Tuesday, December 5, 2017

සිරුරේ වෙනත් තැන් වෙනුවට රෝමයන් කෙළින් කරවයි- අර්ධ නාරී

Androgynous Literary Experience in Sinhala Novel.
First Sri Lankan Chinese boxes total novel.
මේ පොතෙහි අග කවරයේ පොත ගැන සටහන්ව තිබූවකි.
Androgynous යන්න ශබ්දකෝෂයන්හි අර්ථදැක්වෙන්නේ “ partly male and partly female in appearance; of indeterminate sex.” ලෙසය. සුචරිත ගම්ලත් මහතා සිය ශබ්දකෝශයේදී ඒ සඳහා දෙන සිංහල අරුත වන්නේ ' ද්විලිංගික ' ලෙස යි.
නමුත් මේ කතා ගොඩකින් ගොඩනැඟුනු කතාවෙහි කතුවරයා එහි එක් ප්‍රධාන චරිතයක් 'සංක්‍රාන්ති ලිංගිකාවියක්' ලෙස මුලදීම හඳුන්වා දීම මඟින් කතාව හා ද්විලිංගිකත්වය අතර සරල සමීකරණයක් ගොඩනංවාගැනීමට ඉඩක් නොදෙයි.

Chinese Boxes යනු එකක් තුල එකක් ගබඩා කල හැකිවනසේ සැකසූ පෙට්ටි කිහිපයකි. අන්තර්ජාලය අනුව මෙම සංකල්පය සාහිත්‍යය හා සමපාත වන්නේ සරලව 'කතා මැද කතා' ආකාරයේ ආකෘතියක් සමඟය. පහසුම උදාහරණ වන්නේ අරාබි නිසොල්ලාසය හා පංච තන්‍ත්‍රය යි. ඒ අනුව උම්මග්ගය ද මේ ගණයට වැටෙනු ඇතැයි සිතමි. ( උනන්දුවක් දක්වන අයෙකුට මේ පත්‍රිකාව හොඳ විය හැක. මා ද තවමත් කියෙව්වේ මුල පිටු තුන පමණි. Paradox of Chinese Boxes: Textual Heterarchy in Postermodern Fiction - BENZI ZHANGhttps://journals.library.ualberta.ca/…/artic…/view/3165/2526).
මේ කෘතීන් තුල කතා මැඳ කතා ලියැවෙන්නේ ආඛ්‍යානය තුලම වුව ද 'අර්ධ නාරී' තුල දී කතුවරයා සිය පරිකථා සඳහා කඩදාසිය තුලම සීමා සලකුණු කරයි. එකක් හතරැස් කොටු තුල ය. අනෙක පිටුවෙහි උඩ අර්ධයේ ය. තවෙකක් යට අර්ධයේ ය. අළු පැහැති පිටු තුල ය. කළු පැහැති පිටු තුල ය. තද කළු අකුරෙනි. සුදුවට ය.
මේ ආකෘතිකමය හරඹය නිසා මුලින්ම අපහසුවට පත් වුවත් මීට පෙර මෙම කතුවරයාම ඔහුගේ ඇතැම් කෙටිකතා තුලත් Manjula Wediwardena 'මගේ ආදරණීය යක්ෂණී' තුලත් මේ හා සමාන 'අමාරුවේ දැමීම්' කරතිබූ හෙයින්, මම එක කතාවක් කියවා අවසන අනෙක් කතාව කියවීම කළෙමි. එවිට ඔබට පිටු අංක නොසලකා හැරීමට සිදුවේ.
K.k. Saman Kumara තම බොහෝ කෘතීන්හිදී මෙන්ම මේ නවකතාව තුලත් සිය භාවයන් සංක්ෂිප්ත කොට ඔබා ඇති අතර කියවන්නෙකුට රිසි පරිදි එම ගැට ලිහාගෙන එහි ප්‍රහර්ශය විඳිය හැක. 'මහිලා වංශයේ' දී මෙන් වාක්‍ය හරඹ නොමැති හෙයින් සරල කියවීමක් රුචි අයෙකුට වුව ද තම නැණ පමණින් විඳගත හැකි කෘතියකි.
'අර්ධ නාරී' තුලදී කතුවරයා එහි ප්‍රධාන චරිත හතරම ඔවුන්ගේම මනෝභාවයන්හි, ආශාවන්හි, එසේත් නැත්නම් කතුවරයාම කියන පරිදි ක්ලේශයන්හි උපරිම අන්තයේදි හැසිරෙණ අයුරු ලියා දක්වයි. මේ චරිත හතරම Stress Test වලට භාජනය කරවයි. ( මෘදුකාංගයක් එහි සාමාන්‍ය භාවිත පිරිවිතරයන් හෝ අවස්ථාවන්ට වඩා වැඩි පිරිවිතරයන් හෝ අවස්ථාවන් තුලදී හැසිරෙන ආකාරය පරීක්ෂා කිරීම Stress Test වේ). ඒ තුලින් වඩා බියකරු ලෙස අපේම ආශාවන් තුල අපේ හැසිරීම ප්‍රශ්න කරවයි.
මෙම කෘතිය 'Androgynous' හෙවත් ද්විලිංගික නවකතාවක් වන්නේ මෙහි ප්‍රධාන චරිත හතරම විටෙන් විට දක්වන විරුද්ධ ලිංගික හැසිරීම් හෝ මනෝභාවයන් නිසා යැයි සිතමි. කතුවරයා උමයංගනා සංක්‍රාන්ති ලිංගිකාවියක් කරද්දී සවිඥානිකව හෝ අවිඥානිකව අනෙක් පිරිමින්ගේ ගැහැණු මනෝභාවයන් ද ගැහැණියගේ පිරිමි මනෝභාවයන් ද කතාව තුල උළුප්පා දක්වයි. තිරේසිස්ගේ කතාව තුලින් හා උමයංගනාගේ සැත්කමින් පසු මනෝභාවයන් විග්‍රහ කරමින් ලියවෙන කොටසින් ඒ උළුප්පා දැක්වීම වඩාත් ආලොකවත් කරව යි. කියවන සෑම ගැහැණියකුටම තමා තුල සිටින පිරිමියාත්, සෑම පිරිමියෙකුටම තමා තුල සිටින ගැහැණියත් අභිමුඛ කරවයි.
'අර්ධ නාරී' ශෘංගාරාත්මක කතාන්දරයකැයි කීවත් අන් ශෘංගාර කතාන්දර වලින් වෙනස්ව, සිරුරේ වෙනත් තැන් වෙනුවට රෝමයන් කෙළින් කරවයි.
අර්ධ නාරී - කේ කේ සමන් කුමාර - අහස පොතක්


Sunday, November 12, 2017

අකුරු - මහිලා වංශය

සිංහල ජාතියේ වංශ කතාව සංසාරාරණ්‍යය සහ සයිමන් නවගත්තේගම



සයිමන්ගේ නවකතා අලුතින් කියවීමකට හසුකිරීමට සමන් ගෙන ඇති අවංක උත්සාහය ප්‍රසංශා කටයුතු එකක්. ඒ සඳහා ඔහු අප්‍රමාණ වෙහෙසක් දරා තිබෙනවා. මේ විචාරාත්මක පොතෙන් සමන් අපේ ශාස්ත්‍රාලයීය බුද්ධිමතුන්ට විශාල අභියෝගයක් එල්ල කරනවා යැයි මා සිතනවා. විශ්වවිද්‍යාල සාහිත්‍ය ඇදුරනි, පුළුවන් නම් මේ වගේ පොතක් ලියලා පෙන්වන්න.

සුනිල් මිහිඳුකුල - අවසන් බොහීමියානුවාගේ ආඛ්‍යානය සොයායාම
- දෙසතිය 2010 මාර්තු 15

‘...තවමත් මෙරට ශාස්ත්‍රාලයීය අධ්‍යාපනය තුළ ඉහළම අදියරේදී වුවත් සාහිත්‍ය කෘතියක් කියවන්නේ චරිත නිරූපනය, සන්දර්භය වැනි අංග මතුපිටින් හඳුනා ගැනීමෙන් පමණි. එහෙත් සමන් ඉන් ඔබ්බට ගමන් කරමින් රෝලන්ඞ් බාත්, ෆූකෝ වැනි නූතනවාදයෙන් ඔබ්බට ගමන් කළ විචාරකයින් සහ ෆ්‍රොයිඞ්, කාල් යුං වැනි මනො විද්‍යාඥයන්ගේ න්‍යායයන් උපයෝගී කොට ගැනීම අගය කළ යුතු තත්වයකි. ගනනාථ ඔබේසේකර වැනි විශිෂ්ට පර්යේෂකයන්ගේ ලියවිලිවලින් මෙහිදී සමන් ආලෝකයක් ලබාගන්නා බව පෙනේ. ‘ස්වර්ණ වන්නියේ වල්ලි අම්මලා’ නම් සයිමන්ගේ නොපළ කෘතිය විවේචනයට යන සමන් සුනිල් විජේසිරිවර්ධනගේ ‘රත්නවල්ලි’ නාටකයද සමාන්තරව ගෙන අගය කළ යුතු සාකච්ඡාවක නිරත වෙයි. එහිදී මතු වන වැදගත් නිරීක්ෂණ ලෙස අප දකිනුයේ ජනශ්‍රැතිය හා මානව විද්‍යාව උපයෝගී කොට ගනිමින් පුරාණෝක්ති විග්‍රහ කර ගැනීමට සමන් දක්වන ශූරභාවයයි.  මෙය ඔහුගේ සංවේදී තුලනාත්මක පරිචය මතු නොව ලෙවී ස්ට්‍රවුස් ප්‍රමුඛ විද්වතුන්ගේ න්‍යාය ස්වාධීනව භාවිතා කිරීමට ලාංකීය විචාරකයකු ගත් උත්සාහයක් ලෙසද අගය කළ යුතුය...’

‘...ප්‍රාග් ඓ  තිහාසික ගවේෂණ පිළිබඳ දැරණියගලගේ මතය වෙත යාම, වන්නි ප්‍රදේශයේ නවගත්තේගම අනුභූතික දත්ත ලබා ගැනීමට ප්‍රාදේශීය ලේකම් චන්ද්‍රසිරි බංඩාර සමග එක්ව කටයුතු කිරීම තම න්‍යායාත්මක දේ ක්ෂේත්‍රයේ දකින්නට උත්සාහ කළ පර්යේෂකයකුගේ ගුණාත්මක බව කියාපායි...’ 

චින්තක රණසිංහ- 
සයිමන්, සමන්, සහ සිංහල ජාතියේ වංශ කතාවට ලියූ විමසුමක් 
-2008 අගෝස්තු 24- රාවය


Tuesday, October 31, 2017

පුමතිරි






ඇසු දුටු දේ: (නිමිත්ත)

“මොකද බං ඇඹරෙන්නෙ ගෑනියෙක් වගේ
කෙලින් හිටපංකො පිරිමියෙක් වගේ”

අල්ලපු ගෙදර පේමක්කා
එයා බැඳපු අයියා ට කියන්නේ
“තමුසෙ නම් ගෑනියෙක් ඕය්”

ඕල්කට් මාවතේ බඩුවක්
කස්ටමර් කෙනෙකුට කිව්වේ
“අඩෝ උඹ පොන්නයෙක්”

යාලුවෙක් මට කිව්වා
“මචං අපේ අම්මටය් තාත්තටය්
ගෘහණියක් ගෙ දෙපරැන්ද අස්සෙ 
පතිණියක් සොයද් දී
මං සොයා ගත්තා ගෑනියෙක්
පිරිමියෙක් වෙන්න මට”

“මතකද අර මල්කාන්ති
ඒකිත් දැන් සංක්‍රාන්ති”

“පත්තිනි මෑණිට ඇන්ඳේ
නාඹර රතු ගුරුන්නාන්සේ”

සර්පයාගේ “නේරංජනේ ඉස්නානේ” 
ගත වහපු හවුස් කෝට් එකේ
ඇතුලු වාටියේ තිබුණා

“පුරිස් කතුවර අමන අබිමන
නොමැති සුනෙරක විසූ මිනිසෙකි
පුම ඉතිරි ලිඟු වෙනස නැතිකොට 
උතුම් සුබසක් තැනූ මිනිසෙකි”

කේ. කේ. - එරික් ඉලයප්පාරච්චි



සිතූ දේ: 

පිරිමි ළමයි නිල් පාටය්
රෝසපාට ගෑනු ළමයි
අතුරු මිතුරු පවතිනතුරු
ගෑනු පිරිමි මල් පළතුරු

පිරිමි ගෑනු
ගෑනු පිරිමි
උඩයි බිමය්
බිමය් උඩය්

පිරිමි මූණු වය්වාරණ
ගෑනු මූණු වය්වාරණ

පිරිමි ඇඳුම් ආයිත්තම්
ගෑනු ඇඳුම් ආයිත්තම්

සපත්තු සෙරෙප්පු
සෙරෙප්පු සපත්තු

දාර මිට දිග ලොකු පිරිමි කුඩ
පාට මල් මල් පොඩි ගෑනු කුඩ

පිරිමි කටහඬ ගොරෝසුය්
ගෑනු කටහඬ සුසිනිඳුය්

පිරිමි ගැට
ගෑනු ගැට
දහන් ගැට
හතරවට

පිරිමින්ට පිරිමි වැඩ
ගෑනුන්ට ගෑනු වැඩ

කොණ්ඩ කපන්නය්
කොණ්ඩ බඳින්නය්
පච්ච කොටන්නය්
තෝඩු දමන්නය්

පිරිමි පිරිමි රිසි සුමියුරු වෙන්නය්
ගෑනු ගෑනු රිසි සුමියුරු වෙන්නය්
පිරිමි ගෑනු නෙක විසිතුරු වෙන්නය්
පිරිමි ගෑනු සම සමාජ වෙන්නය්

පිරිමි අර්ධ ගෑනු අර්ධ
සම්පූර්ණ මිනිසා

පිරිමි නම් ගෑනු නම්
දෙකලාව මෑත්කර
කුමට වග වාසගම්


-සරත් චන්ද්‍ර වල්පොල 


Saturday, October 28, 2017

ආශාව බහිෂ්කරණය කිරීම හෙවත් “නේරංජනේ ඉස්නානේ”



නදී වාසලමුදලිආරච්චි - 2017 මැයි

ප්‍රවිශ්ඨය


‘නේරංජනේ ඉස්නානේ’ හිසින් යුතුව කේ. කේ. සමන් කුමාර විසින් රචිත ස්ත්‍රී ස්කන්ධයක් බුදුබව ලැබීමේ /බුද්ධත්වයට පත්වීමේ ඵෙතිහාසික වියමන දෙස බලන විට එයට පිවිසිය හැකි යතුරු කිහිපයක් කියවන්නිය අතට එකවර පත්වීම නොවැලැක්විය හැක. පළමුවෙන්ම උත්කර්ෂවත් ලෙස හමුවනු ඇත්තේ එහි කතුවර කේ. කේ. සමන් කුමාරය.


දෙවැන්න ලෙස බලය කේන්ද්‍රගත ආයතන, ආගමික සංස්ථා හා පද්ධතිගත දැනුම හා සංස්කෘතික නිර්මිතයන්ද තෙවැන්න ලෙස මනෝ විශ්ලේෂණයද...... ආදී වශයෙන් ‘යතුරු ගණනාවක්’කියන්නිය අතට පත්වනු ඇති. නමුත් වඩාත් සුවපහසු
පිවිසුම් යතුර වන සමාජ හා මානව විද්‍යා ප්‍රවේශයක් මුලින්ම ලබා ගැනීම මගේ පෞද්ගලික කැමැත්ත වන වග මෙහිලා සඳහන් කිරීම වටි. මෙම ලිපිය, කියවන්නිය විසින් මානව වංශ විද්‍යාවේ එන ස්ත්‍රියගේ පරම ආශාවේ සිට සමාජ සංවිධාන දක්වා පුළුල් විෂයක කෙටි කරුණු දැක්වීමක් ලෙස පාඨනය කිරීමෙහි / කියවීමෙහි වරදක් මම මෙහිදී නොදනිමි.

අතීත වේදනා බහිෂ්කරණය කරනු වස් ඔබ විසින්  ප්‍රතිමා ඉදිකරනු ඇත. අතෘප්තකර ආශාවන් බහිෂ්කරණය කරනු සඳහා ඔබ ප්‍රතිරූප නිර්මාණය හෝ වන්දනාව කරනු ඇත.

අද දවසේ ඔබට හමුවන ස්ත්‍රිය ‘සැබෑ ස්ත්‍රිය’ ලෙස ඔබ වරදවා වටහාගෙන ඇත්නම් වහා එය නිවැරදි කරගන්න. ඔබට මුණගැසෙන්නේ ‘සැබෑ ස්ත්‍රිය’ නොවේ. සැබෑ ස්ත්‍රිය  කියා දෙයක් / අයෙකු ඇත්තේ නැත. සැබෑ පුරුෂයෙක් යැයි කියා අයකුද / දෙයක් ද ඔබට හමු නොවනු ඇත. සියල්ල මැනිපියුටෙඞ්ය. සිමියුලේක්‍රමිකය. ‘සැබෑවෙහි පැවැත්ම නිෂ්පාදන ලෝකය විසින් අතික්‍රමණය කර ඇත’යි  යන මූලික - සරල අදහස සිහියේ තබාගෙන මෙම ලිපිය කියවීම වඩාත් සුදුසුය.

මානව වංශ විද්‍යාව අනුව ස්ත්‍රියගේ පරම ආශාව දරුවන් වැදීම වන්නේ හෝ වන්නේ විය යුතුය. තවදුරටත් ශේෂව ඇති අග්‍රේෂ තත්වයෙන් බැහැරව පූර්ණ විකසිත මානව වර්ගයක් කරා යන ගමනේ මීළඟ ‘අතිශය දියුණුයැයි සම්මත’ මානවයා වර්ගයාගේ ජනිතෘ බිහි කිරීම සඳහා ස්ත්‍රිය හැකි උපරිම සාධාරණ පරිසර පද්ධතියක් යටතේ සූදානම් කරවීම සොබාදහමේ වඩාත් ප්‍රමුඛතම මෙන්ම ප්‍රබලතම අභියෝගාත්මක කාර්යයක් හෝ ප්‍රමුඛතම කාර්යය වන අතර
බියුටිෆිකේටඞ් මෙන්ම වෙළඳපොළ/මාධ්‍ය හරහා මැනිපියුලේටඞ් වී ඇති සිමියුලේක්‍රමික උත්සවකාරී ස්ත්‍රිය මෙම සොබාව ධර්මයාගේ උත්කෘෂ්ඨ ‘සද්කාර්යයට’ මේ වන විට දැවැන්තම අභියෝගය එල්ලකොට හමාරය.

පිටමත සැඳෑල දමා ස්ත්‍රීන් පිට නැගීයාමේ මුඛ්‍ය අධ්‍යාශයෙන්ද, පරම අධිෂ්ඨානයෙන්ද, පූර්ණ අපේක්ෂාවෙන්ද පසුවන පුරුෂයන් තැනීම සොබාව ධර්මයේ මීළඟ ඉෂ්ඨාර්ථය වන්නේද මැනිපියුලේටඞ් ස්ත්‍රිය, ඇගේ නරඹන්නිය බවට පත්ව ඇති පුරුෂයා හට තම පිට මත සැඳෑල දමා පැදයාමට සිතූ-සිතූ පරිදි ඉඩ ලබා නොදීම හේතුවෙන් ඇය යළිත් වරක් සොබාවධර්මයාගේ අභියෝගය බවට පත්වන්නීය. අනෙක් අතට තම වර්ගයා අමිශ්‍රව පවත්වාගෙන යාමේ
දේශපාලනික  සමාජීය දැඩි බල අවශ්‍යතාවය ස්ත්‍රිය විසින් නිරන්තරයෙන් අභියෝගයට ලක්කරනු ලබන්නීය. ඇය වරිගයෙන් පිටත වර්ගයා බෝ කිරීම රාජ්‍යත්වයට මෙන්ම සමාජ සංවිධානයටද අභියෝගයකි. ස්ත්‍රිය තම කුස දරාගනු ඇත්තේ කුමන වරිගේ එකාගේ බීජද යන්න දේශපාලනික වශයෙන්, සමාජය සංවිධානය කරන ආගමික - සංස්කෘතික සංස්ථා / ආයතනවලට මහත් බලපෑම් සහගත කරුණක් වන්නේද, එය සැබෑ අභියෝගයද වන්නේය.

ඓතිහාසික ‘තරඟය’ හටගන්නේ එතැන් පටන්ය. කොයි පැත්තෙන් බැලුවද ස්ත්‍රිය අභියෝගයකි. ඈ, පිටමත සෑඳල දමා සිතූ- සිතූ පරිදි පිරිමින්ට පැද යාමට දෙන්නේ හෝ සිතූ - සිතූ පරිදි ජනිතෘ බිහි කිරීමට තමාව සූදානම් කොට දෙන්නී හෝ සමාජ සංවිධානවලට අභියෝග කිරීමේ අවදානම අවබෝධ කරගන්නී හෝ නොවේ. මෙලෙස ස්ත්‍රිය අභියෝගයක් නම් ඇය ජයගත යුතු වන්නේ කෙසේද? කෙසේ හෝ ජය ගත යුතුව ඇත. වර්ගයාගේ පැවැත්ම ස්ත්‍රිය මූලික කොට ගෙන අභියෝගයට ලක්ව ඇතිවාක් මෙන්ම අවදානමටද වැටී ඇත. “මිළ ඉහළ ගිය විට කේවල් කිරීම වෙළඳපොල අභියෝග ජයගන්නා උපක්‍රමයකි.” ඒ වග සියළු ස්ත්‍රීන් දත යුත්තේය. ඒ අනුව ‘ස්ත්‍රිය මතු බුදු බව කෙලෙසින්වත් ප්‍රාර්ථනා නොකළ යුතු වන්නේය.’

මෙලෙස ස්ත්‍රිය කේවල් කිරීමේ ඵෙතිහාසික කාර්යය ඒ වන විටත් ඇරඹී තිබිණ. පුරාතන සාහිත්‍යයේ මූලික අභ්‍යාසගත ආභාෂයද, ආගමික සංස්ථාවල අභියෝගාත්මක ප්‍රමුඛ කාර්යයද, සංග්‍රහශීලී සිංහල - බෞද්ධ සංස්කෘතියේ පාදමද ‘එය’ වන්නේ එබැවිනි.

සියලු සංස්ථාවල මූලික පැවැත්ම ඈ අතය.

සදාචාරය, සංස්කෘතිය වැනි පුරුෂාලෝකයේ නිර්මිතයන්වල හරපද්ධතීන් පවතිනු ඇත්තේ ස්ත්‍රී වර්ගයා මතය. ‘ස්ත්‍රිය රෙද්ද කඩාගත හොත් පුරුෂයා විසින් නිර්මිත සංස්කෘතික ලෝකය සංකේතාත්මකව නිරුවත් වන්නේය.’ එනයින් ස්ත්‍රිය සංස්කෘතියටද අභියෝගයක් වන්නීය. ස්ත්‍රිය බුදුබව නොපැතිය යුතු වන්නේ ඇය ලෞකිකත්වයේ සංකේතය වන දෛව ස්ත්‍රිය වීම නිසා නොව ඇය මත සංස්කෘතිය රැක ගැනීමේ අභියෝගාත්මක වගකීම පැවරී ඇති හෙයිනි.

මේ අනුව ගත් කල ස්ත්‍රියක බුදුබව නොපැතිය යුතුය යන තර්කනය සංස්කෘතික ආයතනගත කාරණයක්/ තර්කනයක්/ අදහසක්/ නිර්මිතයක් මිස බුදුදහම නමැති දර්ශනය හෝ ක්‍රමවේදය හා බැඳී ආවක් නොවන බව මගේ පෞද්ගලික හැඟීමයි. බුදුන් විසින් ආගම නමැති සංස්ථාව පිහිටුවීමේදී ඇණවීමෙහි යෙදුනා යැයි කියන්නා වූ නීති - රීති හා බුදුදහම අතර සෘජු සම්බන්ධයක් මට නොපෙනේ. ආගමික සංස්ථාවක් බුදුදහමත් එකක් නොව දෙකක් බව අප දත යුත්තේද වර්තමානයෙහි ඊට අවශ්‍ය පමණ උදාහරණද ඇත්තේය. ඒ අනුව ස්ත්‍රියකට බුදුබව පැතිය නොහැකි යන්න බුද්ධ චරිතයේ නොව සංඝ/අනුගාමික, උපාසක/උපාසිකා සමාජයෙහි හා සංස්කෘතිය හා මිශ්‍රිත ආගමික සංස්ථාවල/ පද්ධතිවල/ ආයතනවල භාවිතාවක් විය යුතුය යන්න මගේ අදහසයි.

‘කොටින්ම ගැහැනියගේ කරේ ගසා ඇත්තේ කොහේවත් හැබෑවටම ඇති සංස්කෘතියක් හෝ හර පද්ධතියක් නොවේ.’ වෙනත් වචනවලින් කිවහොත් ‘කුරුසිය’ භෞතිකව පවතින්නක් නොවේ. නමුත් බර එසේමය. එමමය. ඇතැම් විට ඊටත් වඩා වැඩි මිස අඩු විය නොහැක. ‘භෞතික කුරුසියක්’ වෙනුවට ඇත්තේ සංකේත පද්ධතියක් හරහා (වචනවලින්) ගොඩ නංවන ලද ‘සංස්කෘතික ලෝකයකි.’ හර පද්ධතියකි. උදාහරණයක් ගෙන මදක් පැහැදිලි කරගන්නට උත්සහ කරමු. මෝස්තර ලෝකයේ ‘නිරාවරණ කලාප’ අටෙන් එකක් දෙකක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් (පිට, පපුව, ඉඟ, කලව, දෑත්.... ආදී වශයෙන්) නිරාවරණය වන ලෙස ඇඳීම අසංස්කෘතික යැයි මතයක් අප සමාජයේ ඇත. දැන් මෙය කා විසින් අණවන ලද රීතියක්ද? කවුරුන් විසින් කර තබාගෙන යන්නක්ද? වැඩිහිටි ස්ත්‍රීන් විසින් එය කර තබාගෙන විත් ඊළඟ ස්ත්‍රී පරම්පරාවට දායාද කරන මෙම කුරුසිය පුරුෂයන්ගේ භාෂා ලෝකයේ නිර්මිතයක් නොවේද?
නිරාවරණ කලාප වැඩි වශයෙන් ආවරණය වන්නට අඳින-පළඳින ස්ත්‍රිය සංස්කෘතික/සංවර යැයිද ආවරණය කලාප වැඩි වශයෙන් නිරාවරණය කරවන ස්ත්‍රිය අසංස්කෘතික/අසංවර යයිද යන්න භාෂා ලෝකය හරහා ගොඩනංවන/නිර්මාණය කරන ලද්දකි. නොඑසේ නම් ආවරණ කලාප සෑහෙන ප්‍රමාණයක් නිරාවරණය කරවන ඔසරිය අඳින ලද ස්ත්‍රිය සංස්කෘතික වන්නේ කෙසේද? භාෂාව මත ගොඩනංවන  ලද සංස්කෘතික ලෝකයේ  මෙබඳු කුරුසියක්  ගැහැනියට අහිමි කරනු ඇත්තේ ඇගේ පරිකල්පන ලෝකයයි. ඊට සමගාමීව පිරිමියා නරඹන්නිය බවට පත් වීමෙන් ඔහුට අහිමි වන්නේ කුමක්දැයි ඔබ සිතා බලන්න. එම අර්ථයෙන් ඇය මර්ධිතය. එනයින් ඔහුද මර්ධිතය. ඇයට පරිකල්පනය අහිමිය. ඔහුට පිරිමි ආත්මය අහිමිය. ඇය තිරයක් බවට පත්ව ඇති අතර ඇයව නරඹන්නට බොහෝ පිරිසක් ඇය ඉදිරියේ සිටී. ඒ අර්ථයෙන් ගත් විට ‘නේරංජනේ ඉස්නානේ’ ලියන කේ. කේ. සමන් කුමාරද නරඹන්නෙකු මිස අන්කවරකුවත් නොවේ. එවිට ඔහුට අහිමි වන්නේ ඔහුගේ පිරිමි ආත්මයයි. ඔහුට ඔහුවම අහිමි වී ඇත. එනයින් ‘නේරංජනේ ඉස්නානේ’ ලියා ඔහු නිදහස් කොට ගෙන ඇත්තේ කුමක්ද? අනෙක් අතට සර්පයා තම ස්ත්‍රී ආත්මය (ඔහුගේ භෞතික නොවන එක/one's doble&  බුදුබව ප්‍රාර්ථනා කිරීමක් ලෙසද අයකුට මෙය පැහැදිලි කරගත හැකිය.



අද දවසේ බලය පිළිබඳ අදහස නම් එය ලිංගිකකරණය වී ඇති බවත්, නිරන්තරයෙන් ස්ත්‍රිය වටා බලය ඒකරාශී වන බවත්ය. එසේ නම් මෙම අදහසට පිවිසිය හැකි මාර්ගයක් ලෙස අපට KK ගේ ‘නේරංජනේ ඉස්නානේ’ සැලකිය හැක. එහෙත් අවසාන අර්ථයෙන් සැබෑ ස්ත්‍රිය කියා දෙයක් නැත, සැබෑ ජීවිතය කියා දෙයක් නැත, යන තර්කනය මෙම දැනුමට බාධාවක් වන අතර පැහැදිලිවම එය (සැබෑ ස්ත්‍රිය) සොයා යාමේදී අපට සංස්කෘතිය/ආගම/භාෂාව වැනි
සංකීර්ණ බාධක රාශියක් අපට සම්මුඛ වන බව අප සිහිපත් කර ගත යුතුව ඇත. මේ යුගයේ ස්ත්‍රිය මෙන්ම පුරුෂයාද සිමියුලේක්‍රමණය වූ ශරීර පමණි.  සමන් නිවැරදිය.

මෙම ‘කුරුසිය’ බිම තැබිය යුතුමය. එය ගැහැනියක් බුද්ධත්වයට පමුණුවා හෝ ඉටුකරගත යුතු තරමේ අභියෝගයකි. අනෙක් අතට මතු බුදු බව ප්‍රාර්ථනා කරන පත්තිනි දේවීන්නාන්සේ තම පුරුෂයා (මෙහිදී තම පුරුෂයා ලෙස ස්ත්‍රිය සලකන්නේ යමෙක් වේද ඔහු ඇගේ පුරුෂයාය) හා සම්භෝගය ප්‍රතික්ෂේප කරනු ලැබ ඊට දඬුවම්  ලෙස භාවනා පූර්ණය කරනු ලබනුයේ ඉඳිකටු තුඩක වන්නේද, ඒ එසේ වී නම් ‘තම පුරුෂයාට’ සම්භෝග දානය ප්‍රදානය කිරීමෙන් ඉඳිකටු තුඩෙහි වේදනාවෙන් මිදීමේ මහා කුසල කර්මය පූර්ණය කළ හැකි බැව් මතු බුදු වන්නට පෙරුම් පුරණ පත්තිනි මෑණියන්වහන්සේලා දත යුත්තේය.

“භීෂණය සදාචාරය බවට පත් වූ විට දූෂණය එහි කතෘත්වය ගන්නා බව සිහිපත් කර ගැනීම වටී.”

යමක් පාරිශුද්ධත්වයට පත් කළ විට එහි යට සැඟවී ඇති අනෙක් භයානක අර්ථය නම් (එකවර) එය දූෂණය කළ හැකිය/කෙලෙසිය හැකිය යන අදහසයි. ගණිකාවක් දූෂණය වූ විට එය නොතකා හැරිය (නීතිය ඉදිරියේ පවා) හැකි
වන්නේ ඇයට මවක සතු පාරිශුද්ධත්වය නොමැතිය. එබැවින් එබඳු “දඬුවමක්” ඇයට උරුමය යන කුරිරුඅදහසකින් පමණි.

අනෙක් අතට කාන්තාව පාරිශුද්ධත්යට පත් නොකොට සංස්කෘතිය රැක ගැනීමේ අභියෝගයට කතෘත්වය මුහුණදී සිටි. එබැවින් ස්ත්‍රිය, ගෙදර බුදුන්, තැනට ඔසවා‘කුරුසයේ’ තබා ඇත. දැන් ඇයට ඇත්තේ තේරීම් දෙකක් පමණි. එකක් අම්මාය. අනෙක ගණිකාවය. සමාජයෙන් ගැරහුම් ලබනු අකමැති ඕනෑම ස්ත්‍රී ප්‍රාණියෙකු කුරුසිය කර තබා ගනු නිසැකය. (බංගලා දේශයේ විමුක්ති යුද්ධය
අවසන් වීමත් සමග විශ්මය උපදවන සුළු ලෙස ස්ත්‍රී දූෂණ ලක්ෂ දෙකක් සහ ජනඝාතන ලක්ෂ තිහකට මුහුණ දී තිබිණ. එලෙස විනාශ වී ගිය රට නැවත ප්‍රතිව්‍යුහගත කරනුවස් බංගලාදේශයේ ප්‍රථම ජනාධිපති ෂීක් මුජිබර් රහිමාන් විසින් ප්‍රජාතන්ත්‍රවාදය, සමාජවාදය, ලෞකිකවාදය, ජාතිකත්වය යන ප්‍රතිපත්ති හතර මත පදනම් වී ක්‍රමයක් හඳුන්වා දූෂණයට ලක් වූ දෙලක්ෂයක් ස්ත්‍රී සමූහය නැවත සමාජගත කරනු පිරිස ඔවුන් යුධ වීරවරියන් (බිරන්ගොනාස් -
birangonas ) ලෙස හඳුන්වා මල්මාලා දමා පිළිගත්තද පවුල හා සමාජය විසින් ඔවුන්ව ප්‍රතික්ෂේප කෙරුණු අතර බංගලාදේශයේ ‘ස්ත්‍රී සුචරිතය’ නමැති අදහස වටා ඇති ගූඩත්වය බිඳ දැැමීමට අළුත් රාජ්‍ය ප්‍රතිපත්ති මාලාවට හැකියාවක් ලැබී නොතිබිණ.

මාතෘ ප්‍රතිරූපය ගෘහස්ථ මට්ටමේ සිට ජාතික තලයේ ‘පරිකල්පනීය ප්‍රජාවක්‘ දක්වා පුරුෂ මූලික භාෂා ලෝකයේ කතෘත්වය -Agency  තුළින් නිර්මාණය කිරීම ඔවුන්ගේ ප්‍රතිරූප නිර්මාණ ව්‍යාපෘතියේ තවෙකක් මිස අනෙකක් නොවේ. පැහැදිලිවම ගත යුත්ත නම් ඒවා චරිත මිස සැබෑ ජීවිතයේ හමුවන ඒවා නොවන බවයි. ඒවා සියළු ප්‍රායෝගික තලවලින් බැහැරව ඇති අතර සංස්කෘතිය සදාචාරය හුදු සංකේත පද්ධතියක් බවට බිඳ වැටි ඇත. එය හුදු ‘පත්කරගනු ලැබූ’ කතෘත්වයක් -Agency පමණි.

නිදසුනක් ලෙස ආගමික ග්‍රන්ථ/පුරාතන සම්භාව්‍ය සාහිත්‍ය ග්‍රන්ථවල මෙම විෂය සම්බන්ධයෙන් වන පරස්පරය මදක් කියවා බලන්න. කාන්තාව නිවනට යන මාර්ගයට වැටෙන දැවැන්තම කාම බාධකය අනචාරයේ ප්‍රතිමූර්තිය බවට පත්කරවන ප්‍රචාරණ කාර්යය උදෙසා ලියැවුණු මහා සාහිත්‍ය තුළ වරින් වර එහි ප්‍රතිපක්ෂය වන ‘ගෙදර බුදුන් අම්මා’ නමැති සුචරිතවාදී චරිතය ඉස්මතු කිරීමේ උත්ප්‍රාසය සලකා බලන්න. අම්මා සහ ගණිකාව අතර සියුම් බෙදුම් රේඛාව මැකී ගොස් ඇත්තේ මෙම ‘සංස්කෘතිය රැකගැනීමේ’ අවශ්‍යතාවයත්, එම අවශ්‍යතාවය ඉටු කරන ස්ත්‍රිය මර්ධනය කිරීමේ කාර්යභාරයත් එකම කතෘත්වය විසින් දරා සිටීම නිසා වන අතර පරිභෝජන සමාජයක සිමියුලේක්‍රමණය වූ ස්ත්‍රිය ඊට අභියෝගයක් වීම නිසාම සැබැවින්ම එය කොතරම් දුෂ්කර ව්‍යායාමයක්දැයි ඔබට සිතාගත හැකි වනු ඇත. (විසිවන සියවසේ ඉන්දියාවේ සමාජ ප්‍රතිසංස්කරණවාදී ලිපි ලේඛන තුළ කාන්තාවන් වස්තූන් බවට පත් කිරීමේ ක්‍රියාවලිය හා ඒවායේ මව සහ ගණිකාව යන ද්විවිධකරණය වැඩිදුර
කියවන්න)
එසේනම්,

සොබාදහම් මාතාව/මාතෘ භූමිය/ගෙදර බුදුන් අම්මා මෙලෙස ස්ත්‍රිය පරමාදර්ශයට නැංවීම හෝ ස්ත්‍රී භූමිකාව ශුද්ධ වූ මොහොතකට/ද්‍රව්‍යයකට ආරූඩ කිරීමේ ව්‍යාපෘතිය කුමක් විය හැකිද? සැබැවින්ම එය සතුරාට එරෙහිව ජාතිය එක්සත් කිරීමේ හා අධිරාජ්‍යවාදයට එරෙහි ප්‍රතිරෝධය ලෙස ජාතිකත්වය කුළු ගැන්වීමේ ව්‍යාපෘතියේ ස්වරූපයයි. ආධිපත්‍යධාරීත්වය / ඒ මත පැවැත්මේ බලපෑම් සහගත බව  හා තම චිත්තවේගය ප්‍රදර්ශණය කිරීමේ සංකේතාත්මක දර්ශකය එය විය. එය රෝමෑන්තිකවාදී මෙන්ම සටන්කාමීද වන අතර, මව්වත්කම දූෂණය කරණ ‘පරයාට’ එරෙහිව අවි අමෝරා ගැනීමට අවසර / බලය ලබා දීම මෙම සුරුවම්කරණයේ වාත්තුවයි. ඒ අර්ථයෙන් ගත් විට එයද කතෘත්වයේ ආධිපත්‍යයට මිස අනෙකක් නොවේ.

“ඔබට ස්මරණය කිරීමක් කළ හැක්කේ, කිසියම් අමතක කිරීමක්ද කළ හැකි නම් පමණි.’

මහා ආඛ්‍යානයන් පිළිබඳ විශ්වාසයන් බිඳ වැටීම  ^Cross of faith&නූතනත්වයේ සමාජාර්ථික මාරුවීම්වල සමස්ථ බලපෑම ලෙස විද්වතුන් හඳුනාගෙන ඇත. මෙහිදී මහා ආඛ්‍යානය බුදුදහම නම් බිඳවැටීම ‘නේරංජනේ ඉස්නානේ’ ලෙස අපි මදකට සලකමු. මේ හඬ විප්ලවීය ද?

නැතෟ එය හැටේ දශකයේ අභාවයට ගිය විප්ලවීය අරගලයෙහි වෙනත් ස්වරූපයක් හෝ නොවේ. එය සාතිශය  සානුකම්පිත බුදුවීමකි. නේරංජනේ ස්ත්‍රීවාදී හෝ ස්ත්‍රී විරෝධී ආකල්ප දරාගත් කෘතියක් ලෙස සලකනවාට වඩා යුගයේ හුදෙකලා මනුෂ්‍ය අරගලය ලෙස කියවීමෙන් වඩා සාර්ථක අර්ථ සම්පාදනයකට යා හැකි බව මගේ පෞද්ගලික හැඟීමයි. සාචීකරණය පිළිබඳ විවාද නොහොත් පශ්චාත් යටත් විජිත න්‍යායවේදීන් හා ස්ත්‍රීවාදීන් දියත් කළ විවාද මගින් බිහි වූ නව ප්‍රවණතාවක් ලෙස කලාව තුළ න්‍යායික සූක්ෂමතාවක් හෝ දේශපාලන අරමුණක් අත්‍යවශ්‍යයෙන්ම තිබිය යුතුය යන්න ප්‍රතික්ෂේප වූ අදහසක් වන අතර ‘නේරංජනේ ඉස්නානේ’ කෘතිය තුළ වුවද එබඳු පැහැදිලි න්‍යායික සූක්ෂමතාවක් හෝ දේශපාලන අරමුණක් දක්නට නොලැබීමෙන් (මගේ පෞද්ගලික අදහසට අනුව) එය අරගලයක ස්වරූපයක් නොදැරීම ඉහත කරුණ සනාථ කිරිම සඳහා යොදාගත හැකි සාක්ෂියකි. අරගලය ඇත්තේ ‘ස්ත්‍රියගේ ’ බුදුවීම තුළ (කෘතිය තුළ) මිස ‘ස්ත්‍රිය’ බුදුවීම තුළ නොවීම මීට හේතුවයි. අවසාන වශයෙන් කේ.කේ. සමන් කුමාරගේ පෞද්ගලික ජීවිතයේ කුමන සමයක නේරංජනේ ලියැවුනේදැයි අදාල කොට නොගෙන මෙම සාහිත්‍ය කථිකාව, සම්පූර්ණ නොවනු ඇති අතර ඔහුගේ පෞද්ගලික ජීවිතය කෘතියට එල්ල කල බලපෑම සහ නූතන විචාරයන්ට අනුව කතෘගෙන් පරිභාහිරව කෘතිය කියවීමේ (උදා:- සීගිරි චිත්‍ර පිළිබඳ අර්ථ සම්පාදනය යනු පස්වන සියවසෙහි දේශපාලනය පිළිබඳව, ආසියාතික කලාවේ දෘෂ්‍ය සංකේත පිළිබඳව, කාශ්‍යප රජුගේ දේශපාලනය පිළිබඳව අර්ථ / අදහස්
සම්පාදනයක්ද වනවා සේම) අපහසුතාවය (කතෘගෙන් පරිභාහිර
කතෘත්වයක්) එසේම තිබියදී කෘතිය සම්බන්ධයෙන් අපි ඉතා කෙටි මනෝ විශ්ලේෂණාත්මක අදහසක් සම්පාදනය කර ගැනීමකට උත්සුක වෙමු.

ආශාවේ පරිනාමය පසුපස ඇති ඛණ්ඩන හා පිපිරීම් ගැන මතුපිට කියවීමකින් අපි අදහසට ප්‍රවිශ්ඨ වෙමු. ශරීර නමැති බලයෙහි කෝෂ්ඨාගාර ස්ත්‍රී සහ පුරුෂ ලෙස
ආශාවේ රේඛා හරහා වෙන්කොට දැක්වීම භාෂාවේ මූඛ්‍ය කාර්්‍ය භාරයන්ගෙන් එකක් බවට පත්වන්නට බලකෙරී ඇත. බලය සහ ආශාව අතර සිදුවන සංකීර්ණ ගනුදෙනුව අප තේරුම්ගන්නේ නැවතත් භාෂාව හරහා වීම උත්ප්‍රාසජනක මුත් අපට ඊට අභියෝග කළ හැක්කේද ‘භාෂාව හරහා ආඛ්‍යාන ගොඩ නැංවීමෙන්ය’ යන්න එහි ආධිපත්‍යයේ ස්වරූපය ඔබ හෙළිදරව් කරනු ඇත. දැන් අපි මේ කරුණ හරහා නේරංජනේ පඨිතයෙහි මතවාදී කාර්යය ගැන යම් අදහසක්
සම්පාදනය කර ගන්නට සුළු උත්සාහයක්ද දරමු. ලිංගිකත්වය හුවා දැක්වීම නැවත - නැවත යෙදීම වැනි භාෂාත්මක/ආඛ්‍යාන අභියෝගය වටහාගත හැකි වනු ඇත්තේ එවිට පමණි. ලිංගිකත්වය හුවා දැක්වීමෙන් අපේක්‍ෂිත දේශපාලනික මැදිහත්වීම ‘සර්පයාගේ’ අතිශය පෞද්ගලික සිතිවිලි තුළ දිය වී ගොස් දියාරු වී ඇත. එහෙත් ලිංගිකත්වය අධ්‍යයනය කිරීම තවදුරටත් හුදෙකලා පුද්ගලයන්ගේ ශරීරවලට පමණක් සීමා වී නොමැති හෙයින් කෘතියට වෙනත් මානයකින් දැවැන්ත වටිනාකමක් ලැබී ඇති වග පැහැදිලිවම සටහන් කළ යුතුව ඇත. ලිංගිකත්වය යනු සමාජීය ගොඩනැංවීමක් බවත්, එය පෙරළා සමාජයට දැවැන්ත අභියෝගයක්ව ඇති බවත් කෘතිය පැහැදිලිවම කරුණු ගෙන හැර දක්වයි. (උදාහරණ පිණිස ‘නේරංනේ ඉස්නානේ’ කියවන්න.)

අවසාන අර්ථයෙන් එසේ නම් යථාර්ථයේ අභ්‍යන්තර තර්කනය කුමක් විය හැකිද? සදාචාරයක් නොමැති බව දැන-දැනත් සදාචාරයක් විශ්වාස කිරීමට සිදුවීමයි. පන්සල/ පල්ලිය/කෝවිල/පාර්ලිමේන්තුව/උසාවිය.....යනාදී වශයෙන් කෙතරම් දීර්ඝ ලෙස මෙම ලැයිස්තුව සකස් කළ ඒ කිසිවක් තුළින් සදාචාරය සොයාගත නොහැකි වන නමුත් එය (සදාචාරය) ‘පවතිනවාය’ යන්න තර්කනයේ ඇති
නරුමත්වයයි.

සැබැවින්ම නොපවතින්නක් රැක ගැනීමට කුරුස කර ගසාගෙන සිටින ගැහැනුන්ට කස පහර එල්ල කිරීම (මෙම ලිපිය ලියන්නිය ස්ත්‍රීවාදිනියක්ව නොතිබියදී පවා මෙය කිරීමට සිදුව ඇත) නරුම වන්නේ එබැවිනි. මෙම දෘෂ්ඨිවාදයේ සළුපිලි KK  ඉවත් කරන්නේ නේරංජනේ අසබඩදීය. එනයින් එහි ගෞරවය ඔහුට හිමිවිය යුතුය.

එනයින්, ‘නේරංජනේ ඉස්නානේ’ යනු විකාරයක් හෝ ෆැන්ටසියක් නොවන්නේ සැබැවින්ම ‘සදාචාරයේ සළුපිලි’ ඉවත් කළ විට පෙනෙන නිරුවත මීටත් වඩා (ඇතැම් විට) විකාරසහගත විය හැකි බැවිනි.

සර්පයානු ලිවීමක ෆැලික ප්‍රමෝදය




සමන් වික්‍රමාරච්චි


‘නේරංජනේ ඉස්නානේ’ යනු කියවන්නිය මුල්වරට කිසියම් අවුලකට පත් කරනසුලු ආඛ්‍යානයකි. එය කියවිය යුත්තේ අග සිට මුලට බව වටහා ගන්නා තුරු ඇය මෙම අවුල වින්දනය කරයි. එය පදානුගත අර්ථ සහිත කියවීමක් පිණිස අගමුල සොයා ගන්නේ වුව ද ඔබ එහි අන්තර්ගතය කෙරෙහි බර තබන්නේ නම් මේ කවර වූ ලිවීමක් දැයි හරි හැටි වටහා ගන්නේ නැත.


‘නේරංජනේ ඉස්නානේ’ යනු අන්තර්ගතයක් රහිත ආකෘතියක් පමණක් ඇති නවකතාවකැයි කීමෙන් එය අර්ථ විරහිත ලියවිල්ලකැයි කියන බවක් නොගන්න. ඇත්තටම නම් එහි අන්තර්ගතය වන්නේ ආකෘතියමය. කලා කෘතියක දයලෙක්තික වටිනාකම මිනිය හැක්කේ එහි ප්‍රකාශිත අර්ථය සමඟ ගැටීමෙන්වත් අප්‍රකාශිත තේරුම් ගවේෂණය  කිරීමෙන්වත් නොවේ. ෆෙඞ්රික් ජෙම්සන් සරණ යාමට ඔබ සූදානම් නම් කලා කෘතියක අගය තිබෙන්නේ එහි ප්‍රකාශිත 
(Manifest)  හෝ අප්‍රකාශිත ගුප්ත (Latent)  අර්ථය මත නොව එය ප්‍රකාශමාන වන ආකාරය නැතහොත් ආකෘතිය මත බව පිළිගැනීමට අපට සිදු වේ. වැඩිදුර නොගොස් මම මෙසේ වදාරමි. සර්පයා මෙම ආඛ්‍යානයෙහි ආකෘතිය ලෙස ගන්නේ විසංයෝජනයකි. ඔහු විසංයෝජනය (Deconstruction)  කරන්නේ  කුමක්ද යන්න නොව ඔහුගේ ලිවීමේ ශෛලියම විසංයෝජනීය වීම මෙහි ඇති සුවිශේෂයයි. ඇත්ත. බැලූ බැල්මට මෙහි ප්‍රස්තුතය වන්නේ ස්ත්‍රී/පුරුෂ සහසම්බන්ධ ප්‍රතිපක්ෂය (Binary Opposition)  තමයි. එහි විසංයෝජනය නම් පුරුෂ ප්‍රමුඛතාව හෙළා ස්ත්‍රී බව නඟාලීමය. එහෙත් ඒ සඳහා ලේඛකයා භාවිත කරන්නේ පුරුෂවාදී වූ ආගමික කියවීම්ය.


විසංයෝජනය යනු කිමෙකැයි හරි හැටි අල්ලා නොගෙන මෙහි ඉදිරියට යා නොහැක. ඩෙරිඩාට අනුව කළු හැඟවුම්කරණය කිරීමට නම් සුදු අභ්‍යුපගමනය
 (Presume)  කළ යුතුය. එය හුදු කළු බව (Blackness) නිරූපණය නොකරයි. එහි එය නොවන වෙනත් දෙයක සලකුණ  (Trace) අන්තර්ගතව ඇත. ඒ අනුව භාෂාවේ වචන සංඥාකරණයේ කෙළවරක් නොමැති ලිස්සා යාමට යටත්ය. මෙම ප්‍රපංචය විස්තර කිරීමට ඩෙරිඩා Differance  යන නව යෙදුම (Neologism)  භාවිත කරයි. මෙම යෙදුම ශ්ලේෂාර්ථ නඟන්නකි. එනම් ප්‍රංශ අර්ථයෙන් එහි වෙනස නැතහොත් පරතරය (Differ)  සහ කල් දැමීම (Defer)  යන අර්ථ දෙකම නඟයි. වැදගත් දේ නම් එහි ස්වයං - සර්වසම අර්ථයක් ගැනීම කල් දමමින් වෙනස් වූ කිසිවක සලකුණ අඩංගු වීමය.


සහසම්බන්ධ ප්‍රතිපක්ෂමය යෙදුම්
 (Binary Oppositions) මඟින් සිදුවන්නේ ඩෙරිඩා යට සඳහන් කරන Differance අර්ථ දැක්වීම වහංගු කිරීමය. එනම් යෙදුම්  දෙකකින් එකකට ප්‍රමුඛතාව දීමය. එහෙත් පුරුෂයා/ස්ත්‍රිය යන යුගලයේ එක් එක් යෙදුමට අවකලනමය අර්ථයක් දෙන බැවින් එකක් අනෙකෙහි සලකුණ රඳවා ගනී. එහෙත් පීතෘමූලික දෘෂ්ටිවාදය අභ්‍යුපගමනය කරන්නේ ‘පුරුෂ’ යන්න ප්‍රමුඛ වන බවය. මේ නිසා ස්ත්‍රිය යන්නෙහි අවකලන අර්ථය අඩුවකි. (Lack)  එනම් පුරුෂ බව මස්තකප්‍රාප්ත වීමට අවශ්‍ය (ෆැලික) සම්පූර්ණ බව ස්ත්‍රියට නැත. බයිබලයේ උත්පත්ති කතාවේ දී ඊවා ආදම්ගෙන් නිර්මාණය වන්නේත් ආදම් දෙවියන් වහන්සේගෙන් පැවතෙන්නේත් එබැවිනි.

එම අර්ථයෙන්ම බුද්ධත්වය යනු පුරුෂවාදී සංකල්පයකි. පුරුෂයකුට හැර ස්ත්‍රියකට බුදු විය නොහැකිය. සරලව කිවහොත් නේරංජනේ ඉස්නානේ තුළ ආඛ්‍යානිකව විසංයෝජනය කරන්නේ මෙම පීතෘමූලික අධිපති දෘෂ්ටිවාදයයි. අග සිට මුලට ආවර්තනය වන ආඛ්‍යානික ශිල්පය
 (Narrative Style) තුළ මෝදුවන්නේ ඔළුවෙන් සිටුවා තිබූ ස්ත්‍රීත්වය දෙපයින් නඟා සිටුවීමේ විසංයෝජනීය ආකෘතියයි.

“ඈ නැඟී සිටියාය. සියලු කිලි කුණු ඒ අනෝරාවෙන් සේදී ගොස් තිබිණි. ඈ දෙපා අසල රන් කගක් විය. ඈ එය අතට ගත්තාය.”


“සන්තානගත සකල ක්ලේශයෙහිම නිමිත්තක් බඳු වූ ඒ කේශ කලාපය සිඳ විසි කළාය. එකල්හි ඒ අහසෙහි මඳක් රැඳී තිබිණි.


“ඈ තම සිරුරෙහි එල්ලී තිබූ වැරෑලි කිහිපය ගලවා දැමුවාය. අනතුරුව ඕ නේරංජනයට බැස්සාය. එහි සැනහෙමින් නෙළුම් පතක් කඩා ‘මාගේ අධිෂ්ඨානය පරිදි වේවයි’ කීවාය. එකල්හි ඒ උඩුගං බලා ඇදිණි.

“ඈ නේරංජනයෙහි සැනහෙමින් එගොඩට පිහිනී. ඉවුරට ගොඩව මෙගොඩ බැලී. මෙතුවක් දවස් තමා පසුපස තමාගේ මේ විපරියාසයෝ දර්ශනය කළ සතා සතුන් සියල්ලෝ තවදු එක එල්ලේ බලා සිටියෝය.


“ඈ උනට පිටු පා ඒ වන ගහනය තුළ නොපෙනී ගොස් බොහෝ වේලා යන තෙක්ම උහු ඒ බැල්මෙන්ම එදෙස බලා හුන්නෝය.”


නේරංජනේ ඉස්නානේ 148 පිට.


මෙම විස්තරයට පසුව කියවෙන්නේ බුදුන් දුෂ්කර ක්‍රියා කළ ආකාරය සැරියුත් තෙරණුන්ට විස්තර කරන මජ්ඣිම නිකායේ මහා සීහනාද සූත්‍රයෙන් උපුටා ගත් කොටසකි. ස්ත්‍රිය බුදුවීම පිණිස පා නැඟුවේ වුවත් එහි පුරුෂ සලකුණ 
(Trace) ඇති බව මෙහි දිගින් දිගටම මේ ආකාරයෙන් කියවෙන බව දත යුතුය. මෙහි ස්ත්‍රියකට ආරෝපණය කරන්නේ පුරුෂයකු බුදු බව පැතූ ආකාරයයි. බුද්ධත්වයට පත්වීමට එරෙහිව පැමිණි දස මාර සේනාව වූ කලී පෙර බුදු බව ලැබ සිටි බුදුවරුන්ය. බුදුන් වෙත පැමිණි මරඟනන් ඇය වෙත එන්නේ පිරිමි වේශයෙනි. ඒ තිදෙනාම පෙර බුදුවරු වූහ. අනතුරුව මෙසේ ලියවෙයි.


“අවසානයේ වසවත් මාර දූතිය ඇගේ වේශයට ගෙන ඈ ඉදිරියේ පහළවිණි. ඒ තමාම විය. අසීරුම සටන වූයේ එසේ ආ තමා සමඟින්මය. ඒ මාර දූතිකාව උපන්නේ තමාගේම හේමලයාගෙනි.”


නේරංජනේ ඉස්නානේ 143 පිට


මෙලෙස බුදු වීමට යන ස්ත්‍රිය තමා තුළටම අන්තරීකරණය වීමට වීම මෙය නව දිශානතියක් ඔස්සේ කියවීමට අපට ඇරයුම් කරයි. එය අන් කිසිවක් නොව ස්ත්‍රියගේ ලිංගිකත්වය 
(Woman's Sexuality)  නම් වූ ප්‍රපංචයම වේ.


බැලූ බැල්මට ‘නේරංජනේ ඉස්නානේ’ යනු ස්ත්‍රීවාදී ලිවීමකි. එහෙත් එය කෙතෙක් ස්ත්‍රී විරෝධී ද යන වග අපට දත හැක්කේ මෙම ලිවීම තුළ මතු වන ස්ත්‍රීත්වය පිළිබඳ පුරුෂවාදී ලිවීම් නැවත කියවීමෙනි. මෙහි දී මම ඔටෝ වීනින්ගර් සහ ජිජැකියානු කියවීම් ඇසුරු කොට ගතිමි. ජිජැක්ට අනුව ඔටෝ වීනින්ගර්
 (Otto Weininger) යනු දර්ශනයේ කේන්ද්‍රීය තේමාව ලෙස ලිංගික වෙනස (Sexual Difference)  සහ ලිංගික සබඳතා ඔසොවා තැබූ ලේඛකයෙකි. ඔහු මෙහි මිල ගෙවන්නේ Sex and Character  නම් වූ මාහැඟි කෘතිය ලියා අතගත් සැණින් සිය දිවි නසා ගැනීමෙනි. මිය යන විට ඔහුගේ වයස අවුරුදු විසි හතරකි.

වීනින්ගරියානු ලිවීම් ස්ත්‍රී විරෝධී බව
 (Anti feminist) නොකිවමනාය. ඔහුගේ ස්ත්‍රී විරෝධය මතුවන්නේ ස්ත්‍රිය සපුරාම ලිංගිකමය පමණක් වේ යයි (Woman is Only and thoroughly Sexual) හංවඩු ගැසීමෙනි. එනම් ඇය වූ කලී කාමුක ස්ත්‍රියයි. වීනින්ගර් Sex and Charater හි ලිංගික ගැටලු අරබයා දෙන පිළිතුර සමකාලීන ස්ත්‍රී විරෝධය සහ යුදෙව් විරෝධය කලවම් වූ නොගැඹුරු දාර්ශනික ප්‍රවේශයක් ලෙස වටහා ගැනීමට අපහසු නැතැයි ජිජැක් පවසයි. වීනින්ගර්ට අනුව ලිංගික වෙනස (Sexual Difference)  පදනම් වන්නේ විෂය සහ වස්තුව එනම් සක්‍රිය බලශක්තිය සහ අක්‍රිය දෙය (Active Spirit and Passive Matter)  අතර පවත්නා සත්භාවමය ප්‍රතිවිරුද්ධ බව Onotological Opposition  මතය. එහි දී ස්ත්‍රිය වූ කලී අක්‍රිය වූ පහසුවෙන් පොලඹවා ගත හැකි වස්තුවකි. එහි අර්ථය නම් ඇය මුළුමනින්ම ලිංගිකත්වයේ ආධිපත්‍යයට යටත් බවය.


ස්ත්‍රිය සපුරාම ලිංගිකත්වයේ ආධිපත්‍යයට යටත්ය යන ප්‍රවාදය වීනින්ගර් ප්‍රකාශයට පත් කරන්නේ මෙසේය. (මෙය එහි දළ සිංහල පරිවර්තනයයි)


“...ස්ත්‍රිය සපුරාම ලිංගිකමය පමණක් වන්නේ ඇයගේ ලිංගිකත්වය තමන්ගේ මුළු සිරුර පුරාම විසිර පවතින බැවිනි.

භෞතික අර්ථයෙන් කියන්නේ නම් යම් ස්ථානවල මෙය අන් ස්ථානවලට වඩා (ඇය ලිංගිකව ආසාදනය වන්නා සේම ඕනෑම දෙයක් ඇය විනිවිදව යයි) ප්‍රබල වන අතර සෑම විටම ඇගේ සිරුර මතුපිට සෑම තැනම විහිද පවතී. අප සාමාන්‍යයෙන් මෛථුනය යයි කියන්නේ මෙය අතිශය තීව්‍රව නැගුණ විශේෂ අවස්ථාවකටය...”
ඔටෝ වීනින්ගර්ගේ ග්‍රන්ථයේ 258 පිට

සර්පයා නේරංජනේ ලියමින් ස්ත්‍රිය සපුරාම ලිංගිකත්වයේ ආධිපත්‍යයට යටත්ය යන වීනින්ගරියානු ප්‍රවාදය නිදර්ශන සහිතව ස්ථුට කරයි. එය ලිවීමෙන් ඔහු ලබන ෆැලික ප්‍රමෝදය කෙතෙක්දැයි විඳින්න.


“මනුෂ්‍ය ගාන්ධර්ව බන්ධනයෙහි වෙළුණාහ. වෛශ්‍යා කර්මයෙහි ගැලුණාහ. උවැසිව ‘වහන්ස ඌරු අතරෙහි ගටනුමැනවි. නැබැ ගටනු මැනවි. උදර වැටියෙහි ගටනු මැනවි. කිසිල්ලෙහි ගටනු මැනවි. ග්‍රීවායෙහි ගටනු මැනවි. කන් සිදුරු ගටනු මැනවි. කෙස් වැටියෙහි ගටනු මැනවි, ඇඟිලි අතුරු ගටනු මැනවි, අතින් උපක්‍රම කොට කටින් ගන්නෙමි යනාදී වැලපිණ. ධ්‍යානගත මහණක රහසඟ මත හිඳ ඇතිතාක් කොට සිනාසෙමින් සමීපව සිට “මේ කාර්යය තීගේ ද ඇසූ කල්හි ‘එසේය මගේ කාර්යයකි’ යි කීය.


‘මහණව පුටුවක හොත් දැරියක් දැක කාය සංඝගග  රාගයෙන් යුක්තව පයැ මාපටැඟිල්ල අංග ජාතයට ප්‍රවිශ්ඨ  කළේය. සිතුවම් රුවක නිමිත්ත රහසඟින් පහළේය. වඳින්නී අඳනය ඔසවා මුවින් ගනු ඉවසීය. අග දත් ලෙස මෙවුන්දම් ඉල්ලීය. වසමග, පසමග, මුව ආදියෙහි ප්‍රවේශයද, ප්‍රවිෂ්ටය ද, ස්ථිතියද, උද්ධරණය ද ඉවසීය. පිළිසන් වස මගෙහි, නොපිළිසන් වස මගෙහි යනාදී ව්‍යායාම කළේය. සිත් ගත් ස්ත්‍රී කාල යාත්‍රා කළ කල්හි සොහොනෙහි විසිරී ඇට රැස්කොට නිමිති සටහනින් රහසඟ මෙහෙයී. රාගයෙන්, වර්වසින්, මුත්‍රායෙන්, වාතයෙන්, බුහු පනුවන් ගැටීමෙන් කවරකින් වුව අංගජාත කර්මන්‍යව ගිය කළ කාම ඡන්දයෙන් ඒ පැහැරීය”


නේරංජනේ 54 පිටු


ජීවමාන ස්ත්‍රියකගේ කවර වූ ශරීරාංගයක් කාම සංසර්ගය පිණිස වන බව කීමෙන් නොසෑහී මේ ලේඛකයා මළ ස්ත්‍රියකගේ ශරීරය වුව කාමය පිණිසම වන බව කියයි. ස්ත්‍රිය හුදු ලිංගික වස්තුවකැයි කියන ස්ත්‍රී විරෝධී විනින්ගර්ගේ අත්අඩංගුවට සර්පයා නතුවන්නේ එපරිදිය. දැන් අපි ඔහුගේ ස්ත්‍රීවාදය කෙසේ කියවන්නෙමුද? යහපත උදෙසා අධිකතර ලෙස කැපවීම නපුරට පාර කපන්නා සේ අධික ලෙස ස්ත්‍රීවාදී වීම කෙළවර වන්නේ පුරුෂවාදයෙන් බව ඉන් දත යුතුය. වීනින්ගර් පවසන පරිදි ප්‍රේමය යනු ද ලිංගික සංසර්ගය සඳහා ඇති පෙළඹවීම සඟවාලන්නකි. ස්ත්‍රියට කිසි විටෙක තමාගේ ආදරවන්තයා කෙරේ පවිත්‍ර වූ විරාගී ප්‍රේමයක් දීමට නොහැකිය. වැඩිමනත්ව කියන්නේ නම් ඇයට තමාගේ මමායනය (Egoism)  ජය ගත හැකි එකම ක්‍රමය මෛථුනයයි. ඇයට ඇති එකම ආචාර විද්‍යාත්මක (Ethical) අදහස එය පමණි.

නේරංජනේහි එන බුදු වූ ස්ත්‍රිය පිරිනිවන් පෑමට පෙර මානවකයකු සමඟ රමණය කරයි. එම රමණය ඇගේ  අවසානය ළඟා කරන බැවින් මානවකයා කියන්නේ නොමැරී සිටීමට නම් විපරිත කාම ක්‍රීඩාවකින් එය කෙළවර විය යුතු බවයි. මානවකයා මෙසේ පවසයි.


‘මා සමඟ කයින් කය පහරින යමකු වේද, උහුද ඒ ඉරණම්ම වන්නේය. නමුදු මම් නුඹ හා කයින් කය පහරනු රිසියෙමි. එද තොප මාගේ ඉරණම් ලබනු නොකමැත්තෙමි. තොප මා සමඟ සිතින් සිතදු නොපහරිනු මැනව. තොපට අන්තරා වන්නේය. එබැවින් ශ්‍රාව නොතැවරෙන ලෙස මම තොප පයෝධර ඉඹින්නෙමි. රහසඟ ඉඹින්නෙමි. තලැටක් පමණ කුදු ප්‍රවේශ නොකරන්නෙමි. නොගටන්නෙමි. කලවා මුස කරමි. අතින් උපක්‍රම කරන්නෙමි. විසර්ජික ශ්‍රව තොප සිරුරු නොගැටෙනුව වග බලා ගනිමි.


නේරංජනේ 49 පිට


අප සිත්හි තබා ගත යුතු දේ නම් මේ සියල්ල ලියන්නේ පිරිමියෙකි. එහි කිසිදු ශෘංගාරයක් නැත. ඉන් තීව්‍රව නැගෙන්නේ විපරිත කාම ක්‍රීඩාවන් පිළිබඳ පුරුෂයකුගේ අසභ්‍ය ෆැන්ටසි මනස්ගාතය. ඉන් කියවෙන පරිදි එකී මානවකයා සමඟ සිත් සේ රමණය කර ඇය පිරිනිවන් මංචකයෙහි වැදහොත් බව සඳහන්ය. ඒ වූ කලී විනින්ගර්ගේ පුරුෂ ලිවීමේ වෙනස් ප්‍රකාශනයකි. විනින්ගර් පවසන්නේ පුරුෂයා ස්ත්‍රිය වෙත ලිංගිකත්වය පිරිනැමීම ඇගේ පැවැත්ම තහවුරු කරන බවය.


“පුරුෂයා රාගී වන කල ස්ත්‍රිය නිර්මාණය කර ගනී. ස්ත්‍රිය පහළ වන්නේ පිරිමියා තම කාමරාගී බව පිළිගැනීමෙනි. ස්ත්‍රිය යනු මෙම තහවුරු කිරීමේ ප්‍රතිඵලයයි. ඇය කොහොමත් රාගිකය. මේ නිසා ස්ත්‍රියගේ එක් අරමුණක් වන්නේ පුරුෂයා කාම රාගීව තැළීමය... ඇයට ඇත්තේ එක් අරමුණකි. එනම් පුරුෂයාගේ වරදකාරී බව දිගටම පැවතීමට ඉඩ හැරීමය. පුරුෂයා තම කාම දාහය නිවා ගත් සැණෙන් ඇය අතුරුදන් වෙයි.”


-ඔටෝ විනින්ගර්


අප ඉහත නේරංජනෙන් උපුටා දැක් වූ සංසිද්ධිය තුළ සිදු වන්නේ විනින්ගර් කියන දේම නොවේද? ඇගේ පිරිහිවීම සලකුණු කරන්නේ පුරුෂයාගේ කාම පවස සංසිඳුවා අතුරුදන් වීමය. වින්ගර්ට අනුව ස්ත්‍රිය යනු පුරුෂයාගේ ඇද වැටීමේ හේතුව නොවේ. එහි ප්‍රතිඵලයයි. මේ නිසා ස්ත්‍රියට එරෙහිව යාමේ ඵලක් නැත. ඇය කවර හෝ ඵලදායී සත් භාවමය සංස්ථිතියක් හිමි කර නොගනී. මේ නිසා ස්ත්‍රිය නොපවතී 
(Woman Does not Exist) යන විනින්ගර්ගේ තීරණය ස්ත්‍රී පිරිමියාගේ රෝග ලක්ෂණය යයි ලැකාන් ගෙන එන ප්‍රවාදය සමඟ සමපාත වේ. ස්ත්‍රිය යනු පිරිමියාගේම ලිංගිකත්වයේ ප්‍රකාශනයක් මිස අන් කිසිවක් නොවේ යයි විනින්ගර් පවසයි. සර්පයා මේ පොත ලියමින් යට කී විනින්ගරියානු ප්‍රවාද උත්කර්ෂයට නංවා නැතැයි කිසිවකුට කිව හැකිද?


වීනින්ගර්ගේ ප්‍රවාද විවරණය කරමින් ජිජැක් පවසන පරිදි ස්ත්‍රියගේ පැවැත්ම සාක්ෂි දරන්නේ පිරිමියා තමාගේ ආශාව සමාදානයෙන් බේරාගෙන තිබෙන බවය. එනම් ලිංගිකත්වයට ඉඩ දීමෙන් නිදහස් ආචාර ධාර්මික ආත්මයක් ලෙස තමාගේ සැබෑ ස්වභාවය ඔහු පාවා දී  ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස සිදුවී ඇත්තේ ලිංගික සංසර්ගයට ඇති බලවත් කෑදරකම නිසා ස්ත්‍රියගේ සමස්ත ජීවිතය පැල්ලසයේ 
(Phallus) අණසකට යටත් වීමය. අපි නැවත විනින්ගර්ගෙන් කියවමු.

“පුරුෂ අංගජාතය වු කලී ස්ත්‍රියට ඇය නම නොදන්නා ඉඞ් සංස්කාරකයකි. ඇගේ ඉරණම ඇත්තේ ඒ තුළය. ඒ වූ කලී ඇයට ගැලවී ගත නොහැකි කිසිවකි. මේ හේතුව නිසාම ඇය නිරුවත් පිරිමියකු දක්නට අකමැතිය. එවන් මොහොතක තමා වියැකී යන බවක් ඇයට හැඟේ. එලෙස පැල්ලසය ඇගේ නිදහස යළි දිනාගත නොහැකි ලෙස පැහැරගෙන ඇත.


විනින්ගර්ගේ ග්‍රන්ථයේ 269 පිට


“ස්ත්‍රිය නිදහස් නැත. අන්තිමේදී පුරුෂයකු මඟින් දූෂණය වීමේ බලවත් ආශාව ඇය තුළ හැමවිටම පවතී. ස්ත්‍රිය පැල්ලසය මඟින් පාලනය වේ.”


විනින්ගර්ගේ ග්‍රන්ථයේ 274 පිට


ස්ත්‍රියකට බුදුවිය නොහැකිය යන පුරුෂවාදී ආස්ථානය සුණුවිසුණු කර දමන ආඛ්‍යානයක් සේ රචනා වූවද නේරංජනේ ඉස්නානේ, අවසන නතර වන්නේ විනින්ගරියානු ස්ත්‍රී විරෝධී අඩවියකය. අතිශය ඕලාරික ලෙස ලිංගිකත්වය උත්කර්ෂයට නංවන ලිවීම් අතර මේ ස්ත්‍රී විරෝධය සොයාගත හැකිය. මා පහත උපුටා දක්වන්නේ එවන් අවස්ථාවකි.


“පුරුෂ ලිංගාපේක්ෂිතවම කල් බලමින් සිටි මෙදෙස් ඉතිරිහු යක්ෂයින් සමඟ මෛථුනදාමයට ද හොර රහසේ පෙළඹුණහ. මදන මතින් නලියන, උගුරැස්ස කටු මෙන් ඉත්තෑකූරු මෙන් ලොම් ඇති සිරුරින් යකෙකු මා දූෂණය කරත්වා, මා බරු ගසත්වා, කත්වායි දිව මතු කරමින් හුන් ඒ ඉතිරිත් ශාසනයට හැරවීම මහත් අපහසු විය. මේ ඉතිරින්ගේ ඉකුත්වත් මෙසේ බව දත යුතු”


63 පිටුව


යට කී වැනුම් ඔටෝ විනින්ගර් නැවත ලිවීමක් බදුය. පුරුෂ ලිංගය සංකේතවත් කරන යෙදුම් බහුලව භාවිත කරමින් කරන එම ලිවීම් මඟින් තහවුරු කරන්නේ ස්ත්‍රිය පැල්ලසයේ  පාලනයට යටත්ය යන ප්‍රවාදයයි. සැබැවින්ම ස්ත්‍රියක් ඇගේ ලිංගික ආශාව මැඩ ගන්නා විට සහ ඒ කෙරෙහි ලජ්ජා වන විට ඇය යටපත් කරන්නේ ඇගේ සැබෑ ස්වරූපයයි. ඇගේ යථා ස්වභාවය ප්‍රචණ්ඩකාරී ලෙස පෙරළා සටන්වදී. එය ආපසු පැමිණෙන්නේ හිස්ටරීක රෝග ලක්ෂණ නම් වෙස්වළාගෙනය. ‘නේරංජනේ ඉස්නානේ’ යනු එබඳු හිස්ටරික ස්ත්‍රීන් පිළිබඳ ආඛ්‍යානයක් බව වටහා ගැනීමට අපහසු නැත.


අප නැගිය යුතු ප්‍රශ්නය නම් සමන් කුමාර මෙම ලිවීම් කරන්නේ කුමක් නිසාද යන්නය. ඔහුගේ ඉලක්ක පාඨකයා කවරකුද? කිසිවකු නැත. ඔහු ලියන්නේ ඔහු උදෙසාමය. මෙම ආඛ්‍යායන කියවීම තුළ අප දකින්නේ එය ලියමින් ඔහු විඳින ෆැලික ප්‍රමෝදයයි. ස්ත්‍රීවාදය දෝරේ ගැලූ යුගයක සමාජය තුළ සැරිසරණ හිස්ටරික ස්ත්‍රිය ඔහුගේ ප්‍රස්තුතය වේ. අසූව දශකයේ ස්ත්‍රීවාදය යනු හිස්ටරික ස්ත්‍රීන්ගේ යුගයයි. ඇත්තටම නම් ඔහු ලියන්නේ ඔහුට හමු වූ යට කී (පුරුෂ බුද්ධත්වය ප්‍රාර්ථනා කළ) හිස්ටරික ස්ත්‍රීන් ගැනය. සැබැවින්ම මෙහි දී විසංයෝජනය වන්නේ පුම/ ඉතිරි ලිංගික වෙනස
 (Sexual Differance) නොව එකී වෙනස මඟින් නිර්මාණය කරන හිස්ටරික ස්ත්‍රියයි. තම ලිවීම තුළ ලේඛකයා ෆැලික ප්‍රමෝදයක් විඳිතැයි අප කියන්නේ එබැවිනි. සාරාංශ කොට කිවහොත් මෙය සපුරාම පුරුෂවාදී ලිවීමකැයි සටහන් තබමින් මෙහි හමාර කියවමි.

ආශ්‍රිත ග්‍රන්ථ


The Metastases of Enjoyment - Slavoj Zizek 

Sex and Characte - Otto Weininger 

The Sublime Object Of Ideology - Slavoj Zizek 

Writing and Difference - Jark Derrida