Friday, October 13, 2017

“ඔල්මාද පරපුර” හා “බඩගිනිකාර පරපුර” සමග නූතන සාහිත්‍යයේ ෂානර විමසමු


කේ.කේ. සමන්කුමාර යනු හිතුවක්කාර  සචින්තකයෙකි. 80 දශකයේ නිර්මාණකරණයට පිවිසි මොහු කෙටිකතා කරණය කෙරෙහි නියුතු වූයේ සම්මතය උඩු යටිකුරු කරමිනි. “සර්පයකු හා සටන් වැද” යනු මෙම විප්ලවකාර චින්තකයාගේ පළමු නිර්මාණ කටයුත්තයි. ඉන් ඔහු ප්‍රකට කළේ නූතනවාදයේ අනුබලයයි. මෙම නූතනවාදී චින්තකයා මෙරට සාහිත්‍යයට එකතු කළ හා එල්ල කළ බලපෑම සිය නිර්මාණ ඔස්සේද සිය විචාර මතවාද ඔස්සේද සක්‍රිය විය.

“සාහිත්‍ය ෂානර විමංසා”  කේ.කේ. සමන් කුමාර විසින් සිංහල භාෂිත  සාහිත්‍ය ලෝකයට මුදා හැරෙන නවතම විමර්ශන ග්‍රන්ථයයි. සිංහල භාෂිත සාහිත්‍ය ලෝකයේ සීමිත රාමු අතික්‍රමණය කරන්නට සහ සිංහල සාහිත්‍යයේ නූතන ප්‍රවණතා වටහා ගන්නට උපකාරී වන අනුබල මෙවලමක් ලෙස මෙම විමර්ශන ග්‍රන්ථය ගැනෙයි. යථාර්ථවාදී ප්‍රතිනිර්මාණ විධි වෙතින් නූතනවාදී රචනා වෙත පිවිසෙනු සඳහා “සාහිත්‍ය ෂානර විමංසා” කෘතිය වටින්නේ කෙලෙස දැයි සැකෙවින් මතු දැක්වෙයි.

නූතනවාදී නිර්මාණකරුවන් සහ ඔවුන් ගේ එම නූතනවාදී කියැවීම් හමුවෙහි පාඨකයා සන්නද්ධ වීම ද අනිවාර්ය අභියෝගයකි. මන්ද යත් නූතනවාදී කලාව ඇසුරු කිරීම දුෂ්කර ව්‍යායාමයක් වන නිසාය. නූතනවාදී කලාව යනු නූතනත්වයේ කලාව ලෙස සැකෙවින් සරලව ගත හැකි වුවද එය එසේ නොවේ. නූතනවාදී කලාව යනු නූතනත්වයේ නාමයෙන් උද්ගත වන්නා වූ ස්වභාවය විමර්ශනයට හා අර්ථකථනයට ලක් කරන කලාවයි. 

සාහිත්‍යයේ ශිල්පීයමය, භාවමය හෝ අන්තර්ගතය මෙන්ම ප්‍රමාණික බව ආදී කාරණා මත නිර්ණය වන ප්‍රවර්ගයන් හෙවත් ෂානරයන් කවරාකාරදැයි “සාහිත්‍ය ෂානර විමංසා’ කෘතියෙන් විමර්ශනයට ලක් කෙරේ. කතුවරයා මෙම ග්‍රන්ථය හඳුන්වා ඇත්තේ ලාංකික සාහිත්‍යකරුවන්  ඉදිරියෙහි පවත්නා අභියෝගයන් ජය ගැනීම කෙරෙහි ආලෝක දහරාවක් එල්ල කරනා සුළු ප්‍රවේශයකින් හෙබි විමසුමක් ලෙසිනි.

මෙම විමර්ශන ග්‍රන්ථයෙහි ඇත්තේ මොනවාද? ලිපි පෙළ ගැස්ම කෙබඳුද? මායා යථාර්ථවාදය මායාභ්‍රාන්තිමය යථාර්ථවාදය  ගේ‍රාටෙස්ක් යථාර්ථවාදය  යන නූතනවාදී සංකල්ප විමසීමට මෙහි මුල් පරිච්ජේද තුන වෙන්වෙයි.

මිනිසා සහ සමාජය තත්ත්වානුකූල ලෙස හා තර්කානුකූල ලෙස නිරූපණය කරන්නාවූ යථාර්ථවාදය විවිධ ප්‍රභේද ගනී. ආශ්චර්ය ජනක හා අද්භූතාත්මක ලෝකයක් චිත්‍රණය කරන මායා යථාර්ථවාදය කුමක්දැයි “සාහිත්‍ය ෂානර විමංසා” කෘතියෙහි දීර්ඝව සාකච්ඡා කෙරේ. මායා යථාර්ථවාදය සමාජ මනස අර්ථකථනය කිරීමට කැපවෙයි. අධි සන්තාවාදයෙන් මායා යථාර්ථවාදය , එනම් ඉන්ද්‍රජාලික යථාර්ථවාදය වෙනස් වන්නේ කෙසේදැයි කතුවරයා තම ලියැවිල්ලෙහි දිගුවට විග්‍රහ කරයි. ලාංකික මායා යථාර්ථවාදයේ  පුරෝගාමියා ලෙස ගෙන සයිමන් නවගත්තේගම ගේ සමාජ මනස කියැවීමේ විලාසය කේ.කේ. සමන්කුමාර ගේ බහුල විමසිල්ලට ලක්වෙයි. මායා යථාර්ථවාදී ලියැවිලිවල දෘෂ්‍යමානයේ දක්නට ලැබෙන මනඃකල්පිත ස්වරූපයට යටින් ගැඹුරු සමාජ සන්තාවන් හා ඓතිහාසික සිද්ධීන් විවරණය වීම සුවිශේෂ ලක්ෂණයකි.

 “සාහිත්‍ය ෂානර විමංසා” කෘතියෙහි විග්‍රහයට ගැනෙන තවත් ප්‍රවර්ග කිහිපයක් මෙබඳුය. “අදහස් නවකතා” නව කතා නොවන නවකතා හා ප්‍රති නවකතා  ඓතිහාසික නවකතාව  යනාදී ප්‍රවර්ග සමග බිට් සාහිත්‍යය  හා ජනප්‍රියවාදී සාහිත්‍යයපිළිබඳවද මෙහි විවරණය කෙරේ. පශ්චාත් සංහාර සාහිත්‍ය  සහ අන්තර් ක්‍රියාකාරී හා සයිබර් සාහිත්‍යය ගැනද මෙහි විමර්ශන ඇත. නූතනවාද කලාව යාන්ත්‍රික ජීවිතය ප්‍රශ්න කරයි. නූතන සාහිත්‍යයද යාන්ත්‍රික වී ඇත. නමුත් නූතනවාදී කලාකරුවාට කලාව වෙළෙද භාණ්ඩයක්වීම නොරිසි වෙයි. සංස්කෘතිය හා වෙළෙඳ‍පොළ මගින් කලාව හුවමාරු  භාණ්ඩයක් වීමේ ප්‍රවණතාවයට ප්‍රතිවිරෝධී ලෙස නූතනවාදී කලාව සක්‍රිය වෙයි.

“සාහිත්‍ය කියන්නේ විසිත්ත කාමර  සාහිත්‍යය නොවේ” යැයි පවසන කේ.කේ. සමන් කුමාර  මෙසේ කියයි.

“මාර්කෝස් තමුන්ගේ කාර් එක විකුණලා ලිව්වා. ඒත් නොබෙල් තෑග්ග බලාගෙන ලිව්වේ නෑ. නමුත්  අපේ රටේ අද නව කතාවක්  ලියන්න හිතන කොටම වස්තු බිජයක් එක්කම තවත් දෙයක්පිළිසිඳෙනවා.ඒ තමයි ස්වර්ණ පුස්තක දොළදුක. මේක හරියට හූනියමක් වගෙයි."

නූතනවාදී කලාව යනු නූතනත්වයේ කලාව ලෙස නොව නූතනත්වය නිසා ඇතිවන තත්ත්වයන් විමර්ශනය කරන කලාවක් ලෙස වටහා ගත යුත්තේ මන්දැයි කේ.කේ. සමන්කුමාර ගේ විග්‍රහයෙන් අවධාරණය කෙරේ. “ඔල්මාද පරපුර අහිමි පරපුර  බඩගිනිකාර පරපුර  යන ෂානර ගැනද මෙම සාහිත්‍ය ෂානර විමංසා  කෘතියෙහි විමසුමට ගැනෙයි. යටත් විජිත නියමයන් විසින් පූර්ව නිශ්චය කරන ලද පාඨකයාට බාධා අභියෝග එල්ලකිරීම බඩගිනිකාර පරපුර නම් වූ ෂානරයෙහි අභිප්‍රාය බව විග්‍රහ කෙරේ.
සයිමන් නවගත්තේගමගේ “සංසාරණ්‍යයේ දඩයක්කාරයා” “දඩයක්කාරයාගේ කතාව, සංසාරයේ උරුමක්කාරයා,  ක්ෂීර සාගරය කැළඹිණි, සාපේක්ෂණී, අර්ජුන කුමාරයාගේ කතාන්දරය, සංසාරණ්‍යය අසබඩ, ස්වර්ණ වන්නියේ වල්ලි අම්මලා යනාදී කෘති සමග ටෙනිසන් පෙරේරාගේ සක්වල දඩයම වැනි කෘති තුළින් මතු කළ නව ආඛ්‍යාන විලාසය කතුවරයා මෙහි විග්‍රහ කරන්නේ බෞද්ධ ප්‍රඥා මාර්ගික සාහිත්‍යය යනුවෙනි. මෙය සුවිශේෂී වන්නේ ලාංකික සාහිත්‍යයටම අනන්‍ය ප්‍රවණතාවක් ලෙසිනි. මෙය අප හඳුනාගත යුත්තේ පශ්චාත් නූතන ප්‍රවණතාවක් ලෙසිනි. කේ.කේ. සමන් කුමාර අර්ථ ගත කරයි. නූතනවාදී කලාකරුවා සමාජ යථාර්ථය දෙස බලනුයේ විවේචනාත්මක දෘෂ්ටියෙන් බව වටහා ගන්නට මෙම නව ෂානර විමසුම භාවිතයට ගත හැක.

අජිත් ගලප්පත්ති -ලක්බිම

No comments:

Post a Comment