Friday, October 13, 2017

අළු කෙසෙල් ගස යට පුදසුනකි



බාසුරු ජයවර්ධන

නේරංජනය යනු මා දකිනාකාරයට සංසාරය පිළිබඳව වූ රූපකයකි. මෙම රූපකය බුදුන්ගේ බුදුවීම හා සම්බන්ධ වනුයේ ගලා යන ගං දියක ජලය අනිත් අතට ගමන් කිරීම තුළිනි. එහිදී පැන නැගෙන සංකේතීය අර්ථය අනුව කාලීන දර්ශනවාදයන් බැහැර කරලීම පිළිබඳව බුදුදහම
අලංකාරයෙන් යුක්තව ගෙන ආ භාණකයන් අතින්
සිදුවූවක් බවට උපකල්පනය කළ හැක. නමුත් එය මනා සේ
නිර්මාණාත්මකය. කේ. කේ. සමන් කුමාර විසින් රචනා කරන ලද ‘නේරංජනේ ඉස්නානේ’ යන කෘතිය අතිශය
සංවාදයට, ලාංකීය ආගමික ප්‍රජාව තුළ කථිකාවට බඳුන් වූයේ එහි
සඳහන් වන්නේ ගැහැණියකගේ බුදුවීම පිළිබඳව වූ
නිසාවෙනි.

නමුත් අප ප්ලේටෝ දෙසට පිය නගන්නේ නම්
ඇරිස්ටොෆානීය ප්‍රේමවන්තයා ප්‍රේමය පිළිබඳව තම
සංවාදයේදී පුද්ගලභාවය ලිංගිකත්වය අනුව කොටස් තුනකට වෙන් කරනු ලබයි. එනම්, පිරිමි පිරිමි, පිරිමි ගැහැණු, ගැහැණු, ගැහැණු. මෙහිදී ස්ත්‍රීත්වය යනු අප තුළම පවත්නා ඇනීමාව හා ඇනිමසය සම්බන්ධ කාරණයකි. ඇනීමාව හා ඇනිමසයට අනුව පුද්ගලයා මනෝභාවික තලයකින් ද්වි ආකාරයෙන් ක්‍රියා කරනු ලබයි.  මෙම සංකේතීය වටිනාකමකින් හෙබි දීර්ඝ ලෙස විස්තර නොවූ අපගේ ප්‍රවේශය තුළදී සඳහන් කළ යුතු විශේෂතම කාරණය දැන් මම මෙසේ දක්වමි.

සර්පයාගේ ‘නේරංජනේ ඉස්නානේ’ මහා ලොකු
වියවුලක් වන්නේ පුරුෂත්වයට (පුද්ගලත්වයට) ළඟා කරගත හැකි උත්තරීතරත්වය වූ බුද්ධත්වය ගැහැණියකගේ
භූමිකාවකින් නිරූපණය කිරීම තුළිනි. නමුත් ඉහත අප විසින් සඳහන් කරන ලද ඇනීමාව ඇනිමසය යනු කරුණුවල සිට ඇරිස්ටොෆානීය සිම්පෝසියමය කතා බහ අනුව බලන කල මේ කෘතිය තුළ ඇති නැවුම් බවකුත් නැති තරම්.

මන්ද ගෞතම බුදුන්ගේ ස්ත්‍රී ගති ලක්ෂණ හා වක්කලී බුදුන් සමග ඇති වූ සංවාදය අනුව බිහි වූ සමරිසිභාවය පිළිබඳ අදහස් අනුව බලන කල මෙය වැදගත් වන්නේ
වත්මන් මොහොත තුළ සමන් කොයිතරම් දුරට තමා තුළ පවතින ස්ත්‍රීවාදී හැඟීම පුරුෂ උත්තරීතර භාවයට සමාන කරන්නේද යන්නයි. එනම් බුද්ධත්වයයි. එක්තරා කෙටිකතා වකට අපි සාත්‍රේ ගාවට පොඞ්ඩකට ගියොත්, සාත්‍රේගේ දර්ශනයේ අවසාන හරය වශයෙන් ගනු ලබන්නේ පුද්ගල නිදහස හෙවත් ස්ච්ඡන්දතාව ඉතා ප්‍රබල සාධකයක් බවයි.

ඉතිං, මෙම ප්‍රවේශය හරහා අපි සමන්ගේ
කෘතියේ අන්තර්ගතය දෙසටත් යොමු වෙමු. ඊට මඳකට කොමාවක් දමන්නේ නම් මේ ටිකත් කිව යුතුමය.
ලැකානියානු මහා අනෙකාගේ බිඳ වැටීම හරහා ඇති වනු ලබන කාංසාව මඟ හරවා ගැනීමට අපි කුඩා කුඩා
ගුරුවරුන් වෙත යොමු වනු ලැබේ. මන්ද මහා ආඛ්‍යානයක්
හෝ මහා අනෙකෙකු නොමැති බැවිනි. ඉතිං
සමන්ගේ ගුරුවරයා ඔහුගේ ශෘංගාරාත්මක අවධියයි. එහිදී ඔහු
ආචාරධාර්මික අවධියට ඒමට මොහොතකට හෝ සිතා
නොමැත.

කෘතියේ පිටු පෙරළීමේ සිටම සමන්
පාඨකයාව කෘතිය තුළට ඇඳ බැඳ තබා ගනී. ඉතිං සමන්ගේ
පරිකල්පනය මෙහිදී ඔහුට කුඩා ගුරුවරයෙකු වී ඇති අතර එය නිර්මාණාත්මක භාව ප්‍රකාශනයක් හරහා සමන්
මෝචනය කරනු ලබයි. නමුත් අප විසින් අමතක නොකළ මනා දෙයක් ද තිබේ. එනම් මෙම කෘතියේ සමන් ස්ත්‍රිය හා
ස්ත්‍රීවාදය පිළිබඳව මෙවැනි යමක් ලියා තිබීමයි.

“මම සාංකාවෙන් ඈ දෙස බලා උන්නෙමි.
එක්වරම යම් සිතුවිල්ලක් විදුලියක් සේ මා සිත කිලිපොළමින් ප්‍රාදූර්භූත විය.  ඇය බුදු වන්නට පෙරුම් පුරමින් සිටී. මගේ ඇස් ඉදිරියෙහි ශිෂ්ඨාචාරයේ සළු පිළි උනා උපන් ඇඳුමින් සැරසී ඈ - අනාගත බුදුවරියක් වැතිර සිටී.”

මෙහිදී ස්ත්‍රීවාදය පිළිබඳව සමන්ගේ ප්‍රතිජනනාත්මක පරිකල්පනය විදහා දැක්වේ. අප කවුරුත් දන්නා පරිදි ලාංකීය ස්ත්‍රීවාදී කථිකාව යෝනියේ සිට ගර්භාෂය දක්වා ඔඩු දුවනු ලැබූවකි. 20 වෙනි සියවසේ අග භාගය තුළ ගොඩ නැගුණ ස්ත්‍රීවාදයට ප්‍රමුඛ තැනක් හිමි වුණි.

මෙවැනි ස්ත්‍රීවාදීන් අතර නැන්සි ලින්ඩා, ලීලා ඩුබේ, සුසාන් විශ්වනාදන් මෛත්‍රී චෞද්‍රි යන අය උදාහරණ වශයෙන් දැක්විය හැක. නමුත් මෙරට තුළ
ස්ත්‍රීවාදය පිළිබඳව කථිකා නිර්මාණය කළ දීප්ති සහ රොහාන්
ඔවුන්ගේම පුද්ගලික සබඳතා මත මෙම වාදයට දාර්ශනික පදනමක් වෙනුවට පෞද්ගලික වියවුලක් ඇති කරගත්තෝය. එය අප වරද්දා ගත් නමුත් සමන් විසින් නිවැරදි කිරීමට කරනු ලැබූ නිර්මාණාත්මක ප්‍රවේශයක් වශයෙන් “නේරංජනේ
ඉස්නානේ” හැඳින්විය හැක. යෝනියේ සිට ගර්භාශය දක්වා වූ සංවිධානය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තෙක්ම ඇදී ගියේය.

ඉහත මා විසින් උපුටා දක්වන ලද කෘතියේ උධෘතය  හා එම උධෘතයට පසුව එන වාක්‍යය සමන් තුළම පවතින පුරුෂාධිපත්‍යය අවිඥාණිකව එළි දැක්වීමකි. අවරෝධිත
මිනිසුන් වශයෙන් කොටසක් සිටිනු ලබන අතර සමන් ඉහත උද්ධෘතයට පසුව මෙසේ සඳහන් කරන්නේ ඔහු තුළම පවතින අවරෝධිතභාවය (සමස්ථ ස්ත්‍රිය කෙරෙහි) යැයිද කියා වරෙක සැක සංකා පහළ වේ. මන්ද මෙය ලියවෙනුයේ ඔහුම පවසන පරිදි බතේ ගල් හැපෙන්නට ගත් කාල වකවානුවේදීය.

ඉහත එසේ උධෘතයේ උක්තාකාරයෙන් පරිකල්පනය කරන සමන්ම එයට පසුව මෙසේ ද ලියනු ලබයි.

“මට පුදුමයි මට දැනිච්ච දේවල් ඔයා කොහොමද මෙහෙම ලිව්වෙ කියලා. මේක  කියෝන අය හිතාවි ඔයා මාර ස්ත්‍රීවාදියෙක් කියලා. ඈ නොකියා කියූ දෙය මෙය විය...”
මෙම අවස්ථාව නෛසර්ගිකවම සමන් තුළ ස්ත්‍රිය
කෙරෙහි ඇති හුදු අපේක්ෂාභංගත්වය හෝ පුරුෂවාදී උත්තමභාවය ක්‍රියාවට නැංවීමක් වැනිය.

කාල් ගුස්ටාව් යුං 1900 දී පමණ ෆ්‍රොයිඞ්ගේ
කෘතියක් වන ‘සිහින විග්‍රහය’ පරිශීලනය කර තිබේ. යුං මෙම
අවස්ථාව හරහා ෆ්‍රොයිඞ් සමඟ යම් දුරක් එකට ගියේය. එය එසේ වුවද ෆ්‍රොයිඞ්ගෙන් වෙන් වෙන්නට තීරණයක් කාල් යුං විසින් ගනු ලැබුණි. ඉන් පසුව ඔහු ලොවට වෙනත් සංකල්ප ගෙන ආ අතර සාමූහික යටි සිත මෙයින් ප්‍රධාන වේ. සමන් කුමාර මෙම නවකතාව හරහා සාමූහික යටි සිතෙහි ඇති එවැනි ආකාරයේ ගුප්ත විස්වාස, සිහින සහ ජනප්‍රවාද භාවිතා කරනු ලබයි. නමුත් මෙහි වූ සුවිශේෂීත්වය වූයේ ඔහු එය වත්මන් තලයක් තුළ තබමින් පවා විග්‍රහ කිරීම තුළය.

සාංදෘශ්ටිකවාදයේ පියා වශයෙන් අප
හඳුන්වනු ලබන සොරේන් කීකගාඞ් පළමු වතාවට
සාංදෘශ්ටිකවාදය යන වදන හඳුන්වා දෙන ලදී. මෙහි තිබෙන විශේෂ
ලක්ෂණයක් නම් සාංදෘශ්ටිකවාදීන් ආසියාතික දැනුම
කෙරෙහි දැඩි උනන්දුවකින් පසු වන්නන් පිරිසක් වීමයි. මෙහිදී වස්තුවට වඩා සාරයට මුල් තැනක් දෙනු ලබයි. එනම් පුද්ගල සාක්ෂාත්කරණයයි. සාංදෘශ්ටිකයෝ මෙම ගැටළු
සම්බන්ධයෙන් පිළිතුරු සොයන්නට වූහ.

“මම කව්ද? මගේ පැවැත්මේ අර්ථය කුමක්ද” යන ප්‍රශ්නාවලිය සියළු සාංදෘශ්ටිකවාදීන් අතර පැන නැගී තිබූ ගැටළු වේ. මෙයම උපනිෂද් ග්‍රන්ථයක මෙසේ සඳහන් වේ.

1. ජීවිතයේ යථාර්ථය යනු කුමක්ද?

2. අන්ධකාරයෙන් මා ආලෝකයට පිවිසෙන්නේ කෙසේද?

3. අමරණීයත්වයට මා පත් වන්නේ කෙසේද?

සාංදෘශ්ටිකවාදීන් ප්‍රබලව මතු කරනු ලබන සාරය යනු ද මෙයට පර්යායව ගමන් ගන්නේය.

මෙම ලිපිය අවසාන කිරීමට පෙරාතුව මම එක් කතාවකුත්,
එක් කවියකුත් මෙහි සඳහන් කිරීමට කැමැත්තෙමි. කවිය එවරස්ට් ආරච්චිගේ විසින් ලියන ලද එකක් වන අතර, අනෙක මගේ මිතුරෙකුට වූ සත්‍ය සිදුවීමකි.
                         
මාර පරාජය

සර්පයාගෙ නේරංජනේ ඉස්නානේ
බෝසත්වරිය පෙරුම් පුරනවා
බුදුවෙන්න
පිට දී අළු කෙසෙල් ගසක් යට

මොටෙයියෙක් මතුව ඇවිදින්
දෙකළවා මැද්දෑවෙන් තෙරපෙනවා
කුහරයක් සොයමින්


ඊටම සම්බන්ධ මගේ අවසාන කතාව මේය. මගේ එක්තරා මිත්‍රයෙකු වරක් අත බලා සාස්තර කියන තැනකට මා සමඟ ගියේය. එහිදී ඔහුගේ දකුණු අතේ තිබූ උපන් ලපය දැක මා ඉදිරියේ මේ පිළිබඳව යමක් කීවාට කමක් නැද්දැයි සාස්තරකරු ඇසුවේය. මිතුරා ඊට කම් නැතැයි කීවේය.

“මේකෙන් කියන්නෙ මහත්තයට දරු ඵල නෑ කියලා. කරන්න දේවල් තියෙනවා හැබැයි.” මඳ වේලාවකට පසු අප පිටව එන්නට පෙරාතුව සාස්තරකරුවා මෙසේද කීවේය.

“අළු කෙසෙල් එහෙම කටේ තියන්න එපා!!!”

ඉතිං ලංකාවෙ ස්ත්‍රීවාදය ගැන කතා කරන මහා දැවැන්ත
කාන්තා චරිත හා පුරුෂයන් අතර කතාබහට ලක් නොවූ
මෙම නිර්මාණය මහත් සේ බුද්ධිය කලම්භනය කරන
කෘතියක් බව පැහැදිලිය.

No comments:

Post a Comment