Thursday, October 12, 2017

සර්පයා විද්‍යා චක්‍රවර්තී සමඟ

මා ස්ත්‍රීවාදය යන වචනය මුලින් දුටුවේ අනූ හයේ හෝ අනූ හතේ දී විය යුතු ය. ඒ මාතොට සඟරාවකිනි. එකල අපි 'යෝධයාගේ උයන' නාට්‍යය පුහුණුවෙමින් සිටියෙමු.
මම ස්ත්‍රීවාදය ගැන කමල් අයියාගෙන් ඇසීමි.
' ඕක ඔය සර්පයා ගෙනාපු එකක්' යන්න ඔහු දුන් මුල්ම පිළිතුර විය.
එතැන් සිට මම සර්පයා සොයන්නට පටන් ගතිමි.
කමල් අයියා යම් කථාන්දර කිහිපයක් කියා දුන්නේ ය.
මාතොටෙහි සර්පයා ලියූ ලිපි හමු නොවිණි.
අන්තිමට සර්පයා හමුවුණේ ය.
ගෙදර සාලයේදී ය. රූපවාහිනීය ඇතුලේ ය. සිරසේ සාකච්ඡාවකදී ය. 'ලොලිටා' ගැන වූ.
සර්පයා මගේ බලාපොරොත්තු බිඳ දැමී ය.
හේ කැහැටු ය. අපිලිවෙලය. සිනාසෙන ඇස්වලින් යුතු ය. රූපවාහිනී ප්‍රාඥයෙකුට තිබිය යුතුම වූ තරමක් උඩඟු බැල්මක් තිබුණේම නැත. ඔහේ කථා කළේ ය. කිසිදු පරිස්සමක් නැතිව.
මම සර්පයා අතහැර දැමුවෙමි.
****************
සර්පයා අතහැර දැමූ මම ස්ත්‍රීවාදය සොයා ගියෙමි. මාතොටින් මඟ අසාගෙන.
තිලිණා සමඟ උරණ වූයෙමි. ජයසිරි මරාගෙන කන්නට සිතූයෙමි.
'ප්‍රභා ට ඉරිසියා නොකරන්නැ' යි කියූ මාතොට ගැන්සියේ අයම ප්‍රභා ට පන්න පන්නා ගහද්දී මම නැවතුණෙමි.
මට ' සර්පයෙකු හා සටන් වැද' හමුවන්නේ ඔය අතරදී ය.
ලියා තිබුණේ කේකේ සමන් කුමාර ය. සර්පයා ය.
සියල්ලෝම ' සර්පයෙකු හා සටන් වැද' කතාව හා ඇලෙද්දී ගැටෙද්දී මම වෙනත් කථාවක් සොයා ගතිමි.
සිය දිවි හානිකරගනු රිසින් කෝච්චියක් එනතුරු බලා සිටියදී කෙලෙසුන ගැහැණියකගේ කතාව ය. පුරුෂ මූලික සංකල්පයන් විසින් තනා තිබූ සුකොමළ අසරණ ගැහැණු පිළිමය කඩා දමා සියලු පිරිමින් ඉදිරියේ සෘජුව නැඟී සිට තමා දූෂණය කල එකා ඉදිරිපිට හිටගෙන ඌට පෙම් කරනා ගැහැණියගේ කථාව ය. පිරිමින් විසින් මෙන්ම පිරිමින් වන් ගැහැණුන් විසින් ද හොරෙන්ම අමතක කර දැමූ කතාව ය.
සර්පයා ස්ත්‍රීවාදී දැයි නැත්දැයි සොයන්නට මහන්සි නොවුණෙමි. සර්පයා ස්ත්‍රීයට ආදරය කරන බව දැන ගත්තෙමි.
ඒ භාෂා හැසිරවීමට ඉරිසියාවෙන් ද ප්‍රේමයෙන් ද බැඳුනෙමි.
********************
ඊට දශකයකයකට පමණ පසු සර්පයා හැබැහින් දුටිමි.
රුවන් බන්දුජීවගේ මීළඟ මීවිත දොරට වැඩිදා ය.
එතැන් සිට මේ දක්වා බොහෝ කල් ගෙවී ඇත්තේ ය.
එක්ස් කණ්ඩායමේ මහන්සියෙන් හෝ ඉන් කැඩී විසිරීගිය අයවලුන් සිය ' ඇසූ දුටු' හැදෑරීම් වල පිහිටෙන් ගුරු කුල තනා ගනිද්දී සර්පයා පිරී සිටිනු දුටුවෙමි. නිසලව. නිසි තැන පමණක් හඬ අවදි කරමින්. අසමින්. කියා දෙමින්. කියවමින්.
සයිමන් වනපොත් කර මාකේස්ගේ වෙස්මුහුණු පළඳිමින් සිංහල සාහිත්‍යයේ සයිමන් අවතාර බිහිවද්දී සර්පයා සාහිත්‍ය වංශ කතාව සයිමන්ගෙන් එපිටට රැගෙන ගියේ ය. සයිමන්ගේ හැවෙන් මිදෙමින්.
ඩෙරීඩාගේ ලිපි දෙකක් කියවූ වුන් විසංයෝජනය ගැන මනෝ විශ්ලේශණය ගැන පත්තර පිටු පුරා පොරවල් වෙද්දී සර්පයා විද්‍යා චක්‍රවර්තී සමඟ දුර ගමන් ගියේ ය. මාකේස් ගේ රත්තරං පොලු ගෙනැවිත් සයිමන්ගේ වහලයේ ගැසී ය. සිංහලය අලුතෙන් වාත්තු කළේ ය. කතන්දර අසන්නවුන්ට කතා පොතුත් කියවන්නවුන්ට නවකතාවකුත් ලීවේ ය.
පිට පොත්තේ ස්ත්‍රීවාදීන් වාදිනියන් එළිපිට රමණය කිරීම විමුක්තිය ලෙස හඳුනා ගනිද්දී ගැහැනුන් ඇමේසන් ගැහැනුන් කරවීම සිය කූට ප්‍රාප්තිය ලෙස හඳුනා ගනිද්දී සර්පයා තම නිර්මාණ තුල ගැහැණිය අමරණීය කරවී ය.
අවසන බුදු බවට පත් කරවී ය.
- End

No comments:

Post a Comment