ගැඩවිලි පණුවා ඉන්නේ මැටි සහිත පස්වල. එයාල පොළොවෙන් උඩට මතුවුණ ගමන් නලියන්න පටන් ගන්නවා. ඒකෙ සත්ව හෝ ජීව විද්යාත්මක කාරණය නං මට වැටහෙන්නෙ නෑ. මං ඒ විෂය හදාරල නැති හින්දා. දවසක් පොළොවෙ එක තැනකින් උඩට මතුවෙලා අඟලක් විතර එලියට ඇදුණු ගැඩවිලි ඔලුවක් හොඳට ලෝකය සිසාරා බලන්න ගත්තලු. තව මොහොතකින් ඒ තැනට අඟල් දෙක තුනක් එපිටින් තවත් ගැඩවිලි පණුවෙක් මතුවෙලා. දැන් අර මුලින් මෙතෙන්ට සම්ප්රාප්තවුණ කෙනා අනිත් එක්කෙනාගෙන් අහනවලු... " හලෝ යාලුවා; ඔයාව දැකීමත් සතුටක්, සෑහෙන කාලෙකින්නෙ මේ ඔයාව දකින්නෙ " කියල. එතකොට අර දෙවෙනියා කියනවලු... " යනවා හලෝ බොරු නැතුව, මං තමුසෙගෙම අනිත් පැත්තනෙ " කියල. මෙතන ඉන්නේ දෙන්නෙක් විදිහට එක්කෙනෙක් වුණත්. එක්කෙනෙක් විදිහට දෙන්නෙක් වුණත් සර්පයෙක් එහෙම මෙතෙන්ට ආවොත් ඉතිං මේ දෙන්නටම සොරිම තමයි. විෂ සහිත, විෂ රහිත තමන්ගෙ පාඩුවෙ හෙමින් සැරේ ඉදිරියට ඇදෙන සහ පොඩ්ඩ බැරිවුණත් අති දරුණු ඇටෑක් එකකට සෙට් වෙන එක එක වර්ගයෙ සර්ප කට්ටිය මේ අපේ වටපිටාවෙ ඉන්නව. හැබැයි ඉතිං එයාල අපි වගේ පාන් බනිස් කන්නේ නැති හින්දා ගැඩවිලාගෙන් ඉහළට එයාට ගිලින්න පුළුවන් හැම ජීවියෙක්ම වගේ එයාල කෑමට ගන්නව. තවත් ශිෂ්ට විදිහට කියනවනං " ගොදුරු කරගන්නව ". අත පය නැති ශරීර ස්වභාවය හින්ද මෙයාල ගමන් කරන්නේ බිම දිගේ ඉදිරියට ඇදෙමින්. ඒ ගමනේදීම තමයි එයා තමන්ට ඕනෑ කරන පෝෂණ සප්පායම ලබාගන්නෙත්.
අද අපිට මුණ ගැහෙන සර්පයා ඊට වඩා හාත්පසින්ම වෙනස් කෙනෙක්. මෙයත් හරිම දරුණු සටන් කාරයෙක්. හැබැයි එයා සටන් කරන්නෙ එලියෙදි මුණගැහෙන කට්ටිය එක්ක නෙවෙයි. එයා ඇටෑක් කරන්නෙ එයාටමයි. ඒකෙන් එයා පිරිපහදු කරගන්නෙ සැරින් සැරේ තමුන්ගෙ චින්තන වැඩබිමේ ගැඩවිල්ලො වගේ මතුවෙන අසමතුලිත ලප කැළැල් වල සංඝටක වගේ දේවල්. එයා හැම වෙලාවකම වගේ කරන්නෙ ලෝකය ප්රශ්න කරන එක. ඒ ප්රශ්න සහගත ගැටුමෙන් තමයි එයා පෝෂණය වෙන්නෙ. මෙයත් හැම මොහොතකම එක එක හැඩයෙ සාහිත්ය ඉසව් සම්භාරයක් අතරෙ කරක්ගහන එක්තරා විදිහක රස්තියාදුකාරයෙක්. පාඨක අපේ සන්තානයන් හොල්ලල පොළොවෙ ගහන්ට සමත්වුණු ' සර්පයෙකු සා සටන් වැද " කෙටිකතා පොත පූරකයෙක් විදිහට ගත්තත් කවි , පරිවර්තන දහයක්, දොළහක් වගේ ගණනක් මේ හිතුවක්කාර සර්පානුසාර ලියන්නාගේ ලැයිස්තුවට ඇතුළත්. කේ කේ සමන්කුමාර කියන සර්පයගෙ භෞතික රූපකාය සමානවෙන්නෙ සර්පයෙකුටම තමයි. ඕනෑම ගුලකින් රිංගලා යන්න පුළුවන් සිරුරකට අයිතිවාසිකම් කියන අපේ කාලයේ සර්පයා, තියුණු උල් සහිත කටුපඳුරු ගාලක් අස්සෙන් වුණත් ඉදිරියට ඇදෙන්නෙ, සුමට සිනිඳු මතුපිටක් මත්තෙන් හරිම සුවදායකව ලිස්සලා යනව වගේ. මේ වතාවෙ මට සර්පයා හම්බවෙන්නෙ අවුරුදු පහළොවකට විතර පස්සෙ. මීට කලින් අන්තිම වතාවට මම දැකපු සර්පයා හරිම ආවේගශීලිව ශබ්දනගන්නෙක්. නමුත් මේ වතාවෙ හම්බවුණේ, හෙමින් කතාබහ කරන තැන්පත් සර්පයෙක්. එයා දැන් එයාඑක්කම ගැටෙන්නෙත් හරිම සංයමයකින්. ඒ නිසා ඔබටත් මටත් කිසිම බයක් හැකක් නැතුව ගැඩවිලි පණුවන්ගේ වේශයෙන් කොහේ හරිතැනක මතුවෙලා නලියන ගමන් එක්කෙනෙක්, දෙන්නෙක් හෝ රංචුවක් විදිහට හරි එයත් එක්ක සාමීචියේ යෙදෙන්න පුළුවන්. සර්පයා එතෙන්ට ඇදුනත් එයත් සාවධානව ඒ සංවාද බිමේ එකත්පස් වෙනවා සත්තයි. හැබැයි කිසිම කෙනෙකුට නළා පිඹල නං මෙයාව මෙල්ල කරගන්න බැහැ. අතීතයෙදි මට මුණගැහුණු නිරීක්ෂණශීලි, ගවේෂණශීලි, සංවාදශීලි සර්පයා නං තාමත් මෙයා ඇතුළෙ ඉන්නවා. සමහරු නං මෙයාගෙ වලිගෙ එල්ලිල ගොඩ යන්ටත් වලිකනවා. සර්පයා අහුවෙයි ඒවට.
සමන්කුමාර ගලඋඩ ඉස්කෝලෙ ඉගෙනගත්තු කාලෙ එයාගෙ සුවිශේෂී හිතන පතන ක්රමවේදය තියුණු කරගන්න ටෝච් එක අල්ලපු ගුරුවරයෙක් වුණ සමරසිංහ ගුණසේකර මහත්තයගෙන් දවසක් මම අහනවා ගුණසේකර මහත්තයෝ ඔහේගෙ ලැටරල් තින්කිං වලට අනුගත කේ කේ සමන්කුමාර කියන ගෝල සර්පයා ඔබතුමා නිර්වචනය කරන්නෙ මොන විදිහටද?
මෙන්න එයාගෙ උත්තරේ............
" මහත්තයෝ සර්පයා කියල කියන්නෙ නිර්මාණශීලි උන්මත්තකයෙක්. ඒ ජාතියේ තව බඩුවක් මේ ජීවිත කාලෙදි ආපහු හම්බවෙන එකක් නෑ ............"
වචන ඇමිණීම සහ පොටෝ හැහීම
- හේමන්ත අරුණසිරි -
No comments:
Post a Comment