Thursday, October 12, 2017

මහිලා වංශය කියෙව්වද?

මහිලාවංශය කියෙව්වද? කියවා අවසන්ද? කියන එක මටම ගැටළුවක්. කවුරු හරි ඒකෙ කතාව මොකක්දැයි? ඇසුවොත්, ඒක සාරාංශ කරන්න මම දන්නේ නැහැ. ඒ පොත මොනවගේද? ඇහුවත්, දෙන්න උත්තරයක් නැහැ. එයට සම කරන්න පුළුවන් වෙනත් පොතක් මම කියවලා නැති නිසා වෙන්න පුළුවන්. නිසැකවම මෑත කාලයේදී වැඩිම වෙහෙසක් දරා කියවපු පොත. භාෂාවේ ගැටළුවක් හෝ ලිවීමේ රටාව ග්‍රහණය කරගැනීමේ අපහසුතාවයක් නිසා නොවෙයි පොත පුරා විසිරී පවතින කරුණු විසින් මගේ ජිවිතයේ කරනලද සියළු කියවීම් ප්‍රශ්න කල නිසයි. 
දැන් කිසිවෙක් මේක කියවන්න බැරි පොතක් ලෙස නම්කළ යුතු නැහැ. නමුත් තරමක ආයාසයක් දැරියයුතුයි. මා වැනි කියවන්නන් වෙනුවෙන් ඒ සඳහා පිට පොත නමින් අට්ඨ කතා ද ටිප්පණි ද යොදා කියවා තේරුම්ගත හැකි තත්වයට පත් කොට ඇති නිසා ආයාසයකි වුවද කියවිය හැකියි. මවිසින් ඉහත සඳහන් කරනලද ආයාසය නම් වරින් වර මෙකි අට්ඨ කතා සහ ටිප්පණි වෙත යොමුවෙමින් මිස පොත කියවීම කල නොහැකි වීමයි. කොපමණ වාරයක් එම සටහන් වෙත යොමුවේද යන්න අප අපේ ජීවිතය තුල මෙතක් කල කියවීම් වල තරම පරික්ෂාවට ලක්කිරීමක්. 
මේ පොත ගණිතය වගෙයි, කවුරු හරි ඇහුවොත් මේ යැයි කියන්න පුළුවන් කමක් නැහැ නමුත් වටහාගන්න පුළුවන්. කතුවරයා විසින් වටහාගත් හෝ අත්විඳි තත්වයන්, ඔහුගේ කියැවීම් ඔහුගේ රුචිකත්වයන් යන එකී මෙකී සියල්ලේ සංකලනයක් එම නිසාවෙන්ම මෙහි වපසරිය සියළු බොහෝ පැති ආවරණය කරනවා. ඒ නිසා පොතේ තැන් තැන් වලදී අපිට අපිවම හම්බවෙනවා, ඉතිහාසයේ නැවත සිදුවීම් විස්තර කරනවා, අපේ සාහිත්ය කලාව ආදී දෑ කතුවරයාට දැනුණු විදිහ හෝ ඔහු කියවපු විදිහේ ඔහුගේම ආත්ම ප්රකාශනයක් වගෙයි.
කතුවරයාගේ සංවේදනයන් දැක්වීමට ඔහු චරිතයක් ලෙස මෙහි පෙනී සිටිනවා ඔහු කාන්තා චරිතය කුවණ්නාව ගෙන ආවත් මේ දෙකම ස්ත්රී හා පුරුෂ රූපකයන් පමණක් බවයි මට හැඟුනේ ඒ විටින් විට සියළුම පිරිමින් සහ ගැහැණුන් බවට රූපාන්තරණය වෙමින් ඔහු කියන කතාව අපට කියවිය හැක්කේ යටිපෙලින් පමණයි. එබැවින් අයෙකුගේ කියවීම අනෙකාගෙන් වෙනස් වේවි. ස්ත්රී පුරුෂ ශරීරාංග සහ වදන් භාවිතය ඇතැම් විට කෙනෙකුන් මෙය කියවීමෙන් ඈත් කරන්න පුළුවන් නමුත් මෙය කිසිසේත්ම අවර ගණයේලා සැළකිය හැකි කාම කතාවක් නොවෙයි. තම තමන් පිහිටුවාගෙන ඇති සදාචාර රාමුවෙන් මෑත්ව කියවාගත හොත්, ඉහත කී වදන් භාවිතය සහ ස්ත්රී පුරුෂ ශරීරාංග, නිතර නිතර භාවිතාවන මෛතුන්ය ජවනිකාවන් යන සියල්ල සමස්ත චිත්රය එල්ලා තැබීමට භාවිතකරනලද රාමුව විනා කිසිසේත්ම චිත්රය නොවන බව පැහැදිලිවේවි. 
තනියම කියවන පිස්සෙකුගේ දෙඩවිල්ලක් වගේ කෙනෙකුට දැනෙන්න පුළුවන්, තව කෙනෙක් අසහනයෙන් පෙලෙන්නේකුගේ ලියවිල්ලක් කිව්වත් පුදුමයක් නැහැ ඒ මෙහි යටිපෙළ කියවාගත නොහැකිවුවොත් ලැබිය හැකි සුලභ ප්රතිචාරයන් නමුත් එය සැබවින්ම ගැඹුරුයි. විවිධ වූ දර්ශනයන්ගෙන්, පුද්ගල චරිත, ඉතිහාසය, දේව කතා, ජනශ්රුතිය ගෙන කරන මේ ගැළපීම සාමාන්ය කාර්යයක් නොවෙයි. එය කිසිසේත්ම සාමාන්ය ලියවිල්ලක් නොවෙයි. මේක මහා කියවීමක ප්රතිපලයක් බව පැහැදිලියි. එබැවින් මා වැනි සාමාන්ය කියවන්නකු මෙහි හැඩ තල නිවැරදිව හඳුනාගනීද? 
කිසියම් පොතක් කියැවූ පසු තවත් පොතකට හෝ කිහිපයකට යොමුවීමක් පොත තුලින් ලැබුනත් මේ පොත කියවීම තවත් පොත් රාක්කයක් කියැවීමට තිබෙන බව ඒත්තු ගන්නාවි. සමහර විට මෙච්චරකල් මොනවාද කියවල තියෙන්නේ කියල හිතේවි. මට හිතුනේ එහෙමයි.
එකදිගට ගලා යන කතාවක් නොමැති නිසාත්, පොතක් කියවීමට සාමාන්යයෙන් අනුගමනය කරන්නාවූ ක්රමයට මේ පොත කියවීමට උත්සාහ කළහොත් නීරසයැයි කියා පසෙක තැබීමට ඉහල සම්භාවිතාවක් පවතින නිසාත්, පොත නිකුත්වූ අවදියේ ඒ වෙනුවෙන් සටහන් එක්කළ අයවලුන් දිව උළුක්කු වෙන වචන ගොණු කල නිසාත්, පෙළ උපුටනයන්හිදී චිත්රය වෙනුවට රාමුව උපුටා දක්වමින් පාඨකයන් පිරිසක් පොතෙන් බැහැර කරවූ නිසාත් මෙය බහුතර පාඨකයන් ආකර්ෂණය කරගැනීම සම්බන්ධයෙන් සැකයක් පවතියි. අත්පිටපත් ළිප දමා පිළිස්සීමක් මෙහි සඳහන් වෙයි, ලිවීම් කෙතරම් ගැඹුරු වුවද එය පාඨකයන් වැළඳ නොගනී නම් තේරුමක් නැත. ලිවීම සඳහා වැව් වරයන් ද ගම් වරයන් ද රජුන් විසින් ප්රධානය නොකෙරෙන නිසා ලිවීම ඉදිරියට ගෙනයාමට පොත් ජනගත් වීම අවැසිය. ඒ වෙනුවෙන්, විසල් කියවීමක් සහිත වුවන් ඔවුන්ගේ අදහස් සහ කියවීම් ගොණුකරයිනම් එය අප වැනි කියවන්නන් හට කියවීම පහසු කිරීමට හෝ කියවුවන්හට සිය කියැවීම් තහවුරු කර ගැනීමට පහසුවක් වේවි. නමුත් මේ දක්වා එවැනි කියවීම් හමුවුයේ ස්වල්පයකි. සත්හඬ පුවත්පතේ පළවූ එවැනි එක් කියැවීමක් 422-423 පිටුවලින් චිත්රණය කරන්නාවූ නාරි රුවක් වටා ගොඩනැගුණි. එම රුවද මේ කාලයට ගැලපෙන රුපකය විය හැක. 
මා වඩාත් ප්රියකළේ මෙහි එන විකල්ප කියවීමය (කතුවරයා ඉතිහාස, ජන්ශ්රුතිය දකින ආකාරය) ඔහු ඉතිහාසය ගළපමින් නුපන් අනාගතය ඉදිරියේ තබනාවූ නඩු නිමිති විනිශ්චය කියවන්නන්හට බාරය. වාසනාවකට හෝ අවාසනාවකට මුහුණු පොතේ සැරිසරන ෆොටෝෂොප් ඇඩ්මින්වරු පොත කියවන්නේ නැත නැතහොත් කතුවරයාට ඔහුගේ විකල්ප කියැවීම් වෙනුවෙන් මඩ පොස්ට් ඇතිපදම් නිර්මාණය වනු ඇත. 
මට තිබෙන විවේචනයන් වන්නේ මේ පොතෙන් සියළුම මිනිසුන් හා ගැහැණුන් ආවරණය වෙද්දී පොතේ වපසරිය සියළුම අංශ වෙත ගලා යද්දී සිද්දීන් අතර සම්බන්ධය කියවන්නන් තුළින් ගිලිහි යාමයි. පොත් හයකින් යුතු ලියවිල්ලක ආරම්භක පොත නිසා මෙය ඉදිරියට ඒමට නියමිත පොත් පහේ සංකලනයක් ද විය හැක එසේ වුවහොත් මේ චෝදනාව තේරුමක් නොමැත. අනෙක් කරුණ පොත මගින් සියල්ල ආවරණය කරන්නට යාමෙන් අච්චාරු වී ඇත්දැයි එන සැකයයි, වඩාත් විස්තරාත්මකව පහදමින් ආවරණ පරාසය හැකුළුවේ නම් වැඩි පිරිසකට ග්රහණය කරගත හැකිව තිබුණි. 
කිසියම් කෙනෙකු පොත කියවීමට දෙගිඩියාවෙන් පසුවන්නේනම් පළමුවෙන් පිට පොත නමින් වන අට්ඨ කතා ද ටිප්පණි ද කියවන්න. එය කියවීමට උත්තේජනයක් සපයාවි, එම “පිට පොත” සම්පාදනය වෙනුවෙන් Hashitha Abeywardana අයියාට ප්රණාමය දැක්විය යුතුයි නොඑසේනම් කියවීම සැබෑම සිහිනයක්.

මදුෂ් රංගන 

(උපුටා ගැනීම පොත් කියවන අය)

No comments:

Post a Comment