Monday, October 16, 2017

සර්පයා ඉවරද?



ආයෙත් යම් වෙහෙසකර වැඩකට අතගසන්න යන්නේ. ඒ සර්පයාගේ අඵත් පොත අර්ධ නාරි කියවන්න.

සර්පයා අර්ධ නාරි පොතේ කියන්නේ සමසරාගික ගැහැනියකට පෙම් කළ හිමිනමක්, ඒ වගේම සංක්‍රාන්තික ලිංගිකයෙකුට පෙම් කළ පුරුෂයෙකු සම්බන්ධ කතා පුවතක්. ඒ අතරින් මෙයට සාක්ෂි ලෙස ග්‍රීක දේව පුරාවෘතයත් බයිබලයේ උප්පත්ති කථාවත් යොදා ගන්නවා. ඉන් එකක් වන නතාෂා සහ හිමිනම අතර කථාව එක් පසකිනුත් රජීව් හා උමයන්ගනා අතර කතාවත් වනවා. 

මේ කථා දෙකට සාපේක්ෂව මගේ ඔඵවෙන් සර්පයා ගැන කථා දෙකක් ෆැන්ටසි ගත වුණා.



පොතේ මුල ඉඳලා මැද හරියට යන මම හිතුවා  සර්පයාගේ Sex Life එක ඉවර වේගෙන යනවද කියල. හරියට  ඇරියස් ටික කවර් කරන්න වගේ ඔඵවෙ තියෙන්  ෆැන්ටසි ටික ඔක්කොම ලියවෙනව සර්පයා කන්ද මුදුනට ඇවිල්ලා කියලා මට හිතෙනවා. මොකද මිනිස්සු තමන්ගෙ ලිංගික ජීවිතවල අරම්භය ඉතා තීව්‍ර වාගේම   අවසානයත් ඉතාමත් තීව්‍රයි හරියට වාහනයක එන්ජිමක් පළමුවෙනි පාරට ස්ටාර්ට් කරද්දි රේස් වෙලා ස්ටාර්ට් වෙනවා වගේම නවතින්න ලංවුනාමත් උපරිමය කරා ළගාවෙලා නවතින්නෙ.

ඒත් මම දන්නවා සර්පයා මේ ලිපිය කියවලා මට කියනවා

 ‘නෑ යකෝ දැනුයි එන්ජිම ස්ටාර්ට් වෙන්න පටන් ගන්නේ කියලා’ 

ඊගාවට මැද සිට අවසානයට ළගා වෙද්දි සර්පයත් ගැහැණියක් බවට රූපාන්තනය වනවාද කියල හිතෙනවා.  ඔහුත්  ඔහුගෙ පිරිමි  ආත්මය අතහැර තමන්ගෙ ස්ත්‍රී ශරීරය ව්‍යච්ජේදනය කරනවා. උමයංගනාගේ සංක්‍රාන්තික මුල් ලිංගික අවධිය ඔහුගේ ශාරීරික මානසික වෙනස් වීම පිළිබඳ ඉතාමත් ගැඹුරු කියවීමකට අපව රැගෙන යනවා. ඒක අතිසාර්ථක ලියවිල්ලක්. හරියට ඒ විපර්යාසය අපට සිද්ද වෙමින් යනවා වාගේය යනුවෙන් ගුප්ත හැඟීමක් දැනෙනවා. මේ පොතේ රචනයත් සමඟ ගත කළ අවධිය තුළ ඔහුද මානසිකව සංක්‍රාන්ති ලිංගිකයෙක් වෙන්න ඇති කියලා හිතෙනවා.

හිමිනම සම්බන්ධ කතා පුවතේ දී මම කැමතිම තන්ත්‍රයාන, වජ්‍රයාන බෞද්ධ සම්ප්‍රදායන් තුළ කියවෙන ආශාව පිළිබඳ කියැවීමක් වන ආශාව නිස්සරණය කිරීමට නම් පළමුව ආශාව පරිපූරණය කර ගත යුතුය යන අදහස මතු වනවා. හිමිනම නාතාෂා සමඟ රමණයෙන් පසුව ඔහුගේ බ්‍රහ්මචර්යාව නතාශාට වත් වෙනයම් හෝ ස්ත්‍රියකටවත් බිඳින්න බැරි වීම වගේ.

රජීව් හා උමයංගනා අතර කථා පුවත තුළ පුරුෂ ලිංගය සම්බන්ධ පුරුෂ ෆැන්ටසිය, කුඩා කළ සිට අප මනස තුළ ස්ත්‍රියක පිළිබඳව ඇති කර ඇති ගතානුගතිකත්වය රජීව් හරහා පුපුරා යනවා. තමා සම්ප්‍රදායික නොවේ යැයි පැවසුවත් සම්ප්‍රදායික පුරුෂ මනසෙන් ගැලවෙන්න බැරි වුණ තඩි පුරුෂයාව සර්පයා නැවත වේදිකාවට රැගෙන එනවා. පිරිමි වෙච්ච අපි හැමෝටම ඒ වියමන සමග ලැජ්ජා හිතෙන කම්පනයක් ඇති කරවනවා. 

රජීව් උමයංගනා  කථා පුවතේ අවසානයට මම කමැති නැහැ ඒකත් සම්භාව්‍ය චිත්‍රපටයක වාණිජ අවසානයක් වාගේ.

ඒ මොනවා වුනත් අවසානයේ පොදු අවකාශ ගත මිනිසුන් හැටියට මෙම සංක්‍රාන්ති ලිංගික මිනිසුන් පිළිබඳ කථා පුවත මඟ හැරිය නොහැකි ලෙසට, සමාජය දරන අයුක්ති සහගත අනවබෝධය පිළිබඳ නැවත නැවත  කළඹවන්න, නැවත සිතන්න ‘අර්ධ නාරි  ’තුළින් සර්පයා ගත් උත්සාහය ඉතා සාර්ථක වෑයමක්.




මලින්ද විදානගමගේ


1 comment: