Friday, October 13, 2017

ඩියුරාසියානු ප්‍රේමාතුරභාවය ගැන......




-ලේඛකයො හරි, ටැක්සිකාරයො හරි, රැකියා වියුක්තයො හරි, පුවත්පත් කලාවේදියො හරි සේරටම කලින් පිරිමි කියන්නෙ පිරිමි. විෂම ලිංගික වුණත් සම ලිංගික වුණත්. එකම වෙනස සමහරු ඔබට කියනවා ඔබ ඔවුන්ව මුණ ගැහුණු සැණින් ඒක වෙනවා කියලා, අනික් අය තව පොඞ්ඩක් ඉන්න කියලා කියනවා.



මාගරිටා ඩියුරාස් අවුරුදු හතළිහකට වැඩි කලක් ප්‍රංශ ජනතාව බිය වැද්දූ මෙන්ම පිස්සු වැට්ටවූ නවකතාකාරිනියක, කෙටිකතාකාරිනියක, නාට්‍ය මෙන්ම තිර රචිකාවියක, චිත්‍රපට අධ්‍යක්ෂකවරියක, කොමියුනිස්ට්වාදිනියක, සාහසික සමාජ අටුවාචාරිනියක වූවාය.

වියට්නාමයේ අහී දුප්පත් ළමා විය, ප්‍රංශයේ අරගලවල ඇගේ දායකත්වය, නාසි විරෝධය, ඇගේ කොමියුනිස්ට්වාදී බව මෙන්ම පක්ෂය සමග ඇගේ පරම අරුචිය, ඇගේ විවාහයන් දෙක, සහ බොහෝ අනියම් සබඳතා, 1982දී මධ්‍යලෝලීත්වය නිසා මරණයට ඔන්න මෙන්න තියා ගොස් සුවපත් වීම, 1988දී මාස කිහිපයක අධිමූර්ජාවෙන් ආශ්චර්යයකින් මෙන් ප්‍රකෘතිභාවයට පත්වීම, අධික දුම්පානයෙන් ස්වාස නාලය ඉවත් කළත් පිළිකා තත්වයට ගොදුරු නොවීම යන කාරණාවන් මාගරිටා ඩියුරාස් වනාහී සොබාදහමේ බලයක් ලෙස කල්පනාවට නංවන්නට හේතු භූත විය.

ඇගේ හතළිස් අටවන කෘතිය ලෙස ස්වයං ස්මරණාපදානමය නවකතාවක් වන  The  Lover  1984දී, එනම් ඈ හැත්තෑවන වියේ පසුවෙද්දී ප්‍රකාශයට පත් විය. මෙම නවකතාව මිලියන දෙක හමාරකට අධික පිටපත් සංඛ්‍යාවක් අලෙවි විණි. 1991 වන විටම චීන උප භාෂා තුනක් ඇතුළුව විදේශ භාෂා විසිනමයකට එය පරිවර්තනය වී තිබිණි. තවත් ටික කලකදී එය භාෂා 43 කට පරිවර්තනය වී තිබිණි. මේ වන විට එහි ඉංග්‍රීසි පරිවර්තනයේ 139 වන මුද්‍රණය එළි දක්වා ඇත. එය ප්‍රංශයේ මහත් ගෞරවනීය සාහිත්‍ය සම්මානයක් වන ගොන්කූර් සම්මානයෙන් පුද ලැබුවේය. අද්විතීය ප්‍රංශ සිනමාකරු ජාන් ෂාක් අනාද් එය සිනමා කාව්‍යයකට නැගුවේය.
නිදහස් පර්යේෂණාත්මක සිනමාකාරිනියක වූ ඇය මෙම කෘතියෙන් පසු ඇගේ 18 වන සිනමා නිර්මාණයට අත තැබීය. The North China Lover මෙහි එන අමු ද්‍රව්‍යයම පාදක කොට ගනිමින් ඈ ලිවූ ඊළඟ නවකතාව විය. උතුරු චීනයේ ආදරවන්තයා නමින් නිරෝෂීණී ගුණසේකර විසින් එය සිංහලට නගනු ලැබිණි.

මාගරිටා ඩියුරාස් (1914-1996) සම්භාව්‍ය නවකතාව ප්‍රතික්ෂේප කරන නව්‍ය නවකතාව ( Neo Novel    ) නම් 1950දී ප්‍රංශයේ බිහිවූ සාහිත්‍ය ව්‍යාපාරය නියෝජනය කළාය. ඇලන් රොබ්ග්‍රිලේගේ කෘතීන් මෙන්ම නව යථාර්ථවාදී ( Neo Realist), ප්‍රති නවකතා Anti Novel ), දත්ත ප්‍රබන්ධ ( Faction- fact+ fiction   ) යන විරුදාවලීන් ඇගේ කෘතීන්ටද පටබැඳිණි. අල්පෝක්තික බවත් ( Minimal), අමූර්ත බවත්, කාව්‍යමය මෙන්ම නයනකාන්තමය ප්‍රභාවශීලවාදීත්වයත් ( Pictureqse & Impressionistic),  සිනමානුරූපීබවත් ඇගේ කෘතීන් තුළ මූලික ලක්ෂණ වේ. ඇගේ භාෂා භාවිතය ස්ත්‍රීමය ලේඛනය මූර්තිමත් කරතැයි ස්ත්‍රීවාදීන් අතර මහත් සේ කතාබහට ලක්විණි. ඇගේ නවකතා චරිත විවරණවලින්, වැඩිමනත් දෙබස්වලින්, විශේෂණවලින්, උධෘත සලකුණුවලින් තොරය. ඒවා ආඛ්‍යානය මගින් ඉදිරියට ගමන් නොකරන අතර, සංකීර්ණ මෙන්ම පරස්පර හැඟීම්වලින් මෙන්ම, ඒවාට ආවේණික නොඉවසිලිමත් බවේ නිදැල්ලේ යන මනෝ විද්‍යාත්මක සුපරීක්ෂාවෙන් ඉදිරියට යයි.


සුප්‍රකට නාට්‍යවේදී පීටර් බෘාක් ප්‍රතිනවකතාමය පරපුර ගැනත්, ඇය ගැනත් කියන්නෙ මෙහෙම:

“ඔවුන්ගේ න්‍යායගත කිරීමත්, සම්ප්‍රදායික නවකතාවෙන් ඔවුන්ගේ බිඳීමත් ප්‍රත්‍යක්ෂයි වගේම අංග සම්පූර්ණයි. ඒත් ඒ මුළු පරම්පරාවෙන්ම ඩියුරාස් තමයි ඇත්තෙන්ම කෙළවරටම ගිය කෙනා.”

-පීටර් බෘාක්

ඇය තමා ගැන මෙහෙම කියනවා:

“මං බොනවා මං මධ්‍යලෝලී නිසා. මං ලේඛකයෙක් විදිහට හැබෑ කෙනෙක් වුණ හින්දා. මං හැබෑ ලේඛිකාවක්, මං සැබෑ මධ්‍යලෝලිනියක්. මං රතු වයින් බීලා නින්දට වැටෙනවා, ඊටපස්සෙ රෑට කොඥ්ඥක්, හැම පැයකටම වයින් වීදුරුවයි, උදේට කෝපි එකෙන් පස්සෙ කොඥ්ඥකුයි. ඊටපස්සෙ මං ලියනවා. මං ආපහු හැරිලා බලද්දි මාව ලියන්න මෙහෙය වුණේ කොහොමද කිව්වොත් ඒක තමා මහම පුදුම දේ.”

මරණයට වසර පහකට පෙර 1991 දී කළ සම්මුඛ සාකච්ඡාවකදී ඈ එසේ කීවාය. ඈ මධ්‍යලෝලීත්වය හඳුන්වන්නෙ දෙවියන් නැතිකම පුරවන දෙයක් විදිහටයි. මරණය, වියපත්වීම, ආලය, අනුරාගය ඇගේ කෘතීන් තුළ එකට කැකෑරෙනවා. ප්‍රේමාතුරයාහි ගංගාව, එහි ගලායාම, වෙනස්වීමත්, ජීවිතයත් එකට කැටි කර ගන්නවා. මුල ඉඳන් අග වෙනකන් හැමවිටම ගංගාව තරණය කරන රූපය විටින් විට අපේ හිතේ ඇඳෙනවා. මේ තරණය කිරීම පශ්චාත් යටත් විජිත පසුබිමක විවිධාකාර සීමාමායිම්, පංතිමය මෙන්ම වාර්ගික සීමාමායිම්ද තරණය කිරීමක්. ඒ විතරක් නෙමේ සමාජ ලිංගිකත්වයේ හා ස්ත්‍රීපුරුෂ සමාජභාවයේ  සීමාවන් තරණය කිරීමකුත් ඉන් ඉඟි කෙරෙනවා.


ඩියුරාස් උපන්නෙ සෙයිගොන් අසල ගමක 1914දි. ප්‍රංශ ඉන්දු චීන උප විදුහලක ගණිතය පිළිබඳ මහාචාර්යවරයකු වූ ඇගෙ තාත්තා 1918දී මිය යනවා. මාග්‍රිට් ඇගෙ අයියයි, මල්ලියි, අම්මයි එක්ක ජීවිතේ අගහිඟකම් මැද අතරමං වෙනවා. අවුරුදු හතරෙදි තාත්තාගෙන් වෙන්වීම ගැන ඈ කියන්නෙ මෙහෙම:

ප්‍රශ්නය- ඔබේ පොත්වල යටින් දිවෙන නිධන්ගත භීතිකාවක් පේනවා. ඒක එන්නෙ ඔබේ ළමා කාලෙන්ද?

ඩියුරාස්- ඒක ලිංගික බියක්, පිරිමි ගැන බියක්, මොකද මට තාත්තා කෙනෙක් ඉඳලා නැති නිසා. මං දූෂණය වෙලා නෑ, ඒත් මට දූෂණය දැනිලා තියනවා, සේරම පුංචි කෙල්ලොන්ට වගේම.

වයස අවුරුදු දාහතේදී ගණිත (පසුව නීති උපාධිය) උපාධිය සඳහා සෝබෝන් විශ්ව විද්‍යාලයට යන තෙක්ම ඩියුරාස් ආසියානු දැරියක් හැටියට ජීවත් වුණා.  චතුර ලෙස වියට්නාම් බසින් දෙඩුවා. ඇගෙ ළමා විය වනචාරී නිදහසකින් පිරී ඉතිරී ගිය එකක්. fදාළොස්වැනි වියේදී ඈ උමතුබව කියා හඳුන්වන්නට ප්‍රමාණවත් තරම් බරපතල භාවමය අර්බුධයකට වැටුණා. එතැන් සිට ඇගේ ජීවිතයේ ඉතිරි කාලය තුළත් ඒ උමතුව දකින්නට පුළුවන්.

“අපරාධකාරයො කියන්නෙ මට නං වීරයොෟ”

ඇගේ ඒ කියමන සමාජ අසාධාරණය පිළිබඳ ඇගේ කැකෑරෙන ආත්මය එළියට පැනීමක්. ඇගේ සෝබොන්හි නීති උපාධිය ධනේශ්වරයට නම් සේවය කෙරෙන්නක් වෙන්නෙ නෑ. සමාජ ව්‍යාපාරයන්හි, දේශපාලනයේ ඇගේ දායකත්වය වගේම නූතන සාහිත්‍යයේදී ඇගේ මෙහෙවරත් සුවිශේෂයි.

බල්සාක් ගැන ඈ කියන්නෙ මෙච්චරයි:

‘බල්සාක් හැමදේම, හැමදේම විස්තර කරනවා. ඒක ඕනවට වැඩියි...... ඒවයෙ පාඨකයාට තැනක් නෑ. තවදුරටත් කාටවත් බෑ බල්සාක් ලිව්වා වගේ ලියන්න. බල්සාක්ට කවදාවත් පුළුවන්කමක් තිබුණෙ නෑ මගෙ ‘ලොල් ස්ටෙයින්’ වගේ පොතක් ලියන්න.’

ලිවීම ගැන ඈ හිතන්නෙ මෙහෙම:

‘ලිවීම කියන්නෙ නිකම්ම කතා කියන එක නෙමේ.... ඒක කතාවක් ගැන කීමක් වගේම කතාවක් නැතිකමයි. ඒක කතාවක් නැතිකම ඔස්සේ කතාවක් කීමයි.’

තවද ඈ මෙහෙම කියනවා:

‘මං ලියන්න පටන් ගද්දි මං දන්නෑ කොහෙද යන්නෙ කියලා. ඔබට විෂය වස්තුවක් තිබිය යුතු නෑ. ඔබට තියෙන්නෙ කැලෑව ඇතුළට යන්න. ඔබ බය වෙන්න ඕන්නෑ වගේම එහෙම්පිටින්ම හුදකලාවෙදි ඒක එනවා..  ආදරය ගැන, මෝඩකම ගැන කතා, ඒවා ඒවට ආවේණික විදිහට එනවා. හරියට ඔබ අන්ධයෙක් වගේ ඇවිදිනකොට ඉදිරියට එන දේවල් වගේ.’

ඇගේ ජීවිතයේ අවසන් කාලයේ ඈ සමග උන් ඈට වඩා වසර හතළිස් පහක් බාල පෙම්වත් මිතුරාවූ යාන් ඇගේ මධ්‍යලෝලීත්වය සමග වූ අරගලය පොතක් බවට නැංවූවේය.


ඔහු ඈ සමග කළ කතාබහකින් කොටසක් මේ:

යාන්- ඔබ තාමත් කොමියුනිස්ට්වාදිනියක්ද?

ඩියුරාස්- මං කොමියුනිස්ට්වාදිනියක්. ඒක මගෙ ඇතුළෙ තියන හොඳ කරන්න බැරි මොකක්ද එකක්.

යාන්- ඒත් ඔබ පක්ෂය දාලා ගියා.

ඩියුරාස්- පක්ෂය කියන්නෙ කොමියුනිස්ට්වාදය නෙමේ.

යාන්- අවුරුදු ගානකින් මොකක්හරි සැබෑ කොමියුනිස්ට් ආණ්ඩුවක් ඇවිත් තියනවද?

ඩියුරාස්- එකක් නෑ. එක කොමියුනිස්ට් අවුරුද්දයි තිබුණෙ. 1917.

යාන්- ඔබ බලාපොරොත්තු වෙනවද මොන ජාතියෙ හරි කොමියුනිස්ට්වාදයක් ආපහු ලෝකෙට එනවා දකින්න.

ඩියුරාස්- මං දන්නෙ නෑ. මට දැනගන්න ඕනෙත් නෑ. මං මගෙ ඇතුළතින් කොමියුනිස්ට්වාදිනියක්. මං තවදුරටත් ලෝකෙ ගැන බලාපොරොත්තු වෙන්නෑ.

(ඇගේ පෙම්වතා සිනාසෙයි.)
යාන්- අනිත් ලෝකෙදි? ඔබ බලාපොරොත්තු වෙනවද ඊළඟ ලෝකෙදි?

(ඇයද සිනාසෙයි.)

No comments:

Post a Comment