සමාජ මතය වෙන්නේ,
පිරිමියා නැති වුනොත් ගෑණියි දරුවොයි පාරේ.
පිරිමියාගේ වැරදි මොනතරම් තිබුනත් ගැහැණිය ඉවසලා පවුල රැක ගන්න ඕන කියලා කියන්නේ..
දික්කසාද ප්‍රතිශතය - ගැහැණු - 4.8% පිරිමි - 0.8%
විවාහය වැඩිපුර ඕන කාටද කියලා පැහැදිළි වෙනවා.
විවාහ වෙන්න සහකාරියක් හෝ සහකාරයෙක් හොයන කොට බලන ගොඩක් දේවල් තියෙනවනේ. බැන්දොත් බැන්ඳමයි. බැඳගත්ත බෙරේ ගහන්න ඕන. දික්කසාද වෙන්න නෙමේනේ බඳින්නේ. ඉතින් ගොඩක් දේවල් බලනවා. අපි ගොඩක් ආඩම්බරෙන් බලන දෙයක් තියෙනවා. ඒ තමයි පිරිමි ලමයි අම්මා වගේ ගෑණු ලමයෙක්ව හොයනවා, ගෑණු ලමයි තාත්තා වගේ කෙනෙක් හොයනවා. සමාජයක් විදිහට අපි හරි ආඩම්බරයි අපේ අම්මලා තාත්තලා වගේ අයව බඳින එක ගැන. නළු නිළියෝ පත්තර වලටත් කියනවා. මේවා Psychological complexes. අපි අපිට තියනcomplexes අදුර ගන්නවා වෙනුවට ඒවා අතිශයෝක්තියට නංවලා ඒවා එක්කම ජීවත් වෙනවා පිටට පේන්න හරි ආඩම්බරෙන්. අපිට දෙමවුපියන්ට රූපය සමාන අය හම්බ වෙයි. නමුත් රූපයයි, ගතිගුණයි එකට හම්බ වෙන්නේ නෑ.. ඉතින් නොගැලපෙන මිනිස්සු විවාහ කරගෙන මලමිනී එක්ක වගේ තමා ජීවත් වෙන්න වෙන්නේ.
K.K “මගේ පුරුෂ ලිංගික පෑන” කියලා කවියක් ලියලා තියනවා මම දැක්කා. මේ පොත කියෙව්වම "ඒ පෑන පුරුෂ ලිංගිකයි" කියලා හොඳටම පැහැදිළි වෙනවා. මේ පොතේ එක තැනක අලියෙක් තමන්ගේ නළලේ ආපු පුරුෂ ලිංගය හංග ගන්න මාර ට්‍රයි එකක් දීලා පතබෑවෙනවා. ඒ වගේ වැඩ K.K ටත් වෙනවා.
බුදුවරිය නේරන්ජනේට බැහැලා නාන තැන තනිකරම විස්තර වෙන්නේ(Visual) පුරුෂයෙක් ස්ත්‍රී නිරුවත් සිරුර දකින්න කැමති, පුරුෂ ආශාව මුල් කරගෙන. හරියට Bay watch ටෙලි චිත්‍රපටි මාලාව වගේ. ඒ වගේම බුදුවරිය තමන්ගේ ජන්මයන් සිහි කරනවා. ඒ අතීතය දකින රූප, ඒවාට ගන්න උදාහරණ සම්පූර්ණ පිරිමි මනසේ ආශාව මුල් වෙලා ලියවෙන්නේ.
පොතේ එක් තැනක කියනවා,
”එක් ආත්මයක ඈ ඡායාංගී වෘක්ෂයක් විය. ඒ වෘක්ෂ ගණයේ පූමාංගී වෘක්ෂයක් ඒ ද්වීපයෙහි නොමැති විය. කාම දාහයෙන් දැවී තැවී පරාග පෝෂකයින්ට නිහඬවම ශාප කරමින් වන්ධ්‍යාභාවයෙන්ම ඈ සිය වෘක්ෂ ගණයාගේද ඉරණමත් රැගෙන පොළෝබත් වූවාය”
ශුක්‍රාණු නැති නිසා වර්ගයා බෝ කර ගන්න විදිහක් නැතිව වඳ වුණා කියන එක පිළිගමුකෝ විශේෂ තත්ව යටතේ. කාම දාහයෙන් දැවුනා? තැවුනා?
ස්ත්‍රීන්ගෙන් 70% - 80% භගමණිය උත්තේංනයෙන් (clitoris stimulation) විතරක් සුරතාන්තයට (orgasm) යන්න පුළුවන් කියලා විද්‍යාත්මකව හොයාගෙන තියෙනවා. මේ සොයා ගැනීම නිසා පුරුෂයින්ටත් වඩා කලබල වුනේ ඩිල්ඩෝ නිශ්පාදකයෝ. පුරුෂ ලිංගයේ හැඩේටම තව භගමණිය උත්තේංනය කරන්නත් කොටසක් එකතු කරලා වෙළඳ පොලට එව්වා. වෙළඳපල වටිනාකම ස්ථාවරව තියා ගන්න. K.K ඇසතු ගහ පාවිච්චි කරලා “මාර දූවරු” ස්වයං වින්දනයේ යෙදුනා කියනවා. නමුත් “මතු බුදුවන යහපත් ස්ත්‍රිය” එහෙම කරන්නේ නෑ.. පුරුෂ ලිංගයක්ම පතාගෙන ඉන්නවා කියලා තමා ඒ කියලා තියෙන්නේ.
ස්ත්‍රීන් අඩුම තරමේ ඩිල්ඩෝ එකකින් ඒ වැඩේ කරගන්න එක පුරුෂයින් දරා ගන්නවා. කෘතිම වුනත් පුරුෂ ලිංගයක්නේ... නමුත් කෘතිම පුරුෂ ලිංගයක්වක් ඕන නෑ කියන එක, එවිට ස්ත්‍රී ලෝකය ඇතුලේ පුරුෂයාගේ ලිංගේන්ද්‍රියේ අවශ්‍යතාවය අහෝසි වෙනවා කියන එක දරාගන්න අමාරුයි. එතකොට වැටෙන්නේ “පුරුෂයා නොපවතී” කියන තැනට. එතැනට වැටෙනවා කියන එක හීනෙකින් වත් දරාගන්න පුළුවන් දෙයක් නෙමේ.
පිරිමියෙකුට පුරුෂ ලිංගය ගැන තියන අභිමානය හෙලි වෙනවා ගොඩක් තැන් වල.
“රිලා මොටා තලපයක් සේ චුරු ගොස් තිබුණත් උගේ ඉද්ද ගැසූ රිලා ඇඟ තවමත් පන ගැහුණේය” කියනවා.
ලිංග විශාල වීම් ගැන, ප්‍රමාණයන් ගැන ගොඩක් විස්තර කරනවා. සැබෑ ලෙස ඇත්තේ මිනිස් පිරිමි සිරුරක වරකට ඇත්තේ මිලි ලීටර් කීපයක් වුනත් පොතේ ඔහු ශුක්‍ර වැසි වස්සවනවා. ලිංගය අහිමි වීමෙන් වන ගැටලු විස්තර කරනවා. ලිංගය ආරක්ෂා කිරීම ගැන කියනවා. ලිංගය ආරක්ෂා කිරීම සම්පූර්ණයෙන් පුරුෂ ලෝකයේ කතිකාවක්. ස්ත්‍රී ලෝකයේ තියෙන්නේ ස්ත්‍රී ලිංගය පුරුෂයන්ගෙන් ආරක්ෂා කිරීම කියන කතිකාව.
එලෙස වැඩි බරක් මේ පොතේ යොමු වෙලා තියෙන්නේ පුරුෂ ලෝකය දිහාට. කොටින්ම බුදු වෙලා ස්ත්‍රිය මුලින්ම විසඳන්නෙත් පුරුෂ ව්‍යාපෘති.(Projects). 304 පිටුවේ කෙළඹි පුත්‍රයා එනවා. බුදු වෙලා පළමු ධර්ම දේශණය කරන්න බුදුවරියට ආරාධනා කරන්න එන්නේ. නමුත් යටි අරමුණ වෙන්නේ බුදුවරිය එක්ක සංසර්ගයේ යෙදෙන්න හේතුවක් හදා ගැනීම. අපිටත් එදිනෙදා ජීවිතයෙදි ඔය වගේ දේවල් වෙනවනේ. අපි බුදු වෙලා නැති නිසා අපිට දිවැස් නෑ නේ.. ඉතින් අපි අහු වෙනවා. නමුත් මේ ගැහැණිය බුදු වෙලා නිසා සියල්ල දිවැසින් දකිනවා. දැකලා ඉතාම දැනුවත්ව තමන්ගේ ශරීරය දෙනවා කාම දාහය නිවා ගන්න.
“ඒ වනචාරීත්වය ඈ සිරුර හප කලේය බරු ගැසුවේය. එහෙත් ඈ රීරි මාංශ තන්ත්‍රයානය තුලම ධ්‍යානගතව තිබුණේය. ඔහුගේ වනචාරීත්වය මෙල්ල විය. පරාජය විය”
ආපහු සාම්ප්‍රදායික ස්ත්‍රියගේ පුරුෂයා ඉවසීම තමයි උත්කර්ෂයට නංවලා තියෙන්නේ. නමුත් පස්සේ K.Kට අවිඥානිකව හෝ සවිඥානිකව හිතෙන්න ඇති කියලා හිතෙනවා
“නරකයිනේ ගැහැණියටම වද දුන්න එක” කියලා.
ඉතින් ඔහු
“සොරි ඩාලින් මුලින් ඔයාවම හප කලාට.. ඔන්න ඔයාටත් සමාන අවස්ථාවක් දෙනවා.. දැන් හරිනේ” කියලා දෙපැත්ත සමාන කරලා දීලා තියෙනවා තව අවස්ථාවක්..
ඒ වගේම පුරුෂයාගේ පීඩනයෙන් හෙම්බත් වෙලා ඕකුන්ගේ ඔවා කපලා දාන්න ඕන කියලා හිතන ස්ත්‍රීන්ටත් පොඩි ප්‍රීතිමත් කොටසක් දෙනවා. “අංගුලිමාලි” කියලා චරිතයක් ගෙනැල්ලා. 284 පිටුවේ බුදුවරිය අංගුලිමාලිව දමනය කරන්න මහා පුරුෂ ලිංගයක් මවනවා. අංගුලිමාලි වෛරයෙන් ඒක කපනවා. මේක කොච්චර විශාලද, කොච්චර හයියද කියනවා නම් ඒක කපන්න බැහැලු. ඒ වෙනුවට මේ පීරි ගෑමෙන් එන සතුටට සූකුරු මුත වෙනවා. ඒ සූකුරු වලින් අංගුලිමාලි නෑවිලා ගිහින් තමා මෙල්ල වෙලා වෛරය සංසිදෙන්නේ...හරියට ශාන්ති කර්මයක් කලා වගේ..
ස්ත්‍රියකගෙන් පුරුෂයාට ඉටුවිය යුතු යුතුකම් කියලා බුදු දහමේ ස්ත්‍රීන්ට දීලා තියෙන දේවල් අනිත් පැත්තට පුරුෂයන්ට දාලා පොතේ ගේනවා. ඔය වගේ අන්තවාදි ස්ත්‍රීවාදීන්ට පොඩි ලොසින්ජර ටිකක් දෙනවා සූප්පු කර කර ඉන්න.
ඒ හැරෙන්න වර්තමාන ස්ත්‍රීවාදී කතිකාව එක්ක, එහෙම නැතිනම් ස්ත්‍රිය තමා සොයා යන අනාගත ගමනට අබමල් රේණුවක තල්ලුවක් මේ පොතෙන් ලැබෙනවා කියලා මට දැනෙන්නේ නෑ. ස්ත්‍රී ලෝකේ ගොඩක් දේවල් ඔහුට මගහැරෙනවා. ස්ත්‍රියට මේ ලෝකේ දුකක්, මේ සංසාරය බරක්, නිර්වානය හොයා ගන්න ඕන කියලා හිතෙන, ස්ත්‍රී ලෝකයට වඩා ප්‍රභලව බලපාන දේවල් ඔහුට මගහැරෙනවා. මම හිතන්න්නේ ඒකට ඔහුට කරන්න දෙයක් නෑ. ඒක හරියට ඇස් පේන්නේ නැති මනුස්සයෙකුට අලියව විස්තර කරන්න බෑ වගේ දෙයක්.

නමුත් ඔහු මේ පොත හරහා ලොකු නිදහසක් ලබා ගන්නවා රූප නිර්මාණයේදී. ඔහුගේ විශ්මය ජනක පරිකල්පනා ශක්තිය මත තමයි වැඩි බරක් තිබෙන්නේ. වෙලාවකට හිතෙනවා හශීෂ්, කොකේන පාවිච්චි කලාද කියලා මේ රූප මවා ගන්න. මිනිස් මොළයට හිතන්න බෑ කියලා හිතෙන විශ්මය ජනක පරිකල්පනාවන් ඔහුගේ නේරන්ජනේ ස්නානේ හි දකින්න පුළුවන්.
මේ පොතේ කියනවා,
“සත්වයෝ තම දෛනික ජීවන නිමේශයන් තුළ ඇත්තා වූ බුද්ධත්වයද, නිරිවාණයද, තමන්ගෙන්ම පරාරෝපනය කරන්නේ, ඒ එක් උත්තර බුදුවරයෙකුගේ කෙරෙහි පටවන්නෝය. බොහෝ අහිංසකයන් රාෂ්ට්‍ර පාලකයන් සේම ඒ කරට ගන්නෝය. ඉන් පෙළෙන්නෝය. මැඩෙන්නෝය.බුද්ධත්වය සෙවීම වනාහි පුහුදුන් ලකුණකි. එසේ නොකොට පුහුදුන් මිනිසුනට විසිය නොහේ. එබැවින් ඔවුහු බුදු විය යුත්තේමය”
පුරුෂ ලිංගික පුරුෂයාට මේ ඉතිහාසය විසින් හදලා දුන්න මහා පුරුෂයා එක්ක තියන ගැටුම තමයි මේ පොතේ ස්ත්‍රියක් බුද්ධත්වයට පත් කරවන්න K.Kට තියන එකම හේතුව විදිහට මම දකින්නේ. K.K කරන්නේ මේ මහා පුරුෂයාගේ සළු පිළි ගලවලා දාලා, මහා පුරුෂයාට ඉන්න බල කෙරුණ එක්ටැම් ගේ සුනු විසුනු කරලා දාලා, නිරුවතින් සැබෑ මනුශ්‍ය පිරිමියෙක් විදිහට එළියට ඇවිදගෙන එන එක. ඒ එක්කම එදා මෙදා තුර කල්ප කාලයක් බිහිවුන, බිහි කරපු මහා පුරුෂයින් සියල්ලගේ සඵ පිළි ඉරලා දාලා, ඔවුන්ත් නිරුවත් කරගෙනම තමා මේ එන්නේ. හරියට සුනාමියක් ආවා වගේ.
මහා පුරුෂයන් වෙන්න ජීවිත කාලයක් දරදිය ඇද්ද පුරුෂයන්ට මේක දරාගන්න බෑ. මහා පුරුෂයන්ට වන්දනා මාන කරමින්, ඊලඟ ආත්මෙක මහා පුරුෂයන් වෙන්න ප්‍රාර්ථනා කරගෙන, මේ ආත්මේ පවු ගෙවා දාන්න හිත හදාගෙන හිටපු ස්ත්‍රී, පුරුෂ දෙගොල්ලොන්ටම මේක දරන්න බෑ. නමුත් කරන්න දෙයක් නෑ..
විනාශ කිරීමම ගොඩනැගීමක්... ගොඩනැගීමම විනාශ කිරීමක්....
මහා පුරුෂයා විනාශ කරලා ඉතිහාසය ඇතුලේ සැබෑ මනුශ්‍යා ගොඩනැංවීම තමා ඔහු මේ කරන්නේ. මහා ස්ත්‍රියක් ඉස්සරහා කුඩා රිලවෙක් වෙලා හොයාගෙන යන්න යෝජනා කරන්නේ ඉතිහාසය ඇතුලේ මනුශ්‍යෙයක් විදිහට පුරුෂයන්ට මගහැරුන දෙවල්.
ඉතිහාසය මහා පුරුෂයෙක් හදන්න ප්‍රතික්ෂේප කරන්න බල කෙරුන අඳුරු ගුහාවන් හරහා මහා පුරුෂයාට මගහැරුන මනුශ්‍යත්වය හොයාගෙන ශිෂ්ඨාචාරයේ උඩුගං බලා යන ගමනක තමයි මට අනුව මේ නේරන්ජනාව ගලන්නේ.
එතකොට ප්‍රශ්ණයක් එනවා පිරිමි චරිතයකිනුත් ඒ වැඩේ කරන්න පුළුවන් නේද කියලා.
ඔවු.... කරන්න පුළුවන් තමයි....
එහෙනම් ඇයි ඔහු ගැහැණියක් පාවිච්චි කරන්නේ?

ලංකාවේ දේශපාලනය ඇතුලේ ඒකට හොඳම උදාහරණයන් හම්බ වෙනවා. 1960 දී සිරිමාවෝ බණ්ඩාරනායක ලංකාවේ අගමැතිනී වෙනවා. ඇය තුන් පාරක් ලංකාවේ අගමැතිනී වෙනවා. 1994 දී චන්ද්‍රිකා ජනාධිපතිනිය වෙනවා. නමුත් අදටත් පාර්ලිමේන්තුවේ ස්ත්‍රී නියෝජනය 4% වගේ ප්‍රමාණයක්. (දැන් අන්තර්ජාතික බලපෑම් මත මේ ප්‍රමාණය වැඩි කරන්න සිදු වෙලා තිනෙයනවා 25% දක්වා. ලංකාවේ දේශපාලනය තුල කාන්තාවන්ට ස්වාභාවිකව ඇතිවන ඉඩක් නොවන නිසා ඉදිරියේදීත් ස්ත්‍රී දේශපාලනය තවත් අර්බුද රැසක් නිර්මාණය නොකරාවි යයි අපි සිතමු )
කොහොමහරි ලෝකේ පළවෙනි අගමැතිනී, ලංකාවේ පළමු ජනාධිපතිනී මෙඩ්ල් දෙකේම වේයෝ හුබස් බැඳලා තියෙන්නේ. ඒවා සම්පූර්ණයෙන්ම පුරුෂ ව්‍යාපෘති. ඔය වගේ පුරුෂ ව්‍යාපෘති වලට පාවිච්චි වෙච්ච ස්ත්‍රීන් ඉන්නවා ඉතිහාසය පුරා. කුවේණි, පත්තිනි, මහාමායා වගේ අය. ඒවා පිරිමි සමාජය තමන්ට ගොඩදාගන්න අමාරු ව්‍යාපෘති ගොඩදාගැනීම වෙනුවෙන් ස්ත්‍රීන් පාවිච්චි කරලා අටවපු උගුල් විදිහට තමා මම දකින්නේ. පිරිමින්ට පිරිමි සමාජය ඇතුලේ අසීරුම අවස්ථා වල ගොඩ යන්න පහසුම විදිහ තමා ඒ සඳහා ස්ත්‍රියක් පාවිච්චි කිරීම.
වැඩි දෙයක් ඕන නෑ... මේ පොතේ සමන් වික්‍රමාරච්චිගේ “සර්පයානු ලිවීමක ෆැලික ප්‍රමෝදය” කියලා ලිපියක් තියනවා. ඒ ලිපියේ කියනවා මෙහෙම.
“නේරන්ජනේ යනු කියවන්නිය මුල් වරට කිසියම් අවුලකට පත්කරන සුළු ආඛ්‍යනයකි. එය කියවිය යුත්තේ අග සිට මුලට බව වටහා ගන්නා තුරු ඇය මෙම අවුල වින්දනය කරයි.”
කියවන්නිය?
ඇය?
අප සාමාන්‍ය ව්‍යවහාරයේ "කියවන්නා", "පාඨකයා" ලෙස බොහෝ වචන ස්ත්‍රීන් හා පුරුෂයන් හැදින්වීමට පොදුවේ භාවිතා කරයි. නමුත් "කියවන්නිය" යන්නද කෙනෙකුට පොදු ව්‍යවහාරයේ වචනයක් ලෙස භාවිතා කිරීමට හැකි බව පිළිගත හැකිය. ඔහුගේ ලිපිය පුරා "කියවන්නිය" යන්න පමණක් භාවිතා වූවා නම් මෙය විශේෂයෙන් අපට දැනෙන්නේත් නැත. නමුත් ඔහුගේ ලිපියේ මම මේ උපුටා ගන්නා කොටස හැර වෙනත් කිසිදු තැනක එම වචනය නැවත භාවිතා නොකරනු අපිට දැකිය හැකිය. එමෙන්ම "කියවන්නිය" යන යෙදුම සමගම ඔහු නැවත වරක් "ඇය" යන වචනය භාවිතා කරමින් ඔහු මේ ප්‍රකාශ කරන්නේ ස්ත්‍රීන් සම්භන්ධයෙන් බව සනාථ කරයි. එවිට අපට ගැටළු දෙකක් පැන නගී. එනම්,
දැන් මේ පොත කියවන්නේ ස්ත්‍රීන් විතරද?
මේ වැරැද්ද වෙන්නේ ස්ත්‍රීන්ට විතරමද?
310 පිටුවේ K.K මෙහෙම කියනවා,
“අවසන මර දූතිය ඇගේ වේශයෙන්ම ඈ ඉදිරියේ පහල විය. ඒ තමාම විය. අසීරුම සටන වූයේ ඒ ආ තමා සමඟමය. ඒ මර දූතිකාව උපන්නේ තමාගේම හේමාලයාගෙනි”
K.K ත් මේ ඔහුට මූණ දෙන්න අමාරු අවස්ථාවට මූණ දෙන්න ස්ත්‍රියක් පාවිච්චි කලා කියලා තමයි මම හිතන්නේ. ඒක තමා පුරුෂ ලිංගයේ අභිමානය ඉතුරු කරගෙන මහා පුරුෂයා විනාශ කරන්න පුරුෂයෙකුට තියන හොඳම විදිහ. පුරුෂ ලෝකය ගොඩනංවන ලද බුදුන්ගේ සිදුවීම්, රූප ටිකම ගැහැණු අනුවාදයක් (version) ඇතුලේ නැවත විකාශය වෙන්නේ ඒ නිසයි.
මේකෙන් K.Kට අමතර වාසියකුත් ලැබෙනවා. බැලූ බැල්මට පේන “ස්ත්‍රියක් බුද්ධත්වයට පත් කරවීම” කියන රැඩිකල් නිර්භීත ක්‍රියාව නිසා “රැඩිකල් සාහිත්‍යමය වීරයා” එහෙම නැතිනම් “ස්ත්‍රීවාදී සාහිත්‍යෙය් සලකුණ” වගේ මොකක්හරි එකකුත් “නේරන්ජනේ ස්නානේ” වෙනුවෙන් කෙනෙකුට යොදන්නත් අවකාශයක් හැදෙනවා.
අන්න එහෙමයි smart දඩයක්කාරයෙක් උගුල් අටවන්නේ.....!!!

ලංකා බණ්ඩාරනායක.