Friday, October 13, 2017

නේරංජනා ශාසනය



හෂිත අබේවර්ධන -
2017 මැයි

‘නේරංජනේ ඉස්නානේ’ කියවීමට ලැබුණු පසු සාහිත්‍යය ගැන එතෙක් දරූ අදහස් සුන්නද්දූලි වී යයි.

අපි දන්නා සුසාධිත සාහිත්‍යයට, මුල මැද අග කලණ වූ සාහිත්‍යයට, වඩා වෙනස් සාහිත්‍ය ධාරාවන් ඇති බව අසා ඇති මුත් ඒවා කියවීමට ලැබෙන තෙක් ඒ ගැන අදහසක් පහළ වන්නේ නැත. එතෙක් බෞද්ධ සාහිත්‍යය කොටස් ලෙස උපුටා දක්වමින් ගොඩනැගුණු සාහිත්‍ය කෘතීන්ට සපුරා වෙනස් ව නේරංජනේ ලියවෙයි. ඉන් පසුව ඇත්තේ වෙනස් ඉතිහාසයකි. ඒ කෙසේද කිවහොත්, ‘පලිගැනීම’ හා ‘ප්‍රබුද්ධ’ ලියවුණු පසුව කාව්‍ය රචනා වෙනස් වූවා මෙනි.

බෞද්ධ ප්‍රඥා මාර්ගික සාහිත්‍යය ලෙස සමන් කුමාර විසින් නම් කරන සාහිත්‍ය ධාරාව උපදින්නේ
‘ප්‍රබුද්ධ’ ලියවුණු පසුව යයි ඔහුම කියයි. ‘ප්‍රබුද්ධ’
ලියවෙන්නේ එතෙක් ගොඩනැගුණු සමාජ-දේශපාලන සන්දර්භයේ ධ්‍රව දෙක වන සමාජ විමුක්තිය හා පුද්ගල විමුක්තිය අතර වන උභතෝකෝටිකය මත පිහිටමිනි. එමගින්
මහගමසේකර රූපණය කරන පසු නිදහස් ශ්‍රී ලංකාවේ දේශපාලන
අර්බුදය ‘ප්‍රබුද්ධ’ පළ වී දශකයක් ගතවන්නට පෙරතවත් තියුණු වන්නේ ස්ත්‍රීවාදයේ ආගමනයත් සමගිනි. නිදහස් ලංකාවේ ස්ත්‍රිය කවුද යන ප්‍රශ්නය තීව්‍රව මතු වන්නේ
80 දශකයේ  මැද සිටයි. ඒ වන විටද වෘත්තීය කාන්තාවන්, ප්‍රසංග
ක්ෂේත්‍රයේ කාන්තාවන් ඇතුළු වෙනත් ජීවිත වීථි නියෝජනය කරන කාන්තාවන් බිහිව සිටිය නමුත් ස්ත්‍රියගේ භුමිකාව
ගෘහස්ථය වෙතම නැමී තිබුණි. එකී සම්ප්‍රදායික භූමිකාව
අභියෝග කරනු පිණිස උපත ලද ලංකාවේ මුල්ම
ස්ත්‍රීවාදීහු එයට අනුපූරක ලෙස පසුව පැමිණි මෘදු ලෙස
කුටුම්භය අභියෝග කරන ස්ත්‍රී පුරුෂ සමාජභාව
කතිකාවේද වෙළඳ නියෝජිතයින් බවට පත් වූහ. ස්ත්‍රීවාදයද ඉන් පසුව ‘ඔබ කාන්තාවන් ගේ යහපත පිණිස කුමක් හෝ කර ඇත්නම් ඔබ ස්ත්‍රීවාදියෙකි’ යන උපයෝගීතාවාදී පාඨය දක්වා
ඌනනය විය.

නමුදු විය යුතුව තිබුනේ ශ්‍රී ලංකාවේ පසු යටත් විජිත කතිකාව ස්ත්‍රීවාදය හා ස්ත්‍රීන් විසින් සමතික්‍රමණය කිරීම
වුවත්, සිදු වූයේ ස්ත්‍රීන් කාන්තා බලගැන්වීමේ
ව්‍යාපෘතිවල හා සංවිධානවල බලකණු වෙමින් අධිපති කතිකාවේ
නියෝජිතයින් වීමයි. එමගින් ඔවුන්ගේ භූමිකාව සේවක-
සේව්‍ය  සම්බන්ධතාවක් ලෙස විපරීත කළ අතර, කාන්තා නායකත්වය විසින් අභියෝගයට ලක්වීම වැළැක්වීම සඳහා ‘කාන්තා ග්‍රාම සංවර්ධන සමිති’ ඇතිකර ඔවුන්ව කොන්කර දැමුව අයුරින්ම ‘කාන්තා නායකත්වය’ කොන්කර ‘උපදේශක’ මට්ටමකට සීමා කර දැමිණි.

කාන්තා සාහිත්‍යය එලෙසම ගැහැනියගේ කායික කැරැල්ල දක්වා ඌනණය කර අධිපති පුරුෂයාගේ ‘සැප
කාන්තාව ( decolonisation )’ වීමෙන් ඔබ්බට භෞතික ලෝකයේ ගමනක් නැති ස්ත්‍රියක් බවට සීමාකර තිබුණි. නේරංජනේ ලියන්නේ පිරිමියෙකු වීම එනයින්
ඉතිහාසයේ සරදමක් ලෙස සැලකිය හැකිය.  එලෙසම ලාංකික
සන්දර්භයේ ඇති ලොකු කුඩා සංකේත ස්වීකරණය
කරගැනීමට බොහෝවිට අසමත් වූ සාහිත්‍යය සමන් කුමාර  විසින් ස්ත්‍රීකරණය කිරීම ‘ශ්‍රී ලංකාවේ යටත්විජිත හරණ
decolonisation )’ ව්‍යාපෘතියේ ලොකු පිම්මකි. මහගමසේකර සිය පරිනතියෙදී යසෝදා, අම්මා, නිරංජලා, ගණිකාව ඇසුරු කොට ගොඩනගන බහු මුහුණත් ගැහැනිය ප්‍රබුද්ධ ගේ ආනුෂංගික කොටස් වෙනවා මිසක කේන්ද්‍රයක් තනන්නේ නැත්තේ ඒ යුගයට අනුවයි. සමන් කුමාර ස්ත්‍රියට තනා දෙන ඉනිමග ඇය නේරංජනාවට, ගයා ශීර්ෂයට,
කුඹුක් මූලයට වැඩමවා ගෙන යාමයි.

නේරංජනේ, බෞද්ධ සාහිත්‍යයට අමතක වී ගිය, න්‍යායේ සඳහන් කිරීමට අවශ්‍ය තරම් බැරෑරුම් යයි තකා නැති මූලික සිද්ධාන්තයක් ප්‍රකාශ කරයි. ඒ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥානා දී පංචස්කන්ධයන් ස්ත්‍රී පුරුෂ
යනුවෙන් බෙදා වෙන්කළ නොහැකි බවයි. එසේ බෙදා වෙන්කළ තැනක් මෙතෙක් හමුවී නැත. එසේ වන්නේ නම් පටිච්ච
සමුප්පාදයද ස්ත්‍රී හෝ පුරුෂ හෝ නොවෙයි. එය විඥානයම පමණක් වෙයි. එසේ වන්නේ නම් නිර්වාණය ස්ත්‍රී හෝ පුරුෂ නොවෙයි.  සමන් කුමාර එහිදී ස්වයංඝාතක මෙහෙයුමක නිරත වෙමින් ස්ත්‍රිය බුදු කරවීමට තැත් කරයි. කතුවරයා මිය ගියද බුදුවරිය කම් වූ පරිද්දෙන්ම පහළ වූ වගක් අසන්නට නැත.
එතැන් සිට ශාසනයේ කතාව කියවා ගත යුතුය. ශාසනය පහලවූ කෙනෙහි ශුන්‍යතාව නසී. එනිසා ශාසනය උභතෝකෝටික වෙයි. එය පැවතීමෙන් ධර්මය පවත්නා නමුත් එය මාර්ගය වෙත යොමු නොකරයි. අනෙක
චාරිත්‍රයන්ගෙන් නූතනකරණය කෙරෙන ශාසනය  මාර්ගය වසා අගුලු ලයි. එනයින් ශාසනය මාරයා වෙයි. මාරයා
ශාසනාරක්ෂක වේශයෙන් පහළ වෙයි. ධර්ම දේශනා කරයි. ධර්මය අර්ථකතන විද්‍යාවක් වෙයි. අර්ථකථනය ධර්මයද, ශාසනයද ලෙස වන්දනා කෙරෙයි.

‘බෞද්ධ ප්‍රඥා මාර්ගය’ නම් මේ අගුලු හැරීමයි. අර්ථකතනය වෙනුවට ප්‍රතිමුඛ කිරීම මගින් වටහා ගැනීම, ප්‍රඥාව ඇති කිරීමේ මග පෑදීමයි. සාහිත්‍යය
පවතින්නේ මාර්ග සත්‍යයක් ලෙස නොවුවත් මාර්ගය පාදනු පිණිස එල්ල කරන ‘වාන් කැත්තක්’ සේ ක්‍රියා කිරීම සාහිත්‍යයෙන්
අපේක්ෂිතය. සමන් කුමාර එහිදී කැති ගාන්නේ සාහසික අයුරිනි.
එනිසාම බුදුවරියට ශාසනයක් පිහිටුවා ගැනීමට නොහැකි වෙයි. ශාසනය නොපවත්නා නිසාම ප්‍රඥාව නිදහස්ව පවතී. එනිසාම ධර්මය අර්ථකතන රහිතව කර්ම වාර්තාවක් ලෙස කියවා ගත හැකි වෙයි. එනිසාම නේරංජනේ පළ වී
දශකයකුත් අඩක් ගෙවුනද එහි කර්ම අර්ඝ නොවී පවතී. ඒ කෙසේද යන්න එකී අවුරුදු ගණනාව ගත වන විට පහළ වූ ශාසනයන්ද, ශාසනයන් මඩිනු පිණිස ඇති වූ ශාසනයන් ද, ශාසනයන් මැඩී යාම නිසා ඇති වූ ශාසනයන් ද යන මෝහ පටලයන් පෙර දුටු නේරංජනේ වෙළඳපොලෙන් ඉවත් කර තැබීම, එකී සියලු ශාසනයන්ගේ මෙතෙක් පැවැත්ම කෙරේ හේතු විය.

නේරන්ජනේ සාහිත්‍ය කෘතියක් ලෙස වැදගත් වන්නේ එය පහල වූ ගර්භාෂයේ සිට විභාග කිරීමට එයම සමත් වන නිසාය. එනිසා එය නැවත කියවිය යුතුය.

ආයිත් කියන්!

සංසාරය පුරා අනවරතව ඇසෙන එක් හඬක් වේ නම් ඒ අවිත්තියාගේ හඬයි.

https://www.youtube.com/watch?v=lBqy3ajUeQU&t=5s

No comments:

Post a Comment