Saturday, October 28, 2017

සර්පයානු ලිවීමක ෆැලික ප්‍රමෝදය




සමන් වික්‍රමාරච්චි


‘නේරංජනේ ඉස්නානේ’ යනු කියවන්නිය මුල්වරට කිසියම් අවුලකට පත් කරනසුලු ආඛ්‍යානයකි. එය කියවිය යුත්තේ අග සිට මුලට බව වටහා ගන්නා තුරු ඇය මෙම අවුල වින්දනය කරයි. එය පදානුගත අර්ථ සහිත කියවීමක් පිණිස අගමුල සොයා ගන්නේ වුව ද ඔබ එහි අන්තර්ගතය කෙරෙහි බර තබන්නේ නම් මේ කවර වූ ලිවීමක් දැයි හරි හැටි වටහා ගන්නේ නැත.


‘නේරංජනේ ඉස්නානේ’ යනු අන්තර්ගතයක් රහිත ආකෘතියක් පමණක් ඇති නවකතාවකැයි කීමෙන් එය අර්ථ විරහිත ලියවිල්ලකැයි කියන බවක් නොගන්න. ඇත්තටම නම් එහි අන්තර්ගතය වන්නේ ආකෘතියමය. කලා කෘතියක දයලෙක්තික වටිනාකම මිනිය හැක්කේ එහි ප්‍රකාශිත අර්ථය සමඟ ගැටීමෙන්වත් අප්‍රකාශිත තේරුම් ගවේෂණය  කිරීමෙන්වත් නොවේ. ෆෙඞ්රික් ජෙම්සන් සරණ යාමට ඔබ සූදානම් නම් කලා කෘතියක අගය තිබෙන්නේ එහි ප්‍රකාශිත 
(Manifest)  හෝ අප්‍රකාශිත ගුප්ත (Latent)  අර්ථය මත නොව එය ප්‍රකාශමාන වන ආකාරය නැතහොත් ආකෘතිය මත බව පිළිගැනීමට අපට සිදු වේ. වැඩිදුර නොගොස් මම මෙසේ වදාරමි. සර්පයා මෙම ආඛ්‍යානයෙහි ආකෘතිය ලෙස ගන්නේ විසංයෝජනයකි. ඔහු විසංයෝජනය (Deconstruction)  කරන්නේ  කුමක්ද යන්න නොව ඔහුගේ ලිවීමේ ශෛලියම විසංයෝජනීය වීම මෙහි ඇති සුවිශේෂයයි. ඇත්ත. බැලූ බැල්මට මෙහි ප්‍රස්තුතය වන්නේ ස්ත්‍රී/පුරුෂ සහසම්බන්ධ ප්‍රතිපක්ෂය (Binary Opposition)  තමයි. එහි විසංයෝජනය නම් පුරුෂ ප්‍රමුඛතාව හෙළා ස්ත්‍රී බව නඟාලීමය. එහෙත් ඒ සඳහා ලේඛකයා භාවිත කරන්නේ පුරුෂවාදී වූ ආගමික කියවීම්ය.


විසංයෝජනය යනු කිමෙකැයි හරි හැටි අල්ලා නොගෙන මෙහි ඉදිරියට යා නොහැක. ඩෙරිඩාට අනුව කළු හැඟවුම්කරණය කිරීමට නම් සුදු අභ්‍යුපගමනය
 (Presume)  කළ යුතුය. එය හුදු කළු බව (Blackness) නිරූපණය නොකරයි. එහි එය නොවන වෙනත් දෙයක සලකුණ  (Trace) අන්තර්ගතව ඇත. ඒ අනුව භාෂාවේ වචන සංඥාකරණයේ කෙළවරක් නොමැති ලිස්සා යාමට යටත්ය. මෙම ප්‍රපංචය විස්තර කිරීමට ඩෙරිඩා Differance  යන නව යෙදුම (Neologism)  භාවිත කරයි. මෙම යෙදුම ශ්ලේෂාර්ථ නඟන්නකි. එනම් ප්‍රංශ අර්ථයෙන් එහි වෙනස නැතහොත් පරතරය (Differ)  සහ කල් දැමීම (Defer)  යන අර්ථ දෙකම නඟයි. වැදගත් දේ නම් එහි ස්වයං - සර්වසම අර්ථයක් ගැනීම කල් දමමින් වෙනස් වූ කිසිවක සලකුණ අඩංගු වීමය.


සහසම්බන්ධ ප්‍රතිපක්ෂමය යෙදුම්
 (Binary Oppositions) ඟින් සිදුවන්නේ ඩෙරිඩා යට සඳහන් කරන Differance අර්ථ දැක්වීම වහංගු කිරීමය. එනම් යෙදුම්  දෙකකින් එකකට ප්‍රමුඛතාව දීමය. එහෙත් පුරුෂයා/ස්ත්‍රිය යන යුගලයේ එක් එක් යෙදුමට අවකලනමය අර්ථයක් දෙන බැවින් එකක් අනෙකෙහි සලකුණ රඳවා ගනී. එහෙත් පීතෘමූලික දෘෂ්ටිවාදය අභ්‍යුපගමනය කරන්නේ ‘පුරුෂ’ යන්න ප්‍රමුඛ වන බවය. මේ නිසා ස්ත්‍රිය යන්නෙහි අවකලන අර්ථය අඩුවකි. (Lack)  එනම් පුරුෂ බව මස්තකප්‍රාප්ත වීමට අවශ්‍ය (ෆැලික) සම්පූර්ණ බව ස්ත්‍රියට නැත. බයිබලයේ උත්පත්ති කතාවේ දී ඊවා ආදම්ගෙන් නිර්මාණය වන්නේත් ආදම් දෙවියන් වහන්සේගෙන් පැවතෙන්නේත් එබැවිනි.

එම අර්ථයෙන්ම බුද්ධත්වය යනු පුරුෂවාදී සංකල්පයකි. පුරුෂයකුට හැර ස්ත්‍රියකට බුදු විය නොහැකිය. සරලව කිවහොත් නේරංජනේ ඉස්නානේ තුළ ආඛ්‍යානිකව විසංයෝජනය කරන්නේ මෙම පීතෘමූලික අධිපති දෘෂ්ටිවාදයයි. අග සිට මුලට ආවර්තනය වන ආඛ්‍යානික ශිල්පය
 (Narrative Style) තුළ මෝදුවන්නේ ඔළුවෙන් සිටුවා තිබූ ස්ත්‍රීත්වය දෙපයින් නඟා සිටුවීමේ විසංයෝජනීය ආකෘතියයි.

“ඈ නැඟී සිටියාය. සියලු කිලි කුණු ඒ අනෝරාවෙන් සේදී ගොස් තිබිණි. ඈ දෙපා අසල රන් කගක් විය. ඈ එය අතට ගත්තාය.”


“සන්තානගත සකල ක්ලේශයෙහිම නිමිත්තක් බඳු වූ ඒ කේශ කලාපය සිඳ විසි කළාය. එකල්හි ඒ අහසෙහි මඳක් රැඳී තිබිණි.


“ඈ තම සිරුරෙහි එල්ලී තිබූ වැරෑලි කිහිපය ගලවා දැමුවාය. අනතුරුව ඕ නේරංජනයට බැස්සාය. එහි සැනහෙමින් නෙළුම් පතක් කඩා ‘මාගේ අධිෂ්ඨානය පරිදි වේවයි’ කීවාය. එකල්හි ඒ උඩුගං බලා ඇදිණි.

“ඈ නේරංජනයෙහි සැනහෙමින් එගොඩට පිහිනී. ඉවුරට ගොඩව මෙගොඩ බැලී. මෙතුවක් දවස් තමා පසුපස තමාගේ මේ විපරියාසයෝ දර්ශනය කළ සතා සතුන් සියල්ලෝ තවදු එක එල්ලේ බලා සිටියෝය.


“ඈ උනට පිටු පා ඒ වන ගහනය තුළ නොපෙනී ගොස් බොහෝ වේලා යන තෙක්ම උහු ඒ බැල්මෙන්ම එදෙස බලා හුන්නෝය.”


නේරංජනේ ඉස්නානේ 148 පිට.


මෙම විස්තරයට පසුව කියවෙන්නේ බුදුන් දුෂ්කර ක්‍රියා කළ ආකාරය සැරියුත් තෙරණුන්ට විස්තර කරන මජ්ඣිම නිකායේ මහා සීහනාද සූත්‍රයෙන් උපුටා ගත් කොටසකි. ස්ත්‍රිය බුදුවීම පිණිස පා නැඟුවේ වුවත් එහි පුරුෂ සලකුණ 
(Trace) ඇති බව මෙහි දිගින් දිගටම මේ ආකාරයෙන් කියවෙන බව දත යුතුය. මෙහි ස්ත්‍රියකට ආරෝපණය කරන්නේ පුරුෂයකු බුදු බව පැතූ ආකාරයයි. බුද්ධත්වයට පත්වීමට එරෙහිව පැමිණි දස මාර සේනාව වූ කලී පෙර බුදු බව ලැබ සිටි බුදුවරුන්ය. බුදුන් වෙත පැමිණි මරඟනන් ඇය වෙත එන්නේ පිරිමි වේශයෙනි. ඒ තිදෙනාම පෙර බුදුවරු වූහ. අනතුරුව මෙසේ ලියවෙයි.


“අවසානයේ වසවත් මාර දූතිය ඇගේ වේශයට ගෙන ඈ ඉදිරියේ පහළවිණි. ඒ තමාම විය. අසීරුම සටන වූයේ එසේ ආ තමා සමඟින්මය. ඒ මාර දූතිකාව උපන්නේ තමාගේම හේමලයාගෙනි.”


නේරංජනේ ඉස්නානේ 143 පිට


මෙලෙස බුදු වීමට යන ස්ත්‍රිය තමා තුළටම අන්තරීකරණය වීමට වීම මෙය නව දිශානතියක් ඔස්සේ කියවීමට අපට ඇරයුම් කරයි. එය අන් කිසිවක් නොව ස්ත්‍රියගේ ලිංගිකත්වය 
(Woman's Sexuality)  නම් වූ ප්‍රපංචයම වේ.


බැලූ බැල්මට ‘නේරංජනේ ඉස්නානේ’ යනු ස්ත්‍රීවාදී ලිවීමකි. එහෙත් එය කෙතෙක් ස්ත්‍රී විරෝධී ද යන වග අපට දත හැක්කේ මෙම ලිවීම තුළ මතු වන ස්ත්‍රීත්වය පිළිබඳ පුරුෂවාදී ලිවීම් නැවත කියවීමෙනි. මෙහි දී මම ඔටෝ වීනින්ගර් සහ ජිජැකියානු කියවීම් ඇසුරු කොට ගතිමි. ජිජැක්ට අනුව ඔටෝ වීනින්ගර්
 (Otto Weininger) යනු දර්ශනයේ කේන්ද්‍රීය තේමාව ලෙස ලිංගික වෙනස (Sexual Difference)  සහ ලිංගික සබඳතා ඔසොවා තැබූ ලේඛකයෙකි. ඔහු මෙහි මිල ගෙවන්නේ Sex and Character  නම් වූ මාහැඟි කෘතිය ලියා අතගත් සැණින් සිය දිවි නසා ගැනීමෙනි. මිය යන විට ඔහුගේ වයස අවුරුදු විසි හතරකි.

වීනින්ගරියානු ලිවීම් ස්ත්‍රී විරෝධී බව
 (Anti feminist) නොකිවමනාය. ඔහුගේ ස්ත්‍රී විරෝධය මතුවන්නේ ස්ත්‍රිය සපුරාම ලිංගිකමය පමණක් වේ යයි (Woman is Only and thoroughly Sexual) හංවඩු ගැසීමෙනි. එනම් ඇය වූ කලී කාමුක ස්ත්‍රියයි. වීනින්ගර් Sex and Charater හි ලිංගික ගැටලු අරබයා දෙන පිළිතුර සමකාලීන ස්ත්‍රී විරෝධය සහ යුදෙව් විරෝධය කලවම් වූ නොගැඹුරු දාර්ශනික ප්‍රවේශයක් ලෙස වටහා ගැනීමට අපහසු නැතැයි ජිජැක් පවසයි. වීනින්ගර්ට අනුව ලිංගික වෙනස (Sexual Difference)  පදනම් වන්නේ විෂය සහ වස්තුව එනම් සක්‍රිය බලශක්තිය සහ අක්‍රිය දෙය (Active Spirit and Passive Matter)  අතර පවත්නා සත්භාවමය ප්‍රතිවිරුද්ධ බව Onotological Opposition  මතය. එහි දී ස්ත්‍රිය වූ කලී අක්‍රිය වූ පහසුවෙන් පොලඹවා ගත හැකි වස්තුවකි. එහි අර්ථය නම් ඇය මුළුමනින්ම ලිංගිකත්වයේ ආධිපත්‍යයට යටත් බවය.


ස්ත්‍රිය සපුරාම ලිංගිකත්වයේ ආධිපත්‍යයට යටත්ය යන ප්‍රවාදය වීනින්ගර් ප්‍රකාශයට පත් කරන්නේ මෙසේය. (මෙය එහි දළ සිංහල පරිවර්තනයයි)


“...ස්ත්‍රිය සපුරාම ලිංගිකමය පමණක් වන්නේ ඇයගේ ලිංගිකත්වය තමන්ගේ මුළු සිරුර පුරාම විසිර පවතින බැවිනි.

භෞතික අර්ථයෙන් කියන්නේ නම් යම් ස්ථානවල මෙය අන් ස්ථානවලට වඩා (ඇය ලිංගිකව ආසාදනය වන්නා සේම ඕනෑම දෙයක් ඇය විනිවිදව යයි) ප්‍රබල වන අතර සෑම විටම ඇගේ සිරුර මතුපිට සෑම තැනම විහිද පවතී. අප සාමාන්‍යයෙන් මෛථුනය යයි කියන්නේ මෙය අතිශය තීව්‍රව නැගුණ විශේෂ අවස්ථාවකටය...”
ඔටෝ වීනින්ගර්ගේ ග්‍රන්ථයේ 258 පිට

සර්පයා නේරංජනේ ලියමින් ස්ත්‍රිය සපුරාම ලිංගිකත්වයේ ආධිපත්‍යයට යටත්ය යන වීනින්ගරියානු ප්‍රවාදය නිදර්ශන සහිතව ස්ථුට කරයි. එය ලිවීමෙන් ඔහු ලබන ෆැලික ප්‍රමෝදය කෙතෙක්දැයි විඳින්න.


“මනුෂ්‍ය ගාන්ධර්ව බන්ධනයෙහි වෙළුණාහ. වෛශ්‍යා කර්මයෙහි ගැලුණාහ. උවැසිව ‘වහන්ස ඌරු අතරෙහි ගටනුමැනවි. නැබැ ගටනු මැනවි. උදර වැටියෙහි ගටනු මැනවි. කිසිල්ලෙහි ගටනු මැනවි. ග්‍රීවායෙහි ගටනු මැනවි. කන් සිදුරු ගටනු මැනවි. කෙස් වැටියෙහි ගටනු මැනවි, ඇඟිලි අතුරු ගටනු මැනවි, අතින් උපක්‍රම කොට කටින් ගන්නෙමි යනාදී වැලපිණ. ධ්‍යානගත මහණක රහසඟ මත හිඳ ඇතිතාක් කොට සිනාසෙමින් සමීපව සිට “මේ කාර්යය තීගේ ද ඇසූ කල්හි ‘එසේය මගේ කාර්යයකි’ යි කීය.


‘මහණව පුටුවක හොත් දැරියක් දැක කාය සංඝගග  රාගයෙන් යුක්තව පයැ මාපටැඟිල්ල අංග ජාතයට ප්‍රවිශ්ඨ  කළේය. සිතුවම් රුවක නිමිත්ත රහසඟින් පහළේය. වඳින්නී අඳනය ඔසවා මුවින් ගනු ඉවසීය. අග දත් ලෙස මෙවුන්දම් ඉල්ලීය. වසමග, පසමග, මුව ආදියෙහි ප්‍රවේශයද, ප්‍රවිෂ්ටය ද, ස්ථිතියද, උද්ධරණය ද ඉවසීය. පිළිසන් වස මගෙහි, නොපිළිසන් වස මගෙහි යනාදී ව්‍යායාම කළේය. සිත් ගත් ස්ත්‍රී කාල යාත්‍රා කළ කල්හි සොහොනෙහි විසිරී ඇට රැස්කොට නිමිති සටහනින් රහසඟ මෙහෙයී. රාගයෙන්, වර්වසින්, මුත්‍රායෙන්, වාතයෙන්, බුහු පනුවන් ගැටීමෙන් කවරකින් වුව අංගජාත කර්මන්‍යව ගිය කළ කාම ඡන්දයෙන් ඒ පැහැරීය”


නේරංජනේ 54 පිටු


ජීවමාන ස්ත්‍රියකගේ කවර වූ ශරීරාංගයක් කාම සංසර්ගය පිණිස වන බව කීමෙන් නොසෑහී මේ ලේඛකයා මළ ස්ත්‍රියකගේ ශරීරය වුව කාමය පිණිසම වන බව කියයි. ස්ත්‍රිය හුදු ලිංගික වස්තුවකැයි කියන ස්ත්‍රී විරෝධී විනින්ගර්ගේ අත්අඩංගුවට සර්පයා නතුවන්නේ එපරිදිය. දැන් අපි ඔහුගේ ස්ත්‍රීවාදය කෙසේ කියවන්නෙමුද? යහපත උදෙසා අධිකතර ලෙස කැපවීම නපුරට පාර කපන්නා සේ අධික ලෙස ස්ත්‍රීවාදී වීම කෙළවර වන්නේ පුරුෂවාදයෙන් බව ඉන් දත යුතුය. වීනින්ගර් පවසන පරිදි ප්‍රේමය යනු ද ලිංගික සංසර්ගය සඳහා ඇති පෙළඹවීම සඟවාලන්නකි. ස්ත්‍රියට කිසි විටෙක තමාගේ ආදරවන්තයා කෙරේ පවිත්‍ර වූ විරාගී ප්‍රේමයක් දීමට නොහැකිය. වැඩිමනත්ව කියන්නේ නම් ඇයට තමාගේ මමායනය (Egoism)  ජය ගත හැකි එකම ක්‍රමය මෛථුනයයි. ඇයට ඇති එකම ආචාර විද්‍යාත්මක (Ethical) අදහස එය පමණි.

නේරංජනේහි එන බුදු වූ ස්ත්‍රිය පිරිනිවන් පෑමට පෙර මානවකයකු සමඟ රමණය කරයි. එම රමණය ඇගේ  අවසානය ළඟා කරන බැවින් මානවකයා කියන්නේ නොමැරී සිටීමට නම් විපරිත කාම ක්‍රීඩාවකින් එය කෙළවර විය යුතු බවයි. මානවකයා මෙසේ පවසයි.


‘මා සමඟ කයින් කය පහරින යමකු වේද, උහුද ඒ ඉරණම්ම වන්නේය. නමුදු මම් නුඹ හා කයින් කය පහරනු රිසියෙමි. එද තොප මාගේ ඉරණම් ලබනු නොකමැත්තෙමි. තොප මා සමඟ සිතින් සිතදු නොපහරිනු මැනව. තොපට අන්තරා වන්නේය. එබැවින් ශ්‍රාව නොතැවරෙන ලෙස මම තොප පයෝධර ඉඹින්නෙමි. රහසඟ ඉඹින්නෙමි. තලැටක් පමණ කුදු ප්‍රවේශ නොකරන්නෙමි. නොගටන්නෙමි. කලවා මුස කරමි. අතින් උපක්‍රම කරන්නෙමි. විසර්ජික ශ්‍රව තොප සිරුරු නොගැටෙනුව වග බලා ගනිමි.


නේරංජනේ 49 පිට


අප සිත්හි තබා ගත යුතු දේ නම් මේ සියල්ල ලියන්නේ පිරිමියෙකි. එහි කිසිදු ශෘංගාරයක් නැත. ඉන් තීව්‍රව නැගෙන්නේ විපරිත කාම ක්‍රීඩාවන් පිළිබඳ පුරුෂයකුගේ අසභ්‍ය ෆැන්ටසි මනස්ගාතය. ඉන් කියවෙන පරිදි එකී මානවකයා සමඟ සිත් සේ රමණය කර ඇය පිරිනිවන් මංචකයෙහි වැදහොත් බව සඳහන්ය. ඒ වූ කලී විනින්ගර්ගේ පුරුෂ ලිවීමේ වෙනස් ප්‍රකාශනයකි. විනින්ගර් පවසන්නේ පුරුෂයා ස්ත්‍රිය වෙත ලිංගිකත්වය පිරිනැමීම ඇගේ පැවැත්ම තහවුරු කරන බවය.


“පුරුෂයා රාගී වන කල ස්ත්‍රිය නිර්මාණය කර ගනී. ස්ත්‍රිය පහළ වන්නේ පිරිමියා තම කාමරාගී බව පිළිගැනීමෙනි. ස්ත්‍රිය යනු මෙම තහවුරු කිරීමේ ප්‍රතිඵලයයි. ඇය කොහොමත් රාගිකය. මේ නිසා ස්ත්‍රියගේ එක් අරමුණක් වන්නේ පුරුෂයා කාම රාගීව තැළීමය... ඇයට ඇත්තේ එක් අරමුණකි. එනම් පුරුෂයාගේ වරදකාරී බව දිගටම පැවතීමට ඉඩ හැරීමය. පුරුෂයා තම කාම දාහය නිවා ගත් සැණෙන් ඇය අතුරුදන් වෙයි.”


-ඔටෝ විනින්ගර්


අප ඉහත නේරංජනෙන් උපුටා දැක් වූ සංසිද්ධිය තුළ සිදු වන්නේ විනින්ගර් කියන දේම නොවේද? ඇගේ පිරිහිවීම සලකුණු කරන්නේ පුරුෂයාගේ කාම පවස සංසිඳුවා අතුරුදන් වීමය. වින්ගර්ට අනුව ස්ත්‍රිය යනු පුරුෂයාගේ ඇද වැටීමේ හේතුව නොවේ. එහි ප්‍රතිඵලයයි. මේ නිසා ස්ත්‍රියට එරෙහිව යාමේ ඵලක් නැත. ඇය කවර හෝ ඵලදායී සත් භාවමය සංස්ථිතියක් හිමි කර නොගනී. මේ නිසා ස්ත්‍රිය නොපවතී 
(Woman Does not Exist) යන විනින්ගර්ගේ තීරණය ස්ත්‍රී පිරිමියාගේ රෝග ලක්ෂණය යයි ලැකාන් ගෙන එන ප්‍රවාදය සමඟ සමපාත වේ. ස්ත්‍රිය යනු පිරිමියාගේම ලිංගිකත්වයේ ප්‍රකාශනයක් මිස අන් කිසිවක් නොවේ යයි විනින්ගර් පවසයි. සර්පයා මේ පොත ලියමින් යට කී විනින්ගරියානු ප්‍රවාද උත්කර්ෂයට නංවා නැතැයි කිසිවකුට කිව හැකිද?


වීනින්ගර්ගේ ප්‍රවාද විවරණය කරමින් ජිජැක් පවසන පරිදි ස්ත්‍රියගේ පැවැත්ම සාක්ෂි දරන්නේ පිරිමියා තමාගේ ආශාව සමාදානයෙන් බේරාගෙන තිබෙන බවය. එනම් ලිංගිකත්වයට ඉඩ දීමෙන් නිදහස් ආචාර ධාර්මික ආත්මයක් ලෙස තමාගේ සැබෑ ස්වභාවය ඔහු පාවා දී  ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස සිදුවී ඇත්තේ ලිංගික සංසර්ගයට ඇති බලවත් කෑදරකම නිසා ස්ත්‍රියගේ සමස්ත ජීවිතය පැල්ලසයේ 
(Phallus) අණසකට යටත් වීමය. අපි නැවත විනින්ගර්ගෙන් කියවමු.

“පුරුෂ අංගජාතය වු කලී ස්ත්‍රියට ඇය නම නොදන්නා ඉඞ් සංස්කාරකයකි. ඇගේ ඉරණම ඇත්තේ ඒ තුළය. ඒ වූ කලී ඇයට ගැලවී ගත නොහැකි කිසිවකි. මේ හේතුව නිසාම ඇය නිරුවත් පිරිමියකු දක්නට අකමැතිය. එවන් මොහොතක තමා වියැකී යන බවක් ඇයට හැඟේ. එලෙස පැල්ලසය ඇගේ නිදහස යළි දිනාගත නොහැකි ලෙස පැහැරගෙන ඇත.


විනින්ගර්ගේ ග්‍රන්ථයේ 269 පිට


“ස්ත්‍රිය නිදහස් නැත. අන්තිමේදී පුරුෂයකු මඟින් දූෂණය වීමේ බලවත් ආශාව ඇය තුළ හැමවිටම පවතී. ස්ත්‍රිය පැල්ලසය මඟින් පාලනය වේ.”


විනින්ගර්ගේ ග්‍රන්ථයේ 274 පිට


ස්ත්‍රියකට බුදුවිය නොහැකිය යන පුරුෂවාදී ආස්ථානය සුණුවිසුණු කර දමන ආඛ්‍යානයක් සේ රචනා වූවද නේරංජනේ ඉස්නානේ, අවසන නතර වන්නේ විනින්ගරියානු ස්ත්‍රී විරෝධී අඩවියකය. අතිශය ඕලාරික ලෙස ලිංගිකත්වය උත්කර්ෂයට නංවන ලිවීම් අතර මේ ස්ත්‍රී විරෝධය සොයාගත හැකිය. මා පහත උපුටා දක්වන්නේ එවන් අවස්ථාවකි.


“පුරුෂ ලිංගාපේක්ෂිතවම කල් බලමින් සිටි මෙදෙස් ඉතිරිහු යක්ෂයින් සමඟ මෛථුනදාමයට ද හොර රහසේ පෙළඹුණහ. මදන මතින් නලියන, උගුරැස්ස කටු මෙන් ඉත්තෑකූරු මෙන් ලොම් ඇති සිරුරින් යකෙකු මා දූෂණය කරත්වා, මා බරු ගසත්වා, කත්වායි දිව මතු කරමින් හුන් ඒ ඉතිරිත් ශාසනයට හැරවීම මහත් අපහසු විය. මේ ඉතිරින්ගේ ඉකුත්වත් මෙසේ බව දත යුතු”


63 පිටුව


යට කී වැනුම් ඔටෝ විනින්ගර් නැවත ලිවීමක් බදුය. පුරුෂ ලිංගය සංකේතවත් කරන යෙදුම් බහුලව භාවිත කරමින් කරන එම ලිවීම් මඟින් තහවුරු කරන්නේ ස්ත්‍රිය පැල්ලසයේ  පාලනයට යටත්ය යන ප්‍රවාදයයි. සැබැවින්ම ස්ත්‍රියක් ඇගේ ලිංගික ආශාව මැඩ ගන්නා විට සහ ඒ කෙරෙහි ලජ්ජා වන විට ඇය යටපත් කරන්නේ ඇගේ සැබෑ ස්වරූපයයි. ඇගේ යථා ස්වභාවය ප්‍රචණ්ඩකාරී ලෙස පෙරළා සටන්වදී. එය ආපසු පැමිණෙන්නේ හිස්ටරීක රෝග ලක්ෂණ නම් වෙස්වළාගෙනය. ‘නේරංජනේ ඉස්නානේ’ යනු එබඳු හිස්ටරික ස්ත්‍රීන් පිළිබඳ ආඛ්‍යානයක් බව වටහා ගැනීමට අපහසු නැත.


අප නැගිය යුතු ප්‍රශ්නය නම් සමන් කුමාර මෙම ලිවීම් කරන්නේ කුමක් නිසාද යන්නය. ඔහුගේ ඉලක්ක පාඨකයා කවරකුද? කිසිවකු නැත. ඔහු ලියන්නේ ඔහු උදෙසාමය. මෙම ආඛ්‍යායන කියවීම තුළ අප දකින්නේ එය ලියමින් ඔහු විඳින ෆැලික ප්‍රමෝදයයි. ස්ත්‍රීවාදය දෝරේ ගැලූ යුගයක සමාජය තුළ සැරිසරණ හිස්ටරික ස්ත්‍රිය ඔහුගේ ප්‍රස්තුතය වේ. අසූව දශකයේ ස්ත්‍රීවාදය යනු හිස්ටරික ස්ත්‍රීන්ගේ යුගයයි. ඇත්තටම නම් ඔහු ලියන්නේ ඔහුට හමු වූ යට කී (පුරුෂ බුද්ධත්වය ප්‍රාර්ථනා කළ) හිස්ටරික ස්ත්‍රීන් ගැනය. සැබැවින්ම මෙහි දී විසංයෝජනය වන්නේ පුම/ ඉතිරි ලිංගික වෙනස
 (Sexual Differance) නොව එකී වෙනස මඟින් නිර්මාණය කරන හිස්ටරික ස්ත්‍රියයි. තම ලිවීම තුළ ලේඛකයා ෆැලික ප්‍රමෝදයක් විඳිතැයි අප කියන්නේ එබැවිනි. සාරාංශ කොට කිවහොත් මෙය සපුරාම පුරුෂවාදී ලිවීමකැයි සටහන් තබමින් මෙහි හමාර කියවමි.

ආශ්‍රිත ග්‍රන්ථ


The Metastases of Enjoyment - Slavoj Zizek 

Sex and Characte - Otto Weininger 

The Sublime Object Of Ideology - Slavoj Zizek 

Writing and Difference - Jark Derrida 


No comments:

Post a Comment