Friday, October 13, 2017

තොල් ඉවුරු අතර තුර ගඟ දෙපස කතාබහ




සර්පයා - කේ. කේ. සමන්කුමාරසනා - උපුල් ශාන්ත සන්නස්ගල


සර්පයා : උඹට මාව පේන්නෙ කොහොමද? එදයි අදයි?

සනා: උඹ සතෙක්. සතා පොතක්. හේතුවාදී ප්‍රබන්ධ
කෘතියක් යකෝ! අටුවාවක්! ටීකාවක්! ටිප්පනියක්! උඹ
සන්නස් ගැටපදයක් - දසපද හෑල්ලක්. ස්ත්‍රී වශී දූත කාව්‍යයක්.
සර්පයා; උඹට අම්මා යකින්නියක්. තාත්තා බුදුවරයෙක්.
බොට, ප්‍රේමය කිඳුරඟනක්.  ස්ත්‍රීලිංග වේසියෙක්! උඹ කාලයෙන් කාලයට හැව අරින, පරිනාමීය සතෙක්. උඹේ කාලත්‍රයේ තර්ක හේතුවාදියි. බලුකම් මෙන් ම මනුස්සකම් ද
තර්කානුකූලයි. සර්පයෙක්ගෙ කටේ විස දල දෙකක්
තියෙනවා. දැන් උඹේ සර්ප කටේ එක දතක් නෑ. උඹේ දත ගලවා තියෙන්නේ හැපිනස් නැති හැපින්නියෝ. මහපාරේ; වීදියේ;
සර්පයත් එක්ක හැපින්නියන්ගේ ප්‍රේම ලිංගාලිංගන
ප්‍රකටයි! සුප්‍රකටයි!! කුප්‍රකටයි!!! උඹ හැපින්නියන්ටත්
හැපින්නියන් උඹටත් දෂ්ට කරා. උභය පාර්ශ්වයට ම තුවාලයි. අවුරුදු තිස්පහක් පරිණාමය වෙච්ච උඹේ තුවාල දැන් හුඟක්
ආට් කරන්න හදන උරග කුලවල උපන් ලප. සර්ප ආර්ට් තියෙන හැම තැනම උඹ බර්ත් මාක් වෙලා. සර්ප වෛරස් උඹ ආර්ට් එකේ ජාතක කරා. කොහොම හරි දැන් උඹේ කටේ එක දතක් නෑ. මං හිතන්නේ දැන් දත නැති උඹේ
ෆිලොf්සාෆිය වෙනස්. දතක් නැති කටින් සූ’ සූ’ ගා පිඹින
සර්පයා; කටේ දත නැති නිසා දිවෙන් වැඩ ගන්නවා ඇති කියලයි මං හිතන්නෙ.

සර්පයා : අපි හම්බවෙලා ගොඩාක් කල්. ඉස්කෝලෙ යන කාලේ. එදා ඉඳලා වරින් වර වෙන්වෙලා අපි ආයෙත්
නේරංජනේ ළඟදි හම්බවෙනවා.

සනා: ඔව්. උඹ එදා ආවෙ නේරංජනේ මං ලවා
පබ්ලිෂ් කර ගන්න. අද ආවෙ නේරංජනේ වෙන කෙනෙක්
පබ්ලිෂ් කරද්දි ඒක මාර්කට් කරන්න මං ලවා පොතට
කෑල්ලක් ලියා ගන්න. ඒක උඹෙයි මගෙයි
දෙන්නගේම හැටි. අපි කාලයක් සර්පයෝ වගේ වෙලි වෙලී
ඉන්නවා. හුස්ම වැටෙන නො වැටෙන දුරින් පිඹ පිඹ
ඉන්නවා. උඹ හුඹස් ගත වෙනවා. එළියට ආවම මඟ දී
හමුවුණා ම ‘හායි’ කියනවා. ආයෙ වෙන් වෙනවා. අපි අවුරුදු තිස්පහක් කාලාතික්‍රමණය කළේ එහෙම. මාත්
කාලෙකට සර්ප කුයිලට පෙම් බඳිනවා. එපා වුණා ම ප්‍රේමයට භූමි තෙල් ගහලා එළවනවා. උඹ ආයෙත් හම්බ වෙන්නෙ
‘නේරංජනේ ආයේ ගහනවා, පොඩි කෑල්ලක් ලියපං’ කියාගෙන. මං සංහිඳ පටන් ගත්තෙ මරදානෙන් ග්‍රෑම් ගාණට ඊයම් අකුරු
ගෙනාපු කාලෙ. චයිනීස් ප්ලේටින් ගල් අච්චු
මැෂිම. පන්නිපිටියේ කුලී ගෙදර ඉස්සරහා කාමරය. දෙදහෙ
අවුරුද්දෙ  නුගේගොඩ විජේරාමේ සංහිඳ මොඩන් කරලා පටන්
ගන්නවා. පස්මහල් ගොඩනැගිල්ල. කෝඞ් ග්‍රේ
වර්ගයේ මැෂිම. සංහිඳ මුද්‍රණ හා ප්‍රකාශන ආයතනය.
කොම්පියුටර් ටයිප්සෙටින්, ඕෆ්සෙට් ප්‍රින්ටින්. පාන්දර
විජේරාමෙ සංහිඳ පුනර්ජීවන ව්‍යාපෘතිය ඇරඹෙනවා. කුලුඳුලේ ම ප්‍රින්ට් එකට දැම්මෙ උඹේ පොත. ‘නේරංජනේ
ඉස්නානේ’. ගැහැනිය බුදුවන කතාව. ඒ කාලෙ ස්ත්‍රීවාදය, තැන
නො තැන හැම තැනම ටොපික් එක. කෝකටත් සංවාද තෛලය.
ගැහැනියකට බුදුවෙන්න බැරි ඇයි? ඒක තමයි සටන් පාඨය. මැෂින් මයින්ඩර් නේරංජනේ පළවෙනි ප්ලේට් එක කෝඞ් මැෂිමේ හයිකළා. මට හොඳට මතකයි මගේ බිරිඳ
විජේරාමේ පන්සලට ගිහිල්ලා පිරිත් නූලක් ගෙනල්ලා කෝඞ්
මැෂිමේ ගැට ගැහුවා. කිසිම අපල උපද්‍රවයක් නැතිව අපේ පවුලේ
ව්‍යාපාරය දියුණු වේවා! කියලා එයා ප්‍රාර්ථනා කරන්න ඇති. මාර්කට් එක ගැන එලෝ මෙලෝ වගක් නැතිව මම, මගේ ගොංකමට
නේරංජනේ පොත් දෙදාහක් ප්‍රින්ට් කළා.

සර්පයා : උඹ නේරංජනේ ගහන්න හිතුවෙ වීරයෙක් වෙන්න ද?
 
සනා: උඹ නේරංජනය ලිව්වෙ වීරයෙක් වෙන්න ද! ලිව්ව
උඹවත් ගැහුව මංවත් වීරයො නෙමෙයි බං. මං ටියුෂන් කළා. සල්ලි හම්බ කළා. වාහන ගත්තා. රට රටවල ගියා. එළියට පේන්න ලස්සන ජීවිතයක් මට තිබුණා. වැක්කෙරෙන්න
ප්‍රාග්ධනය තිබුණා. ඒක තමයි මගේ ජීවිතේ ශෝකාන්ත කාලෙ. උඹ දන්නවද සර්පයා ලස්සන කෙල්ලෙකුට මේ සමාජෙ ජීවත් වෙන්න බෑ. ඒකි ලස්සන හින්දම හැම එකා ම ඒකිගෙ රෙද්ද උස්සනවා. හැම එකා ම ඒකිට අරින්න හදනවා. ඒකි පත්තිනි අම්මා වුණත් සොසයිටියට පට්ට වේසි වෙනවා. බඩුව
වෙනවා. ටියුෂන් කරලා සල්ලි හම්බ කරලා ලස්සන වෙච්ච මටත් ඇරියෙ අන්න ඒ ඇරිල්ල. ලස්සන කෙල්ල වේසි වුණා. මං වේසිගෙ පුතා වුණා. කැරියා වුණා. කට්ටිය මං හොයා ගෙන ආවා. සන්නා ශෝක් කීවා. මාව බදාගත්තා. මගෙත් එක්ක
ගනුදෙනු කළා. මගෙන් වැඬේ කරගත්තා. උන් ගියා. ගිහිං කීවා; සනා ගේම්කාරයා කියලා. බිස්නස් මයින්ඩඞ් කීවා. එක
කණ්ඩායමක් ගියා ම ගිය උන්ගේ වැරදි කියලා ඊළඟ කණ්ඩායම මට ලව් කිව්වා. ඉතිං මං වේසාවා වුණා.

මට මතක විදිහට ඔය කාලේ කොළඹ කේන්ද්‍රීය සංවාද කව ස්ත්‍රීවාදය මුරුංගා අත්තේ තියලා ඇදහීම් පුද සත්කාර කළ කාලෙ. මාක්ස්, ට්‍රොස්කි
වෙනුවට ග්‍රාම්ස්චි, ඩෙරීඩා, ලැකාන්, ෆූකෝ යන්තං දලු දාගෙන මතුවෙච්ච කාලෙ.  දවසේ පැය දොළහකට වැඩි
කාලයක් ටියුෂන් එක්ක හිටපු මට මේ දැනුම හොයා ගෙන යන්න, ඒ සංවාද කවවලට යන්න, අධ්‍යයනය කරන්න බැරි වෙච්ච
හින්දා මට හීනමානයක් තිබ්බා. චිත්‍රපටකාරයෙක් වෙන්න තිබ්බ හීනමානෙ හඳයගෙයි විමුක්තිගෙයි චිත්‍රපටි කරලා ඇරියස් කවර් කරගත්තා. උන්ගෙ ක්‍රියේෂන් එක. මගේ සල්ලි.
සංහිඳෙත් තිබ්බෙ එහෙම අරමුණක්. සුචරිත ආවා. මං ගෙට ගත්තා. එහෙම ආපු කවුරුවත් වේසාවා හොඳයි කීවේ නෑ. හැබැයි මං කවුරුවත් හොයා ගියේ නෑ. මට යන්න වෙලාවක් තිබුණේ නෑ. මට දීප්තිගේ එක්ස් එකේ පන්ති යන්න විතරක් ඕන වුණා. ‘ඕකා ගන්න එපා. අපිට ඉස්සර දැනුම ඌ මාර්කට් කරයි’ කියලා කට්ටිය කීවාලු. ගැහැනියක් බුදුවේ යැයි කියන එක උඹේ පරිකල්පනයක්. ඒක මට විස්මය ජනක සාහිත්‍ය නිමිත්තක්. මං උඹට මාර ඉරිසියයි. ඒ වාගේ ප්ලොට් එකක් මට පහල වෙච්ච නැති එක මගේ කාලකණ්ණිකම කියලා මං හිතුවා. ඒ ඇරියස් එක කවර් කරගන්න මං නේරංජනේ ගහන්න තීරණය කළා. මං හිතුවා සොසයිටිය මගේ ප්‍රාග්ධනය ගුඞ් විල් එකක් කරලා මාව ඔසවා තබයි කියලා. මං හෙණ ගොනා බං.

සර්පයා : නේරංජනේට වෙච්ච දේවල්වලට උඹ පසුතැවෙනව ද?

සනා: නෑ. ඇත්තට ම නෑ. පහුගිය අවුරුදු තිස් පහේ ඊට වැඩිය පසුතැවෙන්න ඕන තරම් දේවල් මට සිද්ද වුණා. සුචරිතගෙ පොත් ගහලා, හඳයගෙයි විමුක්තිගෙයි ෆිල්ම් කරලා,
මෙලෝ සංසාරයක් නැති එවුන්ගේ පොත් ගහලා ලේඛකයෝ කරලා, උන්ට කාර් අරං දීලා. ගෙවල්වලට කන්න ගිහිං දීලා. සමහරුන්ට ලක්ෂ ගණන් පඩි දීලා මං මට ම ඇරගත්තා. වෙච්ච
පශ්චාත්තාපය මීතොටමුල්ල තරම් කුණු කන්දක්. ගූ ලොරියක්. මං හොඳට අසූචි නාපු එකෙක්. ඒ නිසා මට නේරංජනේ වටා තවරපු ගූ කන්ද නිකම් පඩ ගඳක් විතරයි. නේරංජනේ කියන්නෙ සිම්පල් පඩයක්!

සර්පයා: ජාතික රූපවාහිනියෙ රෑ අටේ නිවුස්වලට
නේරංජනේ ගැන විනාඩි දහයක් විතර මිඩංගු කරනවා. ඒ
එක්කම තවත් සිද්ධි දාමයක් දිගහැරෙනවා. ඒවායින් උඹ සසල වුනේ නැද්ද?

සනා: නේරංජනේ පොත් දහය දහය නුගේගොඩ සරසවි, ගොඩගේ කියන පොත් සාප්පු දෙකට දැම්මා. පොත උණු කැවුම් සේ විකිණී ගුඞ් විල් එකයි, සල්ලියි දෙක ම මගේ
එකවුන්ට් එකට වැටෙයි කියලා මං හීන මැව්වා. ඒක මෝඩ ගණන් බැලීමක්. චිත්‍රපටි කරලා, පොත් ගහලා, සිංදු ලියලා, ටියුෂන් කරලා සන්නා වගේ වෙන්න හිතන කාටත් ඒක
පාඩමක්. මම හෑන්ඞ් බිලකුත් ගැහුවා. ‘ගැහැනියක් බුදු වුණා- පොත පිටවුණා’ කියලා. ඔය සති දෙක තුන ඇතුළත
හැන්දෑවක මො.ල. සෙනෙවිරත්නයි, මංජුල වෙඩිවර්ධනයි කොළඹ පා වෙවී ඉඳලා හැන්දෑවේ විජේරාමෙ සංහිඳට ඔළුව දැම්මා. ගොඩගේ ප්‍රකාශනයක් වූ වෙඞ්ඩගෙ ‘මේරි නම් වූ මරියා’ කෙටිකතා පොත ප්‍රින්ට් කළේ විජේරාමෙ
පියසිරි ප්‍රෙස් එකේ. පියසිරි එකෙන් පොත් දහයක් පහළවක්
වෙඞ්ඩා කරේ එල්ලගෙන හිටපු හචා පචා බෑග් එකේ
තිබුණා. මොලයි වෙඞ්ඩයි සංහිඳට එද්දි සංහිඳේ මාත් එක්ක උඹත් හිටියා. උඹටයි මටයි මේරි පොත පොත තෑගි
හම්බුණා. මේරි පොතේ තිබුණෙ අපි පිස්සු වට්ටන විදිහෙ
කවරයක්. මරිය දෙව් තුමියගේ නිරුවත් පයෝදර විශාලෙට ඒකෙ
දිලිසෙමින් තිබුණා. පයෝදර දෙක මැද්දෙ ස්පර්ශය
ලැබුවෙ විශාල කුරුසයක්. ඒක නිර්භීත පිටකවරයක්. පිට කවරෙ මොලාගෙ.

මේ රස්තියාදුකාරයෝ දෙන්නා දුෂ්ට සෞන්දර්ය කාරයෝ දෙන්නෙක්. ඒවා අමුතු වැඩ කියලා මං හිතුවා. දවස් තුනක් යන්න ඉස්සෙල්ලා මරියා තහනම් වුණා. බෙල්ලන්විල නායක හාමුදුරුවන්ගෙ ප්‍රකාශයක් ඒ සතියෙම රෑ අටේ
නිවුස්වලට ගියා. ‘බුදුන්ට අපහාස කරන, බුදු දහම විනාශ කරන මිත්‍යා දුෂ්ටික ලේඛකයන්ට එරෙහි විය යුතුයි’ යන ප්‍රකාශය ඒකෙ ගැබ් වෙලා තිබුණා. මේ වෙලාවෙම වෙඞ්ඩගෙ මරියා පොතට විරුද්ධව සිරිල් ගාමිණී පියතුමා
උසාවියේ වාරණ නියෝගයක් ගත්තා. භික්ෂූන් පිරිසක්
නේරංජනේ විකුණනවා කියලා නුගේගොඩ සරසවිය වටකළා. සීඅයිඩිය පියසිරි එකට ඇවිල්ලා මරියා ප්ලේට් ටික උස්සනවා.
මායි උඹයි මරියා පොත වෙනුවෙන් පෙනී සිටිමු කියලා පල්ලියේ වාරණයට එරෙහිව හෑන්ඞ් බිලක් ගහලා කොළඹ බෙදුවා. උඹට මතක ඇති හයිලෙවල් පාරේ
විජේරාමෙට ඇතුල් වෙච්ච කැතලික් සිස්ටර්ස්ලා
දෙන්නෙක් නේරංජනේ පොත් පනහක් අරන් ගියා.
බස්නාහිර පළාත් සභාව උඹ මේ රටින් පිටුවහල්
කරන්නත්, පොත තහනම් කරන්නත් යෝජනාවක්
ගේනවා. සංඝ සම්මේලනය පෙත්සමක් අරගෙන අගමැති
කාර්යාලයට යනවා. ගංගොඩවිල සෝම හාමුදුරුවන්ගෙ බණවල
නේරංජනේ ගැන කියන්න ගන්නවා මේ පොත ලිව්ව
ලේඛකයා හාමුදුරුවන්ටත් වැඩිය බණ දන්නවා කියන ගුඞ් විල් එකත් එක්ක.

උඹට මතක ඇති සිංහල ජාතික බලවේයක නායකයෝ උඹව මරන්න ඕන කියලා යෝජනා
කරනවා. උඹේ මළමිනිය රට වටේ ගෙනියලා විකුණන්නත් උන්
ප්ලෑන් කරනවා. මම හලාවත පැන්ටලියම් ජෝසප් කියන මගේ මිත්‍රයා අතේ පොත් ටික ගෙනියලා නාත්තණ්ඩියෙ
හංගනවා. කාලය විසින් කාවො කාලා, දිරලා, පුක පිහිදලා, සීනි ඔතලා ඒ පොත් ටික විනාශයට පත්වෙනවා. දැන් උඹ ඒ පොත වෙන තැනක ගහනවා. මං ඒ පොත මාර්කට් කරන්න ආයෙත් උඹත් එක්ක මේ සංවාදෙ අස්සෙ හැමනෙනවා.

සර්පයා : ගෑනු බුදු වුණාද? ගෑනුන්ට මොක ද වුණේ?
ස්ත්‍රීවාදයට මොක ද වුණේ?

සනා: ගෑනුන්ට වෙච්ච දේට වඩා, ස්ත්‍රීවාදීන්ට වෙච්ච දේ තමයි මරු ඛේදවාචකය. ගෑනු වෙනුවෙන් පෙනී හිටපු
සේරම ස්ත්‍රී විරෝධීන් වුණා. තාක්ෂණික ධනවාදයයි,
පාරිභෝගිකවාදයයි, මුහුණු පොතයි සේරම එක්ක ගෑනු වෙළඳපොළේ බුදු වුණා. ස්ත්‍රීන්ගෙ සාරය නැත්තටම නැති වුණා. ස්ත්‍රීවාදයත් අන්තිමේ ජෙන්ඩවලින් ඉවර වුණා. දැන් ස්ත්‍රීන් සහ පුරුෂයින් අතර මුකුත් ප්‍රශ්නයක් නෑ.
මනෝවිශ්ලේෂණය ස්ත්‍රිය නො පවතියි කියලා කියන දේත්, ස්ත්‍රියගේ සාරය නො පවතියි කියලා කියනදේත් මේ
ස්ත්‍රීන් ඔප්පු කරන්න ගත්තා. දැන් ස්ත්‍රීන්ව බුදු කරන්න හිතන එකම ගොබ්බකමක්. මමයි සමන් වික්‍රමාරච්චියි පහුගිය කාලෙ සති දෙක තුනක් වියට්නාමෙයි කාම්බෝජෙයි ගියා. අපිට
කාම්බෝජෙදි නම් 1973දි බුදු වෙච්ච ගෑනියෙක් හම්බුණා.

සර්පයා: මම එදා ඉඳලම සම්මත පවුල් ජීවිතයක්
විශ්වාස කළේ නෑ. ඒත් උඹ සාම්ප්‍රදායික පවුල විශ්වාස කළා.
නේරංජනේ උඹේ කුටුම්බයට බලපෑවේ නැද්ද ?

සනා: මඟුලක් කියනවා! මචං උඹ තමයි අජිත් කුමාරසිරි, ජනක ජයසිංහ, මනුබන්දු විද්‍යාපති, ජනක මහබෙල්ලන, ජගත් මාරසිංහ, වසන්තසිරි වටගොඩ, පසන් කොඩිකාර,
සද්ධාතිස්ස වඩිගමංගාව, සනත් බාලසූරිය, ශ්‍රීජිත් ධර්මසේන, ඩී. එම්. එස්. ආරියරත්න වගේ චරිත සංහිඳටයි මටයි සම්බන්ධ කරන්නෙ. නේරංජනේ විතරක් නෙමෙයි, ‘නගා මැරූ අල’, ‘පුංචි සඳවතියගේ කතන්දරය’, ‘පිනි අහුරක් ඉහිරුණා’ පොතුත් සංහිඳේ
ප්‍රකාශන වෙනවා. උඩින් කිව්ව නම් ටිකයි යටින් තියෙන පොත් ටිකයි දෙකම මගේ කුටුම්බෙට බලපානවා බං.

දවසක් මගෙ පුතා මගෙන් ඇහුවා අප්පච්චි ගහන්නෙ නරක පොත් ද කියලා. මං කිව්වා නෑ කියලා. හොඳ
වෙලාවට කොල්ලො දෙන්නා ඉන්ටර්නැෂනල් ගියේ. පන්නිපිටියෙ ධර්මපාලෙට හරි කොළඹ ආනන්දෙට හරි ගියා නම් එදා පිය පුතු සම්බන්ධකම නැතිවෙනවා. මගේ දරුවන්ට අටංපහුරු ගුරුන්ගෙන්
ටොකු කන්න වෙනවා. මගේ බිරිඳ පන්සල් ගියා ම බණ කිව්ව හැම හාමුදුරුවෙක් ම බණ කිව්වෙ සන්නස්ගල දේවදත්ත කරලා. ඒවා කුටුම්බෙට බලපෑවා.

මං ගමෙන් කොළඹ එන්නෙ අම්මා තාත්තා පවුලෙ ඥාතීන් එක්ක තිබිච්ච පෙකණිවැල කපාගෙන.
හැබැයි කසාද බැඳලා පවුලක් වුණා කියන්නෙ බෙල්ලෙ
කඹයක් ගැටගහගන්න එකට. මටත් නේරංජනෙන් එගොඩවෙලා අභිනිෂ්ක්‍රමණය කරන්න හිතිලා තියෙන කාලෙ මේක. පවුල කියන කොන්සෙප්ට් එක ම ගූ ගොඩක්. මැදිවිය පැනලා ඉන්න මට අභිනිෂ්ක්‍රමණය කරන්න බෑ මචං. යශෝදරයි රාහුලයො දෙන්නයි මං දිහා බලාගෙන ඉන්නවා. ලිට්මස් පරීක්ෂණයෙන් මං සමත්ද අසමත්ද කියලා තාම මට රිසාල්ට් එක හම්බවෙලා නෑ.

No comments:

Post a Comment