ගොයුම් එවරස්ට් ආරච්චිගේ
සර්පයා, මෙතෙක් ලියූ කෘතීන් අතරින් ඔහු වඩාලාත් ආකර්ෂණීය වන්නේ අවසන් වරට ලියූ සහ ලියමින් ඉන්න ‘මහිලාවංශාවලිය’ට බව පවසා ඇතත් මා වඩාලාත් ආකර්ශනය වූයේ ඔහුගේ ‘නේරංජනේ ඉස්නානේ’ටය. කුමක් දෝ
බැඳීමක් ඒ කෘතිය හා මා අතර ඇත. එය කුමක්දැයි විස්තර කිරීමට නොදනිමි. විස්තර කිරීමට යාමෙන් පලක්ද නැතැයි විටෙක සිතේ. එහෙත් එහි දෙවන මුද්‍රණය එළිදැක්වෙන මේ මොහොතේ ණණ එසේ කළ යුතු යැයි මා සිත පොළඹවයි.
‘නේරංජනේ’ මා පළමුවෙන්ම කියවා දශක
එකහමාරකට වඩා කාලයක් ඉක්ම ගොස් ඇති නමුදු අදටත්
දැනෙන්නේ මුල් කියවීමෙන් දැනුණු හැගීම, දැනීම විතරමය. එහි යම්
සුවිශේෂත්වයක් ඇතැයි මට සිතේ. මන්ද සර්පයාගේ
අනෙක් කෘති ඇතුළු, අනෙකුත් මා කියවා ඇති බොහෝ
කෘතීනගෙන් එය එසේ නොවුණු නිසාය. ඒ ඔස්සේ
‘නේරංජනේ’ සම්බන්ධයෙන් මට මගෙන්ම විමසීමට ඇත්තේ ඉතාම සරල වූ කරුණු කාරණා කිහිපයක් පමණි.
ඇයි මට මේ කෘතිය දැනුණේ?
වසර ගණනාවක් ඉක්ම ගොසින් මා වියපත්ව සිටියද මුල් හැඟුම වෙනස් නොවී ඇයි ඒ ආකාරයන්ම
දැනෙන්නේ? සර්පයා මෙතෙක් ලියා ඇති කෘති අතුරෙන්ද අන් කෘතීන් පරයා, ඇයි මෙම කෘතිය වඩාලාත් දැනෙන්නෙ? ඔය ආදී කරුණුය. කුඩා කලදීම කියැවීමට පෙළඹුණු මා දැනට දශක හතරකට වඩා කාලවකවානුවක් තුළ දහස් ගණනාවක් වූ කෘති සංඛ්‍යාවක් කියවා ඇත්තෙමි. සාහිත්‍ය පක්‍ෂයේ ලා නවකතා ගත්තද සයිමන්ද සිල්වාගේ මීනා ගෙන් පටන් කොට අවසාන වශයෙන් දැනට අසීරුවෙන් වීර්ය දරමින් කියවන්නා වූ ප්‍රභාත්ගේ ‘හිරුත් එක්ක හෙලුවැල්ලෙන්’ දක්වා, දේශීය කෘතිද, විදේශීය කෘතිද අතරින් මතකයෙන් ගිලිහී නොගිය කෘති ඇත්තේ කීයෙන් කීයක්ද? (මතකය යනුවෙන් මා අදහස් කරනුයේ කෘතින්වල නම් නොවේ.)
අවංකවම කිවහොත් කෘතීන් ආත්මයට ජිර්ණය වූ කෘතීන් ඇත්තේ අතේ හා පයේ ඇඟිලි ගණනට වඩා අඩුවෙනි. ‘නේරංජනේ’ ඒ ගොන්නට වැටීම ඉහත මට මතු වූ
පැනයන්ට පිළිතුරකි.
ඊළඟට විමසිය යුතු වන්නේ ඇයි එසේ වූයේ
යන්නයි? එම විමසීමට කළියෙන් සර්පයාගේ ඉතිහාසය ද මදක් විමසිය යුතුව ඇත.
සර්පයාගේ ඉතිහාසය විමසීම හා සාපේක්‍ෂව
‘සර්පයකු හා සටන් වැද’ කෘතිය සමගින් ඔහුගේ ආගමනය සිදු වූ කාලවකවානුව ගැනද විමසා බැලීම වැදගත්. ඒ 70
දශකයේ අගභාගයේ පටන් කොට අසූව දශකයේ මුල
නොයෙකුත් දේශපාලන, දාර්ශනික හා කලාව පිළිබඳ සමාජ කතිකාවක් ගොඩනැගුණු දශකයක ආරම්භය විය. ඒ අතර ස්ත්‍රීවාදි පුරුෂෝත්තමවාදී කතිකාව බලගතුව ගොඩනැගුණ කාලාවකාශයක් ඒක. එම අවකාශයටම තමයි සමන්ද
(සර්පයා) අහුවෙන්නෙ.
ඔය කතිකාවන් හා දර්ශණයන් පයිසෙකට
මායිම් නොකොට හා ඒවාට දායක නොවී, නිර්මාණකරණයෙ යෙදුණු කොටසකුත් සිටියා. සයිමන්/අජිත් අයිති වෙන්නෙ ඒ ගොන්නට. නමුත් සමන් ඊට වඩා වෙනස්. ඔහුගේ පළමු නිර්මාණය වූ ‘සර්පයකු හා සටන්වැද’ කෘතිය ලියැවුණායින් පස්සෙ ඔහු මේ ප්‍රවාහයට අසුවෙනවා. එහෙම අසුවීමට හැකි අයුරින් සංවේදී, උණ තියෙන හා ඒ හින්දම පශ්චාත් අමාරුවෙන් පෙළුණ ඈයින්ට හබක්, උගුල් ඇටවෙනවා සහ ඇටවිලා තියෙන වාස්තවිකයකුත් 80 දශකයේ මුල් භාගයේ ඉඳන් ගොඩනැගෙමින් තියෙනවා. (ඒකෙ එක් දිශානතියක අවසානය තමයි 88 - 89 න් සටහන් වෙන්නෙ)
ඉතින් මේකට සමන් විතරක් නෙමෙයි මමත් ඇතුළු අපේ පරම්පරාවේ හුඟක් ඈයො අහුවෙනවා. ඉනුත් සමන් ඒ තුළ අපට වඩා වෙනස්ව අනන්තයටම ගොස් තැම්බිලා තෙම්පරාදු වෙලා, රෝස් වෙලා, විටෙක කරකුට්ටං වෙලා සෑහෙන කාලෙකට පස්සෙ එතැනින් ‘ජම්ප්’ කරනවා. (නමුත් ඒ ගෙවී ගියේ දශකයකට වැඩි කාලයක්)
මට අනුව නම් ඒක හරි සාධනීය ක්‍රියාවලියක්
ඔහුගේ නිර්මාණාත්මක ජීවිතයට. ඒ කාලාවකාශය තුළ ඔහු
දේශපාලනය කරනවා. ප්‍රේම කරනවා, විවාහ වෙනවා, අත හරිනවා, හැදෑරීම් කරනවා, ඉඳහිට පොතකුත් ලියනවා, විචාර ලියනවා, ආයෙ ප්‍රේම කරනවා ඔය ආදී වශයෙන් තව
බොහෝ බොහෝ දේවල් සිද්ධ වෙනවා.
කොහොමින් කොහොමින් හරි අවසානයේදී එළියට බඩගාපු සර්පයා හුඹහකට රිංග ගන්නවා. තවත්
කාලාවකාශයක් ගත වෙනවා. ඔන්න ආයෙ සර්පයා හුඹහින් එළියට එනවා. ඒ ඇවිත් කරන පළමු වැඬේ හැව අරින එක. (මේ දශක දෙකකට ආසන්න කාලයක්, මුල් වකවානුව තුළ 83 ජුලී කලබලවලින් ඇරඹෙන, අතරමැද 88/89 කැරැල්ලට හසුවන හා යුද්ධයේ උච්චාවස්ථානයතික් හමාර වන කාල වකවානුවක්)
මේ කාලය තුළ දී ඔහුගෙන් බිහිවෙන්නේ එකමෙක නිර්මාණ කෘතියයි. ඒ, ‘එසඳ මම බලා සිටියෙමි’. එම කෘතිය සියුම් විමසිල්ලකට අසුකළොත් ඔබට පෙනේවි අර ඔහුගේ තෙම්පරාදුව. බොහෝ දෙනෙක් සර්පයාගේ කෘති අතරින් වැඩියෙන් ඇළුම් කරන්නේ එම කෘතියට. ඒ ඇයිද යන්න වෙනම විමසා බැලිය යුතු කාරණාවක්.
ඉදින් සර්පයාගේ මේ පළමු හැව හැරිල්ලෙන්
පස්සෙ බිහිවුණු පළමු නිර්මාණ කෘතිය තමයි ‘නේරංජනේ
ඉස්නානේ.’ හරියටම මිලේනියම් ලබනකොට.
නේරංජනේ කෘතිය තුළට මට පිවිසෙන්න වෙන්නෙ යෝනිය හරහා. එතැනදි පුරුෂ ලිංගයන් මුණ ගැහෙනවා.
මොකද යෝනිය හා ලිංගය අතර ඇති සබැඳියාව ආත්මීය බැදීම - සංවාදය - විසංවාදය - ප්‍රතිවිරෝධය හා එය ආගමිකව -දාර්ශනිකව හා දේශපාලනිකව සමාජ දේහයට කර ඇති බලපෑම හා බැඳීම ගැන දාර්ශණික දැක්මක් තුළ මනාව පිහිටා කෙරුණු නිර්මාණයක් හැටියට මේ කොදෙව්ව තුළ මට හිතට කාවදින්නේ නේරංජනේ හන්දා.
සර්පයා ඉසියුම්ව ඒ තැන් ස්පර්ශ කළත් මේක
දැනෙන්නෙ නැහැ බොහෝ දෙනෙකුට. දැනුනත් දැනුණු බව
අඟවන්න පැකිලෙනවා. නොදැනුණා වගේ ඉන්නවා. එහෙම වෙන්නත් හේතු තියෙනවා. ඒක වෙනම කතන්දරයක්. කෙටියෙන්ම
කියනවා නම් සෙනරත් පරණවිතානයන්ට සමහර පුරාවිද්‍යාත්මක සාධක හා සෙල්ලිපි නොදැනුණා වගේ- නැත්නම් නොදැනුණා සේ සිටියා වගේ.
‘නේරංජනේ’ තුළින් මතුවන සර්පයාගේ ටැබාැර රු්ාසබට එක හරි බලගතුයි. කෙනෙකුට හිතෙන්න පුළුවන් (සමන් වික්‍රමාරච්චිට හැඟුණා වගේ) පුරුෂෝත්තමවාදී ලියැවිල්ලක් කියලා. මට තියෙන ප්‍රශ්නය නිර්මාණ කෘතියකින්
පුරුෂෝත්තමවාදය පිළිබිඹු වෙන එක අකැපද කියන කාරණය. ඒකත් හරියට විඥානවාදියකු යැයි හංවඩු ගැසූ
ටෝල්ස්ටෝයිගේ කෘති, ලෙනින් විසින් ‘විප්ලවයේ කැටපත’ හැටියට නම් කෙරූ සුලබ පට්ට ගැසු කියමනක් මතයකට
නැංවෙන තරමටම උත්ප්‍රාසාත්මකයි.
සෑම ස්ත්‍රියක තුළම පිරිමි ආත්මයක් තියෙනවා සේම, සෑම පුරුෂයකු තුළම ගැහැනු ආත්මයකුත්
තියෙනවා. මේ සංසිද්ධියේ මුල පටන් ගැනෙන්නේම ගැබේ කළලයක් හැටියට ඉන්න කොට. මුල් සති කිහිපය ස්ත්‍රී හෝ පුරුෂ නොවී ගන්ධබ්බව සිටින කළලය නිශ්චිත අවස්ථාවකදී වැඩි බර පැත්තට පාවී ගැහැණු හෝ පිරිමි ලාංඡනය උරුම
කරගන්නවා.
මේකත් ඉතිහාසය තුළ සුලබ කතන්දරයක්. පෙර- අපර දෙදිග තුළ මෙසපොතේමියානු - ඊජිප්තියානු, ග්‍රීක හා ඉන්දියානු, චීන ජපන් ශිෂ්ඨාචාරයේ හිද ආගම් හා
දර්ශනයන් හරහා මේක එළියට එනවා. හින්දු දහම තුළ
අර්ධනාරී වී, මහායාන බුදුදහම හරහා එළියට එන්නේ යින්ග්- යැන්ග් හැටියට.
ඉදින් මේ සියලු ආගමික - දාර්ශනික කුණුකන්දල්වලින්
ඔලුව ‘කුරුවල්’ (කුරුවල් යනු මට අනුව සාධනීය ලක්‍ෂණයක්)
කර ගත්තු සර්පයා හරහා ‘නේරංජනේ’ නිර්මාණයක් හැටියට එළියට එනවා. මට මේ මොහොතේ සයිමන්වත් මතක් වෙනවා.
‘භද්‍ර යෞවනයෙන් අතරමංවූ, ආඩ්‍යවූ, විකසිතවූ, අකාලේ මහළුවූ සමන් නමැති කාව්‍යක්කාරය, තොපි කුමක් කියන්නාහුද?’
මතක හැටියට සයිමන් ඒක කියන්නේ ‘නේරංජනේ’ ලියැවෙන්න කළින්.
කොහොමටත් ඉතින් ඔලුව කුරුවල් කරගත්තු
එවුන් තමයි මෙතෙක් ප්‍රකට දාර්ශනිකයෝ කලාකාරයො වෙලා
තියෙන්නෙ. හැබැයි උන් මිය ගිහින් දශක
ගණනාවකට හරි, සියවස් ගණනාවකට හරි තමයි නිසි කියැවීමකට නැත්නම් ඇගයීමකට ලක්වෙන්නෙ. නැවත
යෝනියට ප්‍රවිශ්ට වෙනවා නම්...
පුම-ඉතිරි ලිගු ගත්තම ඉතිරි ලිංගය බලසම්පන්නයි කියන කාරණය පිළිගන්න සිද්ධ වෙනවා. මොකද ඉතිරි ලිගුව ඉදිරියේ පුම ලිංගය ‘සෙකන්ඞ්’ වෙන අවස්ථා බහුලයි මෛථුන ක්‍රියාවලියේදී විතරක් ගත්තත් වුණත්. එයට ඉතාම සරල
හේතුවක් ගැහැණියගේ සුරතාන්තය දීර්ඝ වීම. මේ
කාරණේ තමයි ඉතිහාසය පුරාවටම ඇවිලි ඇවිලී පත්තුවෙන මේ හැම කතාන්දරයකම මුල. මෙය නොසලකා හැර වෙන වෙන
දාර්ශනික කතන්දර හරහා මුදුන් මුල යටපත් කරන්න හැදුවත් සෑම ගැහැනු පිරිමි මිනිස් සබඳතාවයක් තුළම සියුම් හුයක් වගේ ඔඩු දුවන්නෙ මේ කතන්දරේ.
ආගම්වල හැඩරුව තීරණය වෙලා තියෙන්නෙ,
දේශපාලන බල අධිකාරිය ක්‍රියාත්මක වෙන්නෙ සහ එයට
බොහෝ බලවේග විසින් බලපෑම් ඇති කරන්නෙ, සමාජය තුළ ස්ත්‍රීවාදී පුරුෂෝත්තමවාදී කතිකාවක් ගොඩ නැගිලා තියෙන්නෙ, අවසානයේ මේ සියල්ල භ්‍රමණය වී පවුල කියන ඒකකයේ මූලික චලනයන් වෙත බලපාන්නෙ මිනිස් ඉතිහාසය ආරම්භයේ පටන් පැනනැගුණු මේ සංසිද්ධිය හේතු කොටගෙන.
පැහැදිලිවම මෙතැන තියෙන්නේ බලය පිළිබඳ, බල හුවමාරුව පිළිබඳ ප්‍රශ්නයක්. පිරිමි දේශපාලනික හා ආගමික බලාධිකාරීන් සවිඥාණකයිත බැරිවෙලාවත් ස්ත්‍රිය වෙත බලය හුවමාරු වුවහොත් එය උගුලුවා දැමීමට අසීරු අති දැවැන්ත බලවේගයක් වන බවට. පුරුෂ බල අධිකාරියට නතුව
වහලුන් සේ සිටින ස්ත්‍රීන් බෝවී සිටිනවා සේම ස්ත්‍රිය අතට බලය
හුවමාරු වුවහොත් ඒ ස්ත්‍රී බලය අභිමුවේ වහලුන් බවට පත්වන
පුරුෂයන් ඉන් මුදවා ගැනීම ඉතාමත් දුෂ්කර කාර්යයක් වෙන බවටත් ඒ වගේම. ඒකටත් හේතුවන බලගතු සාධකේන්ද්‍රිය වෙන්නෙත්
‘යෝනිය’.
මෙන්න මේ පරම සත්‍යය වටහා ගත් නිසයි බොහෝ ආගම් ‘පිරිමි ආගම්’ බවට පත් වෙන්නේ. මාතෘ මූලික සමාජය ඉතිහාසය තුළ මිහිදන් වෙන්නෙ.
ඉතාම මානවවාදී දහමක් වූ ජෛනාගමේ එකම
තීර්ථකවරියගේ පිළිමයට පුරුෂ ලිගුවක් එල්ලා පිරිමි
තීර්ථකවරයෙකු බවට පත් කරලන්නේ. සියලු සත්ත්වයන්ගේ සමානාත්මතාවය ගැන කතා කරන බුදුදහම තුළට පවා ‘ස්ත්‍රියකට බුදු විය නොහැකිය’ යන සංකල්පය ඇතුළු වෙන්නේ.
ඊට අමතරව විද්‍යාත්මක යැයි සැලකෙන මනෝ විද්‍යාව තුළ හා මනෝ විශ්ලේෂණයේද පැල්ලස (ඡය්කක්ජැ)
සංකල්පය ගොඩ නැගන්නේ. ‘බාබෙල් කොතෙන්’ පටන් කොට මහින්දගේ ‘නෙළුම් කුළුණ’ දක්වා පැල්ලස ආකෘතියේ කුළුණු ඉදිවෙන්නෙ. ආගමික සියලු සංකේතයන් හා ඉදිකිරීම් පුරුෂ ලිංගයේ ආකෘතියට සමපාත වන්නේ.
ප්‍රාග් ඓතිහාසික යුගයේ පටන් අද දක්වා එහි විකාශනය ගැන කප්පරක් කරුණු කාරණා ගොනු කළ හැකි වුවත් සහ එසේ ගොනු කොට ගත්තත්, මැක්කගෙ කතාව වගේ අවසානෙ ඇවිත් නවතින්නේ යෝනිය අබියසට.
යෝනිය හරහා පිරිමි ආකර්ශනය නතු කොට
ගැනීමෙන් පටන් කොට ප්‍රජනන ක්‍රියාවලියෙත්. එතැනදි
පිරිමියාට වඩා බර හා බර දැරීමත්, දරුවකු වැදීමේ ක්‍රියාවලියේදී දරාගැනීමේ හැකියාවෙන් පටන් ගැනෙන හා ඉන් මත්තට ශාරීරිකව හා මානසිකවත් පිරිමියාට වඩා දරාගැනීමේ හැකියාවෙන් සජ්ජිත වීම ආදී ක්‍රියාවලීන් තුළින් අතීතයේ පටන් කොටම පිරිමියා වටහා ගන්නවා ගැහැනියගේ බලවන්තකම.
ඉතිහාසයේ පළමු කැරැල්ල පටන් ගන්නෙ
එතැනින්. ගැහැණියට එරෙහිව පිරිමියා. එහි ඵලය තමයි මාතෘ මූලික සමාජය සුන්නද්දූලි වී යාම. ඒක අවි අමෝරා ගත්තු
කැරැල්ලක්ම නෙමෙයි.
ගැහැනියව මානසිකව යටපත් කිරීම. ඒක
සංවිධානය වෙන්නෙ ආගම් හරහා. පළමුව මනස
යටපත් කර මනස හරහාම කායිකවත් යටපත් කිරීමේ මූලික
ක්‍රියාවලියටත් අඩි තාලම දාන්නෙ ආගම් විසින්. පෙර අපරදිග ආගම් (බුදුදහමේ බෞද්ධ සාහිත්‍යය තුළ පවා) ගැහැනුන් විෂයේ ලා පනවා ඇති ශික්‍ෂාවන්ගෙන් ඒක පැහැදිලි වෙනවා. මෛථුනයේදී ආගම හරහා එන මිෂනාරි ඉරියව්ව තුළ දී පවා කායිකව ගැහැණිය පිරිමියාට යටයි.
ඉදින් අතීතයේ පටන් කොට ආරම්භ වුණු ක්‍රියාවලිය තමයි අදටත් සිදුවෙමින් තියෙන්නේ. ගැහැනිය අසන- දකින- විඳින හා අවසාන විග්‍රහයේදි ගැහැනියගේ රුචි අරුචිකම් ඈ සමස්ත දිවිපෙවතම පිරිමි මොඩලයක් තුළට ගාල් කොට පුරුෂ ලිංග සංකේතය මතු කිරීම. එක සසඟෙදි හැකිලී මැලවී ගුහාගත වන ලිංගය ස්ථාවර වූ ගල් කණුවක් බවට පත් කිරීම. සිව ලිංගය තොල් ආලේපන රැඳවුම දක්වා ව්‍යාප්ත වීම. ලිංගාකෘතික
ගොඩනැගිලි කුළුණු ඉදිවීම. එදිනෙදා භාවිතයට ගන්නා කාන්තාවන් භාවිතා කරන සියලු ආම්පන්නවල මූලික හැඩය පුරුෂ ලිංගාභාෂය ගැනීම.
ඉදින් ස්ත්‍රීවාදීන්, ස්ත්‍රීවාදිනියන් හැදැරිය යුතු ස්ත්‍රියකගේ ඓතිහාසික ස්ත්‍රී භුමිකාව ගැන දාර්ශනික කියවීමකින් සර්පයා සජ්ජිත බව මම මුලින්ම වටහා ගන්නේ ‘නේරංජනේ’
කියෙව්වට පස්සෙ.
ආයෙ ‘නේරංනේ’ට එනවා නම් ඔන්න ඔය ඉහත
සඳහන් කරුණු නිසයි මට කියන්න වෙන්නෙ ‘නේරංජනේ’ ප්‍රවිශ්ට ද්වාරය යෝනිය’ කියලා. ඉදින් ‘සර්පයා’ ඒ ’උතුමඟට ප්‍රවිශ්ට වෙන්නෙ අර මම කලින් කියූ 80 දශකයේ මුල් භාගයේ. ඊළඟට ඒ තුළ තැම්බිලා තැම්බිලා එළියට එන්නෙ මිලේනියම් ලබනකොට.
ඒ හැව ඇරගෙන එළියට ආවට පස්සෙ බිහිවුණු ඒ තැම්බිල්ලෙ, තෙම්පරාදුවේ ඵලය තමයි ‘නේරංජනේ.’
නේරංජනේ තුළින් දාර්ශනික කියවීමකට මට යන්න පුළුවන් වන්නෙත් එම කෘතියට මා වඩාලාත් බැඳෙන්නෙත් ඒ හන්දා....
No comments:
Post a Comment