Friday, October 13, 2017

තාම කට ඇලුමීනියම් රහයි බන්...!!


මචෝ, මහිලාවංශය කියෙව්වා. දැන් ටික දවසක් වෙනවා. ඒත් සෑහෙන කාලයක් ගියා කියවන්න. කොහොමත් මගේ කියැවීම එහෙම තමයි. මම නම් මුළුමනින්ම වින්දා මේ පොත. මේ පොත, තල තුන හතරක කියවගන්න අපේ දැනුම හා සාහිත්‍යමය වපසරිය එච්චර පුළුල් නෑ බන්. ඒක තමයි ඇත්ත. ඒ වුණත් ගොඩක් කට්ටිය කියෙව්වා වගේ, කියවලා ඉවර වෙලා අපිට කිව්වා වගේ අර මතුපිට, පිට වට්ටාරමේ වැල කෑලි ටිකට එහාට ගිහින් යම් යම් දේවල් කියව ගන්නත් දැක ගන්නත් මට නම් පුළුවන් වුණා. උඹ එදා මෙදා තුර ඉතිහාසයම වරින් වර ප්‍රශ්න කරන හැටිත්, මේ මුළු මහත් සමාජ-ආර්ථික ක්‍රමයම ඉතාමත් දරුණු විදියට ප්‍රශ්න කරන හැටිත් 'සාර්කෑසම්' කියන්නේ මොකද්ද කියලා අපට කියා දෙනවා. උඹ ඒකට හොඳම ආකෘතිය යොදාගෙන තියෙනවා කියා මම හිතනවා. ඇත්තටම ආකෘතියත් මේ පොත ඇතුළේ ඩයිනමික්. වරින් වර වෙනස් වෙනවා. මම දන්නවා ගොඩාක් උන් මේකේ මතුපිට තියෙන ආකෘතිය විසින්ම සම්පාදනය කරලා තියෙන වැල ස්වරූපය තමයි මුලින්ම ග්‍රහණය කරගන්නේ. කියවන්නෙත් ඒ කුණු රසය ඉව කරමින්ම විතරයි. නමුත් මේකේ හැම පිටුවක්ම දරන බර හෝ දැනුම අනල්පයි බන්. ඒවා ගොඩාක් අයට මගහැරෙනවා හෝ මගහරිනවා. හැම පිටුවකින්ම මේ කාලාවකාශය ඇතුළේ අපිට ඇස් නොගැටුණ, තවම අපි හිතන්නවත් නොපෙළඹුණු පැතිකඩ හා දැනුම සම්භාරයක් අරගෙන එනවා මේ ලියැවිල්ල. මේක උඹම ලිව්වා මිසක්, මේ වැඩේ කරන්න වෙන එකෙක් නැහැ ලංකාවේ මට තේරෙන විදියට. මේක මට නම් එන්සයික්ලොපීඩියා එකක්. හරියටම මේ පොත කියවනවා නම්, පිටිපස්සේ තියෙන තනි අටුවාව මදි. ඒවාත් සවිස්තරාත්මකව ලිහිල් කර ගන්න තව අටුවා තුන හතරක් විතර ඕන.

බැලූ බැල්මට වැල තමයි. ඒ මතුපිට. එදා කිව්වා වගේ තාම කට ඇලුමිනීයම් රහයි. නමුත් ඊට යටින් උඹ නඟන සාර්කැස්ම් එක පට්ටයි. එදා මෙදා තුර ග්‍රන්ථාරූඪ වෙච්ච නොවෙච්ච හැම හත්තිලව්වක් වගේමත්, දැන් මේ වර්ථමානය ඇතුළේ අපේ උන් පිලිවෙලට කෙළින පිස්සුත් මේකේ නියමෙට හයිලයිට් වෙනවා. කොතනකදී වත් ඒ උඹ මතුකරන්න හදන ප්‍රශ්නාර්ථය දියාරු වෙලා නෑ. ඒක එකම විදියට හැම තැනදීම වර නැඟෙනවා. ඊට යටින් හැම ඡේදයකින්ම අරන් එන දැනුම අප්‍රමාණයි බන්. ඒක දැක්කම උඹලට ආදරේ හිතෙනවා. පුදුම හිතෙනවා. ඒවා කොපි කරන්න බෑ. ඉරිසියා කරලා වැඩක් නැති අප්‍රමාණ වෙහෙසකින් සොයා පාදා ගත්ත ඇට මිදුළු වලටම කා වැදුණ දැනුම ඒ. අනික නවකතාවක් ඇතුළේ හැඟීම් ගනු දෙනුවට අමතරව, ඉතාමත් සැහැල්ලුවෙන්, කෘත්‍රීම බවෙන් තොරව ගේමක් නැතුව වගේ කරන මේ දැනුම සම්ප්‍රදානය මම වෙන පොතක නම් දැකලා නෑ. ඒක ඒතරම් ම අවියෝජනීයයි. ස්වභාවිකයි. වගේම ඒ දැනුමත් ළාමක දෙකයි පණහේ දැනුම නොවේ. අපි කොච්චර පුංචිද කියලා හිතා ගන්න ඕන නම් මෙන්න මේවා තමයි කියවන්න ඕන පොත්. 

මචෝ, සාහිත්‍ය ගැන මම් දන්න ලබ්බක් නෑ. ඒත් මට හිතිච්ච ටික මෙහෙම කෙටුවේ සද්ද නැතුව ඉන්න හිත දුන්නේ නැති නිසාත් මේක මට මුලින් කිව්වා වගේ මෙහෙම දැනුමක් මේ ලොකේ බිහිවෙලා තියෙනවා නේදැයි කියා හරි අඩු තරමේ දැන ගන්නවත් මේක අත්පොතක් වෙච්ච නිසා. මගේ මේ දියාරු ළාමක ටිං ටිං අදහස්වලින් උඹට ගන්න ලබ්බක් නෑ බන්. ඒත් මේක පට්ටම වැඩක් නිසා තමයි මේ ෆීඩ්බැක් එක දෙන්නේ මගේ උඹට තියෙන ආදරය හා ග්‍රැටිටියුඩ් එකට. ඊළඟ පොතත් එනකන් ඉන්නම්.

උඹලා වගේ ලියන්න පුළුවන් උන් රැකෙන, කොටින්ම කියනවා නම් වෘත්තීයමය ලියන්නන් බිහි නොවන සමාජයක ඉඳගෙනත් මේවා ලියන එකට මට කියන්න වචන නෑ බන්. 

Nirasha Guansekera

No comments:

Post a Comment