Friday, October 13, 2017

සර්පයා ලියන්නේ අනෙකෙකු උදෙසා නොවේ.

අහිමි වූ පිළිගැනීම 



පසුගිය දිනෙක හිරුත් එක්ක හෙලූවැල්ලෙන් නම් නවකතාව දොරට වැඞීමේ දී උපුල් ශාන්ත සන්නස්ගල ඇතුළු තවත් කීප දෙනකු කතා කර තිබිණි. අනෙක් අය එම නවකතාව අරබයා කුමක් කියා තිබුණේදැයි මම නොදනිමි. එහෙත් සන්නස්ගලගේ කතාව තැනින් තැන පළ විය. ඔහු කේයස්ගේ උගත්කම නමැති කවි පෙළ ද උපුටා දක්වමින් කියා තිබුණේ එය කියවිය නොහැකි නීරස නවකතාවක් බවය.
මේ කතාව අසද්දී මගේ මතකයට නැඟුණේ [මගේ පොත් ගුලෙහි ද ඇති] ජේම්ස් ජොයිස්ගේ Finnegans wake නමැති නවකතාවයි. මේ නවකතාව කියවා ලැකාන් ජොයිසියානු සින්තෝමය සොයා ගනී. ඇත්ත! Finnegans wake කියවීම දුෂ්කරයි තමයි. ජොයිස්ගේ Ulysses  කියවා ඇති කෙනකු සොයාගත හැකි වුවත් Wake කියවූ කෙනෙකු සොයා ගැනීම නම් පහසු නැත. මගේ කල්පනාව ද මේ කරදර ටිකක් පහවූ පසුව පසෙකට වී මේ පොත කියවා අවසන් කිරීමටය.
සන්නස්ගලගේ ප‍්‍රශ්නය [පොතක් කියවීම දුෂ්කර යයි නඟන මැසිවිල්ල] අපට තේරුම්ගත හැකි ප‍්‍රතිකර්මයක් මම යෝජනා කරමි. ඇත්තටම නම් මෙය යෝජනා කරන්නේ මා නොව ලැකාන්ය. ජොයිස්ගේ Finnegans Wake අරබයා ලැකාන් කියවන්නියට මෙසේ යෝජනා කරයි.
.. Finnegans wake හි පිටු කීපයක් එහි අර්ථය අවබෝධ කර ගැනීමේ වෑයමකින් තොරව කියවාගෙන යන්න. එය එය විසින්ම කියවන බවක් ඔබට දැනේවි. එය, එය විසින්ම කියවනවා යයි කියන්නේ එය කියවද්දී කෙනකුට එය ලියූ කෙනාගේ ප‍්‍රමෝදය Jouissance දැනෙන බවය. අප පුදුම වන්නේ ජොයිස් මේ පොත පළ කළේ මක්නිසාදැයි කල්පනා වීමෙනි.”
– ලැකාන්ගේ Joyce the Symptom සම්මන්ත‍්‍රණය
ලැකාන් මේ කියන්නේ කුමක්දැයි හරියටම වටහා ගැනීමට නම් ඔහු හෙගල්ගෙන් ඛණ්ඩනය වන තැන සලකුණු කළ යුතුය. හෙගල්ට අනුව මනුෂ්‍ය ජීවිතය ශිෂ්ටාචාරය, ජාතිය, කලා නිර්මාණ ආදී වූ සියල්ලම පදනම් වන්නේ අනෙකාගේ පිළිගැනීම Recognition සඳහා යන ගමනකි. එනම් යම් කලා නිර්මාණයක් කිරීමෙන් අප ඉල්ලා සිටින්නේ පිළිගැනීමය.
එයට ප‍්‍රතිවිරුද්ධ ලෙස ලැකාන් ආසාව රඳාපවතින්නේ පිළිගැනීම මත නොව ක්ෂුද්‍ර ඒ වස්තුව (Objet Petit a) මත බව පවසයි. එනම් ආසාවේ ගමන් මඟ අවසන් වන්නේ විනෝදයෙනි. නැත්නම් වේදනාත්මක සතුටකිනි. හෙගලියානු පිළිගැනීමේ එල්ලය මහා අනෙකාය. (Big Other) ඉන් අදහස් වන්නේ සියලූ වටිනාකම්, දෘෂ්ටිවාද සහ සමාජ ක‍්‍රියාකාරකම්ය. ලැකාන්ට අනුව මිනිසා කලාව හෝ දේශපාලනය කරන ගමන්මෙඟ් අවසානය විනෝදය මිස අන් කිසිවක් නොවේ. ජොයිස්ගේ Finnegans Wake කියවන විට එය ලියන කෙනාගේ ප‍්‍රමෝදය අපට දැනෙන බව කීමෙන් ලැකාන් අදහස් කරන්නේ එයයි.
සමකාලීන ලිවීම තුළ පිළිගැනීම පිළිබඳ අපේ කතාව පැවතුනත් එය කිසිවක් සඳහා  නොවේ. අපට නිරන්තරව අත්දකින්නට ලැබෙන්නේ ඉවර නොවන ලියවිලිය. මෙම ලිවීම්වල අපේක්ෂාව පිළිගැනීම නොව විනෝදයයි. ඔවුන් ලියන්නේ අනෙකෙකු උදෙසා නොව තමා වෙනුවෙනි. විනෝදය යනු දෘෂ්ටිවාදයක් නොවේ. විනෝදය යනු ආචාර විද්‍යාත්මක කිසිවකි. එහෙයින් එය ඥාන විභාගාත්මක වන්නේ නැත. සරලව කිවහොත් සමකාලීන ඉවර නොවන ලියවිලි මඟින් අර්ථ ජනනය කිරීමට අපේක්ෂා නොකරයි. ඔවුනට අවශ්‍ය ඔහේ දිගින් දිගටම ලිවීමටය.
ආශාව හඹා යන්නේ ආශාවේ වස්තු හේතුවයි. (Object Cause of desire) එය කෙළවර වන්නේ බාහිර වස්තුවක් හමුවීමෙන් නොව තමාම වස්තුවක් ලෙස ගැනීමෙනි. මෙය හඳුන්වන්නේ ආත්මරාගය (Narc – ism) වශයෙනි. වෙනත් ලෙසකින් කිවහොත් එම ලිවීමේ පාඨකයා ලේඛකයාමය. තමාටම කියවීම සඳහා ඔවුහු ලියති. නිදසුනක් ලෙස ගතහොත් ස්වර්ණා පිළිබඳ ලියද්දී ඩෙලූස් ඈඳාගෙන තිබීම ගත හැකිය. ඩෙලූස් යනු සිනමාව චින්තනයක් ලෙස ගෙන විස්තර කරන්නෙකි. (Cinema and Image) ඉන් අදහස් වන්නේ බාහිර සබඳතාවකින් තොරව සිනමාවටම සිතිය හැකි බවය. එවැනි ලිවීමක් සහ ස්වර්ණා අතර සබඳතාව කුමක්ද?
ජොයිස් ලිව්වේ පිළිගැනීම උදෙසා නොවේ. ශාස්ත‍්‍රවන්තයන් තමාගේ පොත ගැන තවත් අවුරුදු සියයක් කතා කරනු ඇතැයි ඔහු අපේක්ෂා කළේය.  ඉන් ඔහු බලාපොරොත්තු වූයේ පිළිගැනීම නොවේ. වර්තමානය වන විට අපේ ජීවිතය මනින මිම්ම අවසන් වී ඇත. එය අප හඳුන්වන්නේ මහා අනෙකා (Big Other) ලෙසය. මහා අනෙකා නොපවතින බව දන්නා බැවින් සර්පයා ලියන්නේ අනෙකෙකු උදෙසා නොවේ. තමා පිළිගැනීමට තරම් වන විචාරකයකු නොමැති බව ඔහු හොඳින්ම දනී.  එසේ නම් තමා ගිනිගෙන දැවෙන මොහොතේ ඔහු පිළිගන්නා එකම විචාරකයා මමද?
එක්තරා ආකාරයකින් සමකාලීන ලිවීම් තුළ පරාවර්තනය වන්නේ අහිමි වූ පිළිගැනීමය. සමහරු අද නවකතා යනුවෙන් ලේබල් ගැසූ පොත් ගෙඩි පළ කරති. ඒවා කෙනකු කියෙව්වත් නැතත් ඔවුනට කමක් නැත. දොරට වැඩුමක් පවත්වා තිබුණත් ඒවා පිළිගන්නා ලෙස ඔවුහු නොඉල්ලති. පාඨක සමාජයට වැදගත් කිසිවක් අනවශ්‍ය බව ඔවුහු දනිති. සැබැවින්ම ලිවීමක දී වැදගත් වන්නේ පිළිගැනීම නොව විවේචනයයි.
සන්නස්ගල හිරුත් එක්ක හෙලූවැල්ලෙන් නමැති නවකතාව නීරස පල් හෑල්ලකැයි කියන විට අහිමි කරන්නේ එය ලියන ලද තැනැත්තාගේ විනෝදයයි. කියවා නොමැති බැවින් එය කවරාකාර වූ පොතක් දැයි මම නොදනිමි. එහෙත් සන්නස්ගල අනෙකාගේ විනෝදය අහිමි කිරීම  තුළ විනෝදය සොයයි. ආචාර විද්‍යාත්මක යන්නෙන් ලැකානියානු ආර්ථය එයයි. එය මාරාන්තිකය. අද තිබෙන්නේ අර්ථය සමඟ බැඳුණ ලියවිලි නොවේ. කිසියම් ලිවීමක අර්ථ සෙවීම නිරර්ථකය. මේ තරම් දිගින් දිගට පුවත්පත් සඳහා දීර්ඝ ලිපි ලිවීමට බොහෝ අයට හැකි වී තිබෙන්නේ ඔවුන් ලියන්නේ අනෙකා සඳහා නොව තමා සඳහා පමණක් වන බැවිනි.
සර්පයා මහිලාවංශය යනුවෙන් පොතක් ලිව්වේය. මාධ්‍ය සහ මුහුණුපොත එයට කවර ප‍්‍රචාරයක් ලබා දුන්න ද එය කියවූ කෙනකු නැත. එසේ වන්නේ අන් කිසිවක් නිසා නොව එය ලියා තිබෙන්නේම අනෙකාට කියවීම සඳහා නොවන බැවිනි.
පොතක් කියවිය නොහැකි නීරස පල් හෑල්ලකයි කියන්නා ඉල්ලා සිටින්නේ තමා පිළිගන්නා ලෙසය. ඔහුට ඇති ගැටලූව නම් මහා අනෙකා තවදුරටත් නොපවතින බව නොදැනීමය. මේ සියල්ලේ අවසානය විනෝදය මිස අන් කිසිවක් නොවන බව ඔහුට නොවැටහේ. එබඳු ලිවීමක් පරම විචාරයක් (Absolate Criticism) ලෙස හැඳින්විය හැකිය.
ඉතාම සරලව කිවහොත් ලිවීම තුළ සමකාලීනව සිදු වන දේ නම් තමා ලියන්නේ කුමක්දැයි තමාම නොදැන සිටීමයි. එවිට ඔහු ලියන්නේ තමාගේ වින්දනය සඳහාය. මුහුණුපොත විකාර ලියන්නා වුන් ඒවා ලියන්නේ තමාගේම කියවීම පිණිසය. ඔවුහු කිසිවිටෙක තමා ලියන දේ පිළිගන්නැයි අනෙකාගෙන් ඉල්ලා නොසිටිති. සමකාලීන ලිවීම්   නාසිස්මික වූ ව්‍යාපාරයකැයි අප පවසන්නේ එබැවිනි. ඉන් ගම්‍ය වන්නේ රෝග ලක්ෂණයක් ලෙස තමාටම ආලය කිරීමයි. එය ව්‍යාධිමය ආත්ම රාගයයි. (Pathological Narc ism)
සමන් වික‍්‍රමාරච්චි

No comments:

Post a Comment