Tuesday, June 8, 2021

සංසාරේ දඩයක්කාරයාට අත්පොතක්

සංසාරයේ දඩයක්කාරයා'





ප්රසන්න ජයකොඩිගේ 'සංසාරයේ දඩයක්කාරයා' සිනමා කෘතිය ප්රේක්ෂකයා ඉදිරියේ තබන අභියෝගය සුළුපටු එකක් නොවේ.
යමෙකු සයිමන් නවගත්තේගමගේ 'සංසාරාරණ්යයේ දඩයක්කාරයා' , 'සංසාරාරණ්යයේ උරුමක්කාරයා' , ' දඩයක්කාරයාගේ කතාව' හා 'සංසාරාරණ්යය අසබඩ' කෘතීන් නොකියවා, ඒවායෙහිදී නවගත්තේගම මතුකළ අරුත් අවබෝධකර නොගෙන 'සංසාරාරයේ දඩයක්කාරයා' සිනමා කෘතිය නරඹන්නේ නම් ඔහු හෝ ඇය වංකගිරියක අතරමංවීම නොවැළැක්විය හැකිවනු ඇත.
එසේම, යමෙකු ඉහතින් සඳහන් කළ නවකතා සමග සයිමන් නවගත්තේගමගේ නිර්මාණ පිළිබඳව කේ. කේ. සමන් කුමාර 2008 වසරේදී ලියා පළ කළ 'සිංහල ජාතියේ වංශ කතාව, සංසාරාරණ්යය හා සයිමන් නවගත්තේගම' කෘතියද කියවා, ථේරවාදී හා මහායානික බෞද්ධ ඉගැන්වීම් හී සාරය පිළිබඳව යම් අවබෝධයකින්ද යුතුව සිනමා කෘතිය වෙත ප්රවිශ්ට වන්නේ නම් ඔහු හෝ ඇය ඉදිරියට කෘතිය ගෙන එන වැඩබිම සුළුපටු එකක් නොවනු ඇත.
ඉහතින් සඳහන් කළ අවබෝධයන් රහිතව සිනමා කෘතිය වෙත ප්රවේශ වන අයෙකුට චරිත තරම්ම කාර්යයක් ඉටු කරන, බහු සංකේත අරුත් දනවන කෘතිය තුළ වන දේ, කිසිදු අරුතක් නොදනවන දළ දේ බවට පත්වනු ඇත.









නිදසුනක් ලෙස, සිනමා කෘතිය තුළදී ප්රේක්ෂකයාට නිතර මුණ ගැසෙන දැවැන්ත වෘක්ෂය දැක්විය හැක. සිනමා කෘතියේ අවසන් භාගයේදී මේ දැවැන්ත වෘක්ෂය දිගේ කැමරාව සියුම්ව ගමන් කරයි. එහි කඳද, මුල්ද හරහා ගමන් කරන කැමරාව අවසන විසාල අඳුරු කලාපයකට පිවිසෙයි. එවිටම නරඹන්නාට දෙපසින් යුද්ධ භූමියක කලබලය හා වෙඩිහඬ ඇසෙයි.
මේ වෘක්ෂය වූ කලී නවගත්තේගමයන් දඩයක්කාරයා කතා මාලාවේදී පාඨකයාට මුණ ගැස්සූ වෘක්ෂ දේවතාවාය. 'සංසාරාරණ්යයේ දඩයක්කාරයා' හී දඩයක්කාරයා පොළොව පතුළට සභ්යත්ව හතක් පඩි බැස යන සිදුවීම හා නවගත්තේගමයන් ඉන් පෑදූ අරුත ගැන අනවබෝධයෙන් යුතු අයෙකුට ප්රසන්න මෙහිදී එය නවාර්ථ සහිතව ගොඩ නගනු මග හැරෙනවා පමණක් නොව, කෘතියේ කාලය හා පරිසරය හා සමපාත නොවන මුල්ලේගම පන්සලේ විහාර ගෙහි පිඟන් ගඩොල් අල්ලා තිබීම හා පහන් වැටි ආධාරයෙන් එළිය වන පන්සලේ එක් මොහොතක විදුලියෙන් ක්රියාත්මක වන ලවුඩ්ස්පීකර දැකීම නොගැලපෙනාක් ලෙස පෙනී යනු ඇත.
නමුත් ප්රසන්න මේ සියල්ල එහි ඇතුළත් කරන්නේ අතිශය දැනුම්වත්වීමක් ඇතුළත හිඳිමිනි.
'සංසාරයේ දඩයක්කාරයා' සිනමා කෘතිය තුළ මා ඉදිරියේ මැවෙන දඩයක්කාරයාද, හාමුදුරුවන්ද, පොඩි කන්දයාද, කැළය නම් සංසාර අරණද, මුල්ලේගම පන්සලද නවගත්තේගමයන්ගේ දඩයක්කාරයා කතා මාලාව මා ඉදිරියේ මැවූ එක නොවේ.
නවගත්තේගමයන්ව හරියටම අල්ලාගත් ලාංකීය සාහිත්ය විචාරකයා අන් කවරෙකුවත් නොව කේ. කේ. සමන් කුමාරයැයි මට සිතේ. මීට 25 වසරකට ඉහතදී මහජන පුස්තකාල ශ්රවනාගාරයේදී සුනිල් විජේසිරිවර්ධනයන් කළ, එකල විසි දෙහැවිරිදි වියේ වූ මා හාෆ්ශීට් පිටු 60 ක් පුරා මගේ අත් අකුරින් පිටපත් කර දුන්නද තවමත් නොපළව සුනිලුන්ගේ පුස්තකාලයේ ෆයිල් අතර පවතින, ඒ අනගි දේශනය, 'දඩයක්කාරයා දඩයම් කිරීම', වැඩි වර්ධනය කළේනම් දඩයක්කාරයා හරහා ලාංකීය සමාජය හොඳින්ම විවරණය කළ ලාංකීය විචාරකයා සුනිලුන් වනු ඇත.
ප්රසන්නගේ සිනමා පටය මා වැනි දුහුනන්ගේ නොව සමන් හා සුනිල් ඇතුළු විචාරකයන්ගේ හා දැනුවත් ප්රේක්ෂකයන්ගේ අවධානයට නතු විය යුතුය. එය ගැන සංවාද කළ යුතුය. දඩයක්කාරයාව යළි අවබෝධ කරගත යුතු මොහොතකය අපි දැන් සිටින්නේ.


No comments:

Post a Comment