කාව්‍යකරණයේ දී ඔහු විප්ලවීය චරිතයක් වුව ද, මෙම ලිපියෙන් මා ඔබේ අවධානය යොමු කරන්නට තනන්නේ කේ. කේ. යන නවකතාකරුවා සහ කෙටිකතාකරුවා දෙසට ය. මාගේ පුද්ගලික මතය නම්, ඔහු ජාත්‍යන්තරය හඳුනාගත යුතු ලේඛකයකු යන වග ය. එහෙත් මා හට කියැවීමට සොයාගත නොහැකි වූ මහිලාවංශය සහ නේරංජනේ ඉස්නානේ මෙම ලිපියෙන් සාකච්ඡා කරන්නට මම තැත් නොකරමි.
“සර්පයකු හා සටන් වැද – කෙටිකතා එකතුව”
සර්පයකු හා සටන් වැද යනු අතිශයින්ම කෙසඟ කෙටිකතා එකතුවකි. එසේ වුව, එම හින්දෑරි එකතුවේ එන කතන්දර දොළොස, ලාංකේය කෙටිකතාවේ මඟ වෙන’තකට හැරවූ වග නොරහසකි. මෙහි මා සිත බෙහෙවින් ම පුදුමයට පත් කළ කතන්දර ගණනාවකි. මාගේ මතයට අනුව, ඉන් ප්‍රබලතම කතන්දර ත්‍රිත්වය “සර්පයකු හා සටන් වැද,” “සුළඟට ගසා ගිය ගැහැනියක්,” හා “අපබ්‍රංස කතාවක්” යන කතන්දර ය. සර්පයකු හා සටන් වැද යන කෙටිකතා එකතුවෙන් පිළිඹිබු වන්නේ එකල නවක ලේඛකයෙකු වූ සමන් කුමාර මහතා කෙතරම් ප්‍රබලයෙකු වූයේ ද යන වග ය. අන්වර්ථ නාමයෙන් ඔහු සර්පයා වූයේ මෙහි එන සර්පයකු හා සටන් වැද නම් කෙටිකතාව නිසාවෙනි. සර්පයකු හා සටන් වැද යන කතන්දරය ගෙතී ඇත්තේ සිය දියණිය හා ව්‍යාභිචාරී සම්බන්ධයක් පවත්වාගෙන පියෙකු වටා වන අතර, කතන්දරය කියවන වාරයක් පාසා, පෙර කියැවීමේ දී හඳුනාගත නොහැකි වූ විශේෂ කරුණු කියවන්නාට හැඟෙන බව මාගේ පුද්ගලික මතය යි. මනසේ චිත්තරූප මැවීමේ කලා නියමය, එසේත් නැතොත් විෂුවල් ඉමේජරි, ඔහුගේ කතන්දරවල ප්‍රබලතම ස්ථානයක් ගන්නා බව මාගේ මතය යි. එමෙන්ම, සංකේතකරණයේ දී ඔහු කෙතරම් ප්‍රබලයෙක් ද කියා පාඨකයිනට දැනගත හැකිවන්නේ ද මෙම කතන්දර එකතුවේ එන මෙම කතාව මඟින් බව මාගේ මතය යි. පළමු කියැවීමේ දී මට හමු නොවූ එක් විශේෂ සංකේතයක් මෙම කතන්දරයේ තිබුණ’තර, එය අහම්බයක් දෝ කියා මට සිතුණ ද, ඔහු තුළ ඇති දැනුම නිසාවෙන් මෙය අහම්බයක් නොවන්නේ යැයි මම සිතමි. එකී විශේෂ කරුණ නම් ඊජිප්තුවේ උපත ලද සංකේතයක් වන ඖරෝබොරොස් ය. ඖරෝබොරොස් යන සංකේතයෙන් පිළිඹිබු වන්නේ සිය වල්ගය ගිලගන්නා සර්පයකු ය. “ඖරෝබොරොස්” යන වචනයේ තේරුම ද “වල්ග-බුදින්නා” ය. ඖරෝබොරොස්ගෙන් හැමවිටකම පාහේ කියැවෙන්නේ සෘණාත්මක අදහසක් නොවුණ ද, සමහර අවස්ථාවල දී එය එලෙසින් ද අර්ථකතනය කර ඇත. පොදුවේ ඖරෝබොරෝස් යන්නෙන් කියැවෙන්නේ ඒකතාව පිළිබඳ ව ය; අනන්තය පිළිබඳ ව ය; නව ජීවය පිළිබඳ ව ය. නමුත්, සුළුතරයට අනුව, ඉන් කියැවෙන්නේ තමාගේ ම පාපයන්ගෙන් තමා විනාශ කරගැනීම පිළිබඳව ය. ඒ අර්ථයෙන් එම සංකේතය පිළිබඳ ව සලකා බලන කල, එය “සර්පයකු හා සටන් වැද’ කතන්දරයට ඖචිත්‍ය වේ. සංකේතයෙන් හැඟෙනවා යැයි බොහෝ දෙනා පවසන අර්ථයට එය නොගැළපුන ද, සුළුතරය දරනා මතය හා සසඳා බලන කල්හි එය කතාවට බෙහෙවින් ගැළපේ. පිටු තුනක දිගින් යුතු වුව, නවකතාවල හෝ දැකගත නොහැකි මනබන්දන රචනා ශෛලියකින් මෙය රචනා වී ඇත. බොහෝ විදෙස් කෘතිවල උපුටන ලෙස දැක්විය හැකි කොටස්වල අතිශය නැවුම් ස්වභාවයක් මම දැක ඇත්තෙමි. එවැනි නැවුම් ස්වභාවයක් මෙම කතන්දරය පුරාවට ම ඇත. දුවණියගේ උපතේ සිට, ඇගේ වැඩිවිය දක්වා ම ඇති වැකි පෙළ, මාගේ මතකයේ තවමත් රඳා පවති යි. ඒ වැකිපෙළ අතරේ මා මතකයේ එකෙණෙහි රැඳුණු කොටස මෙය ය: “සඳ එළිය කැටි ගැසුණු සුදු වටොර ය. ගවුම පිරිමදින දෙ තන ලප තුඩු ය. මීන චංචල කිඳුරු දෑස ය. හදිසියේ ම පොළොව පළාගෙන සර්පයා උඩට මතු විය. මම ඇයට නොපෙනෙන්නට ඌ පයින් පාගා ගතිමි.” මේ කලකිරෙන සිද්ධි දාමය සහ සර්පයා කරන්නට කියනා ඕනෑම දෙයක් ඔවුන් සිදු කරන බව පියා අප හමුවේ පවසා අවසන් වූ සඳ, අප දෑස ගැටෙන කොටස මෙය ය: “ඌ අද හෝ හෙට මිය යා යුතු ය. නැතහොත් ගල්මුල්වලින් වැසී අපත් සමඟ ම මිය යා යුතු ය.”
මෙහි ම හමුවන “අපබ්‍රංස කතාවක්” මඟින් සිදුවන්නේ සම්මත ය කියා සැලකෙන පිළිගැනීම් තරමක් හාස්‍යයට ලක් කිරීම ය යන්න මාගේ පුද්ගලික මතය යි. දිවි තොර කර ගැනීමේ අදිටනින් යුතු ව රේල්පාරේ වැතිර සිටින තරුණියක්, එතැනට කඩා වදින තරුණයකුගේ අතින් බලහත්කාරකමට ලක් වෙයි. කෙලෙසීමට ලක් වීමෙන් අනතුරු ව පොලිස් නිළධාරීන් හට හමුවන ඇය ව පොලීසියට රැගෙන ආ පසු, ඇය පතන්නේ එක’මෙක දෙයකි. එය නම් එම තරුණයා ව තමන් හට නරඹන්නට ඉඩ ලබා දෙන මෙන් ඉල්ලීම ය. මිනිසා උපතේ සිට ම අභූත ජීවියෙකු බව අමුතුවෙන් කිව යුතු නොවේ. තමාට අනන්‍ය වූ අන්දමේ අභූතභාවයක්, නෛසර්ගික අභූත ගුණයක්, සමාජයේ අප දෑස ගැටෙන බොහෝ දෙනෙකුට ම ඇත. බොහෝ අවස්ථාවන් හි දී එම අභූත භාවය ඔවුන් තුළ ම පවතින්නකි. එය ඔවුනට ද හඳුනාගත නොහැකි ය. සමහර විටෙක දී එවැන්නක් අප තුළ තිබේ ද කියා ද අපි නොදන්නෙමු. නමුත්, එවැනි අභූත ගුණ තිබෙනා අයවලුන් සමාජයේ ඕනෑ තරම් දැකගත හැකි අතර, එවන් චරිතයක් ප්‍රධාන කරගනිමින්, පිටු දෙක තුනකින් සමාජයේ සිදු වෙතැයි සිතිය නොහැකි එවැනි සිද්ධියක් අප හමුවේ ගෙනහැර පාන රචකයා, මේ කෘතිය පුරාවට ම සිය අවිය කරගන්නේ භාෂාව ය. ඔහු ලියූ වැකියක අක්ෂරයකුදු වෙනස් වුවහොත්, අර්ථයට හානියක් සිදු නොවුව, ශබ්ද රසයට තරමක අසාධාරණයක් වීමේ ප්‍රවණතාවක් ඇති වග මගේ මතය ය. උදාහරණයක් ලෙස, ‘නාසය’ යන වචනය පිළිබඳ සලකා බලන කල, ඔහු නාසය යන වචනයට සමාන පද නොයෙක් නොයෙක් අවස්ථාවල දී භාවිත කරනුයේ කතන්දරයට ඔහු භාවිතා කරන වාක්‍ය ශෛලියට අනුගතව ය. උක්ත ‘නාසය’ යන වචනය සැළකුවහොත්, මා කියැවූ කතන්දරවල ඔහු විවිධ අවස්ථාවන්වල දී එය ‘නාසය,’ ‘නහය,’ ‘නැහැය,’ සහ ‘නාහෙ’ යන නොයෙක් නොයෙක් ආකාරයෙන් යොදා තිබෙනු මම දිටිමි. ඒ හුදු වචන හරඹය පුදුම උපදවන එකක් වන හෙයින්, එබැව් නැවත නැවත නිරායාසයෙන් ම ලිපියේ අන්තර්ගත වීම වළකාලිය නොහැක. එනමුදු පෙර සඳහන් කළ පරිදි ම, අපබ්‍රංස කතාවේ තරුණිය වටා මනුෂ්‍ය ආශාව සහ මනුෂ්‍යයා ගේ මනස මුල්කොටගෙන ඔහු මවන්නා වූ මනරම් සිද්ධිය කෙතරම් මායාකාරී වූයේ ද?
තෙවැනි කතන්දරය ලෙස මම තෝරාගත් කතන්දරය “සුළඟට ගසා ගිය ගැහැනියක්” ය. මෙය, අතිශය සංවේදී සිදුවීමක්, ශ්‍රී ලංකා ඉතිහාසයේ සිත කළඹනසුලු එක් අවස්ථාවක් ශ්‍රේෂ්ඨා’කාරයෙන් පන්හිඳ හසුරවා ගෙත්තම් කළ අවස්ථාවකි. කතාව ඇරඹෙන්නේ ම වීථියක ගමන් ගන්නා කතකගේ රුවක් අප මනසේ මවමිනි. ඇය, සිය දරුවා ද වඩාගෙන මාවත ඔස්සේ පිය නඟිමින් සිටින්නී ය. ඈ පසුපසින් එක් වරම නැවතුණේ පා පැදියකි. එය පැදවූයේ පොඩ්ඩේ ය. කරණවෑමියෙකු වූ මුත්තු නම් තම ද්‍රවිඩ සැමියා මිය යෑම නිසාවෙන් දුක් ව සිටින සෝමා ට තමා හා පදිංචි වන ලෙසට යෝජනාවක් කරන හේ, ඇගේ දෑසින් වෛරය දුටු කෙණෙහි ගිනිමරේට එතැනින් පිට ව යයි. ඇය, නැවතත් සිය දෙමව්පියන්ගේ නිවහන දෙසට ඇය ව ගෙන යන මාවත දෙස බලා සුසුම් හෙලන්නී ය. මෙම සිදුවීම රචනා වී ඇත්තේ 83 කළු ජූලිය පදනම් කොටගෙන බැව් පිටු එකහමාරක දිගින් යුතු මෙම කතන්දරය කියවන විට ඔබට නිසැකව ම පසක් වනු ඇත. පෙර මා කිව් පරිදි ම, මිනිසා කෙතරම් අපූර්ව ජීවියෙකුදැයි කියා නොවේ ද කතන්දරකරුවා අප හමුවේ පවසන්නේ? “ඔහු නිසා ලස්සන වූ මුහුණු ම මාරයින් ගේ මුහුණු මෙන් අවලස්සන ව ඔහු දෙසට හැර වී තිබූ අයුරු, ඔහුගේ අතින් ඒ මුහුණු උඩ ලස්සනට හීන් සීරුවේ එහෙට මෙහෙට ගිය දැලි පිහිය ඔහු දෙස කිසිඳු පරිස්සමක් නැති ව ඔරවාගෙන උන් අයුරු . . . ඇගේ නෙතින් කඳුළුවැල් රූරා බසින්නට විය.” මෙම වැකි අල්පයෙන් චිත්ත රූ මැවීම උපරිමයට ම සිදු ව ඇත ය යන්න මාගේ මතය යි. ඊටත් වඩා ප්‍රබල ව මෙම තේමාව පදනම් කරගෙන තවත් මෙවැනි ම කෙටිකතාවක් ලියූවේ ද මොහුම ය. මහාචාර්‍ය කුලතිලක කුමාරසිංහයන්ට අනුව, උක්ත ආන්දෝලනාත්මක කාල පරිච්ඡේදය පදනම් කරගෙන ලියැවුණු ප්‍රබලතම කෙටිකතා ද්විත්වය රචනා කළේ මොහු ය.
“සඳැල්ලෙන් වැටී මිය ගියහ ඔවුහු – කෙටිකතා එකතුව”
“සඳැල්ලෙන් වැටී මිය ගියහ ඔවුහු” යනු ද අතිශයින් ම විශේෂ කෙටිකතා එකතුවකි. මෙහි කතන්දර “සර්පයකු හා සටන් වැද” එකතුවෙහි එන කතන්දරවලට වඩා තරමක් වෙනස් ය. කතන්දර දහයකින් හෙබි මෙය, මීට පෙර ආ කෙටිකතා එකතූන් දෙකට ම මැද තැනක් ගන්නා බව මාගේ අදහස යි. සර්පයකු හා සටන් වැද යනු ඔහුගේ කෙටිකතා එකතූන් අතරින් පහසුවෙන් ම කියැවිය හැකි එකතුව වන අතර, ඊට පසු ආ එ’සඳ මම බලා සිටියෙමි Ergodic literature කතන්දරවල ගුණවලින් හෙබි කතන්දර එකතුවක් වන අතර, සාමාන්‍ය පොතක් කියවන අතට නොකියවා පොත ඒ මේ අතට හරවා, දෑස මහත් සෙයින් වෙහෙසවා කියවිය යුතු යමකි, “එ’සඳ මම බලා සිටියෙමි.” නමුත් “සඳැල්ලෙන් වැටී මිය ගියහ ඔවුහු” එයාකාර යමක් නොවේ. නමුත් “සඳැල්ලෙන් වැටී මිය ගියහ ඔවුහු” හි අන්තර්ගතය වියුක්ත ය; සංකීර්ණ ය; එනමුත් “එ’සඳ මම බලා සිටියෙමි” මෙන් සංකීර්ණ නැත. මෙම එකතුවේ “ගිනි වැදි මහ පොළොව,” “වංගගිරියක මංමුලා වී සිටිමු,” සහ “සඳැල්ලෙන් වැටී මිය ගියහ ඔවුහු” යන කතන්දර ත්‍රිත්වයට අවධානය යොමු කරන්නට සිතුවෙමි.
“ගිනි වැදි මහ පොළොව” යනු ඉහත දී සඳහන් කළ 83 කළු ජූලිය පදනම් කරගත් දෙවැනි කතන්දරය වන අතර ම, කතුවරයාට අනුව ඔහුගේ සිත මහත් සෙයින් කම්පාවට පත් කළ කතන්දරය යි. මෙහි සිදුවීම මා ද කම්පනය කළ එකකි. එවක මා උපත ලබා නොතිබුණු මුත්, මෙම කතන්දරය මා සලිත කරවාලූයේ එදා මා එවැන්නක් අත් වින්දේ ද කියා මා මාව ම ප්‍රශ්න කරගන්නට මෙහෙයවමිනි. ගමනක යෙදී, සිය වාහනයෙන් තම නිවෙස බලා එන ද්‍රවිඩ පවුලක ඛේදනීය ඉරණම පිළිබඳ කියැවෙන මෙහි මා වඩාත් ම කම්පනය කරවූයේ අවසන් සිදුවීම ය. පළමු වැකි දෙක මෙලෙස ය: වැටකොටු මැදින් පොළොව පැලී ‘හෝස්’ ගා නැඟුණු ගිනිදලුවක් පොළෝතලය වසා ගති. සැණින් මහ පොළොව ද ඉර මෙන් ගිනි බෝලයක් ම වී.” මා පෙර නිතර දෙවේලේ ම සඳහන් කළ චිත්ත රූ මේවා ය. වටපිට නිරීක්ෂණය කළ විට දී පවුලේ ගැහැනිය සලිත වනුයේ මෙසේ යි: “කඩින් කඩ නැඟෙන ලතෝනි හඬින් වරින් වර ඇගේ මුහුණෙහි මස් පිඬු හැකිලිණි. නළලේත්, උඩුතොල මතත්, නැහැය අග්ගිහේත් හීනියට දහදිය බිඳු බිඳු නැඟෙන්නට වී.” අනතුරු ව කාර් රථයට ගින්දර දමනු ලැබේ. නමුදු, ගිනි තබන්නට දායක වූ යමෙකු, වාහනයේ පසුදොර හැර, දරුවා උදුරා ගනී; ඔහු වාහනයෙන් ඉවත් කර දමයි. සිත කම්පනය කරවන, දරුවාගේ පියාගේ ක්‍රියාව සඳහන් අවසන් වැකිය මෙසේ යි: “දරුවා සිය දෑතින් ඔසවා තුරුලු කොටගත් හේ ගිනිගුලිය දෙබෑ කරගෙන එතුළට ම රිංගා ගති.” සිය දරුවා ද සමඟින් පියා ගින්නට බිලි වන්නේ ය. එම පවුලේ අනුවේදනීය කතා පුවත එතෙකින් නිමා වන්නේ ය.
වංගගිරියක මංමුලා වී සිටිමු” යනු විශේෂ කතන්දරයකි. රූබර තරුණියක ගේ මළසිරුරක් එම්බාම් කරන්නට පැවරුණු දෙදෙනෙකුගෙන් පළපුරුදු ඇත්තා, පළපුරුදු නැත්තා තනිකොට, වැඩය කිරීමට අවැසි බඩු බාහිරාදිය රැගෙන එන්නට ටවුමට යන්නේ ය. ඒ එන ටිකට පළපුරුදු නැත්තා ශවකාමය කෙබඳුදැයි පිරික්සයි. ඉනික්බිති, අසනීප වන ඔහු, වෛද්‍යවරයකු හමුවූ විට වෛද්‍යවරයා පවසන්නේ ඔහුට සමාජ රෝගයක් වැළදී ඇති බව ය. එමෙන්ම, සිදු වූ දෙය නිරායාසයෙන් ම සිදු වන්නක් බව ද ඔහු පවසයි. සදාචාර පොලීසිය වෙත යවනු ලැබූ තරුණියගේ ලියුමෙන් ඇය පවසන්නේ මෙය යි: “සෑම ගැහැනියක මෙන් ම මම ද දෙවතාවක් මළමිනියක් වීමි.” ඉනික්බිති අපට වැටහෙනුයේ ඇය පුරුෂයිනගේ ආශා වලට රූකඩයක් වූ කතක වන බව ය. මනුෂ්‍ය චිත්ත සන්තානයේ විකෘති අදහස් පිරික්සන සමන් කුමාර මහතා තරුණියගේ ලියුමේ අවසන ලියනා වැකිය මෙය ය: “මහත්වරුනි, මෘත ශරීරාගාරවල සිදුවන දෙයත්, ඔබේ නිදි ඇඳේ සිදුවන දෙයත් අතර වෙනසක් නැති බව නොදන්නා හෙයින් ඔබ ඔවුනට කැට කැබලිති විසි කරන බව නම් මට සහසුද්ද ය.”
කතුවරයාට අනුව, “සඳැල්ලෙන් වැටී මිය ගියහ ඔවුහු” යනු සමරිසි තරුණියන් දෙදෙනෙකු තම තමන්ගේ දිවි තොර කරගැනීමේ පුවතක් දුටු විට ඔහු ලියූවකි. පිරිමින් ජරා ජාතියකැයි හංවඩු ගසන ඉෂා සහ නිෂා සමරිසි තරුණියන් යුගලකි. මූදු වෙරළ ඔවුන් වැඩිපුර ම හමුවන ස්ථානය යි. මොවුන් දෙදෙනා දොඩන්නේ ද අමුතු ආකාරයකට ය; සිතන්නේ ද අමුතු ආකාරයකට ය. ඔවුන්ගේ දෙබස් තරමක් අපැහැදිලි ය. ඒ ආකාරයෙන් ලේඛකතුමා කතන්දරය ගෙත්තම් කරන්නට ඇත්තේ සුලභ ව ලොව වෙසෙනා ජනතාවට සමරිසි හැඟීම්වලින් යුතු මෙම තරුණියන් දෙදෙන වටහාගත නොවනු ඇත ය කියා පැවසීමට විය හැකි ය යන්න මාගේ මතය යි. නමුදු එම දෙබස් බෙහෙවින් මනබන්දනා සුළු ය. කෙළිලොල් බවින් යුතු ය; චිත්ත රූ මවන්නේ ය. දරුවන්ගේ විහිලු බස් හා සමාන ය. මෙහි එක් තරුණියක් වමනය කරනා අවස්ථාවක දී අප දෑස ගැටෙන වැකි පෙළකි මේ: “මෙන්න, මහා ප්‍රාචීරෙ ගැලවිලාද කොහෙද…….. පෙනහැල්ලකුත් ඇවිත්…….. ගලනාලෙත් ඇවිත් ස්වාසනාලෙ දිගේ……..” අනෙක් තරුණිය කියන්නේ ඇගේ පිටතට පැමිණ ඇති අතුණුබහන් නිය කටරයෙන් කපා දමා මාළුන්ට බුදින්නට ලබා දී, පසු ව එම මත්ස්‍යයින් මසුන් මරන්නන් මත්ස්‍ය වෙළඳසැලට දැමූ පසු උන් ගෙන අනුභව කරනා ලෙසට ය. කැමරාවක් මානමින් කතාවේ අවසානය සනිටුහන් කරන ලේඛකතුමා කවුරුන් විසින් හෝ ඔවුන්ගේ සිරුරු බැඳ දමා ඇති වග පවසමින් කැමරාව මළ සිරුරු දෙකට මානන්නේ ය.
මෙම ලිපිය බෙහෙවින් දිගු ය; මුලින් මා සිතා සිටියේ කේ. කේ. සමන් කුමාර මහතා ගේ කතන්දර එකතූන් සහ නවකතාවලට එක් ලිපියකින් ඇගයීමක් කරන්නට ය. පසුව එය කෙටිකතාවලට ලිපියක් ලෙස ද, නවකතාවලට ලිපියක් ලෙස ද වෙන් වුව, අවසන කෙටිකතා එකතූන් සඳහා ලිපි දෙකක් සහ නවකතා සඳහා ලිපියක් ලෙසින් වෙන් කරන්නට මට සිදු විය.
K. K. කාව්‍ය තත්සර
https://agnilk.com/archives/1263
No comments:
Post a Comment