Thursday, February 23, 2023

සමන් කුමාර නම් කෙටිකතාකරුවා – ‘සර්පයකු හා සටන් වැද’ සහ ‘සඳැල්ලෙන් වැටී මිය ගියහ ඔවුහු’

K. K.   ගැන K. K. 
 

ආලේඛ
්‍ය ප්‍රභාවලේඛය- දිනිල් අබේගුණවර්ධන

 






ලෝකයේ විවිධ රටවල විවිධ ලේඛකයෝ වෙසෙති. බොහෝ විට එම ලේඛකයෝ රටක සාහිත්‍යය ඉහළ තැනකට ගෙන ඒමට මහත් සෙයින් උපකාර වෙති. මෙය එවැනි ලේඛකයෙකු සඳහා වෙන්වුණු ලිපියකි. මේ ලිපිය වෙන් ව ඇත්තේ සිංහල සාහිත්‍යයේ ගොලායත් ලෙසින් හැඳින්විය හැකි ලේඛකයකු වෙනුවෙනි. ඔහුගේ කෘති සියල්ල ඉංගිරිසියට පෙරළෙන්නේ නම්, ඔහු ජාත්‍යන්තර සම්මාන රැසක් වුව දිනාගැනීමේ හැකියාවකින් හා නිර්මාණශීලීත්වයකින් යුතු රචකයකු කියා මම සිතමි. මීට හොඳම උදාහරණ දෙකකි යසුනරි කවබතා සහ කෙන්සබුරෝ ඕයී. කෙතරම් දක්ෂ ලේඛකයෙකු වුව, භාෂාවලට නොපෙරළෙන්නේ නම් කිසිදාක එම ලේඛකයාට ජාත්‍යන්තරයට විහිදුණු ලේඛකයකු විය නොහැක. එහෙයින් අනාගතයේ දී හෝ ඔහුගේ කෘතීන්වලට එලෙස පරිවර්තන ලැබේයැයි සිතමින් ලිපිය අරඹමි. සර්පයකු හා සටන් වැදි හෙතෙම, සර්පයා ය. එ’සඳ මම බලා සිටියෙමි යනුවෙන් පවසා නොබෝ කලක් ගත වන්නට මත්තෙන්, හෙතෙම සඳැල්ලෙන් වැටී මිය ගිය අයවලුන් දෙස බල බලා නේරංජනේ ඉස්නානයක් කරන්නට වී. ඉහිරුණු පිනි අහුරක් ද නගා මැරූ අල ද එ වේලේ ඔහු දෑතෙහි ය. මේ අතරවාරයේ දී ඔහු පුංචි ඊවා, බිල්ලා සහ පුංචි සඳවතිය අමතක කළේ ද නැත; විදෙස් ලේඛකයින් ව අමතක කළේ ද නැත. වසර කිහිපයක ඇවෑමෙන් ඔහු අසාත්මිකතාවක් ගැන ලියන්නට වූයේ මහිලා වංශය අප හමුවේ දිග හරිමිනි. ඉනික්බිති, අර්ධනාරිය අප වෙතට එවා, හෙතෙම මාක්ස් හා සම්මුඛ වන්නට වී. ඉන්පසු පිළිවෙලින් මාක්ස් ව ද, කොළඹට කවි නැවක් ද, රතී නම් සුදු යකින්නියක් ද පිට කළේ සිය අභ්‍යන්තරයේ වූ නිර්මාණකරුවා කෙතරම් විචිත්‍රවත් ද සහ කෙතරම් නිර්මාණශීලී ද කියා අප හට පෙන්වන්නට බව නම් මට නිසැකයෙන් කිව හැක.

කාව්‍යකරණයේ දී ඔහු විප්ලවීය චරිතයක් වුව ද, මෙම ලිපියෙන් මා ඔබේ අවධානය යොමු කරන්නට තනන්නේ කේ. කේ. යන නවකතාකරුවා සහ කෙටිකතාකරුවා දෙසට ය. මාගේ පුද්ගලික මතය නම්, ඔහු ජාත්‍යන්තරය හඳුනාගත යුතු ලේඛකයකු යන වග ය. එහෙත් මා හට කියැවීමට සොයාගත නොහැකි වූ මහිලාවංශය සහ නේරංජනේ ඉස්නානේ මෙම ලිපියෙන් සාකච්ඡා කරන්නට මම තැත් නොකරමි.

“සර්පයකු හා සටන් වැද – කෙටිකතා එකතුව”

සර්පයකු හා සටන් වැද යනු අතිශයින්ම කෙසඟ කෙටිකතා එකතුවකි. එසේ වුව, එම හින්දෑරි එකතුවේ එන කතන්දර දොළොස, ලාංකේය කෙටිකතාවේ මඟ වෙන’තකට හැරවූ වග නොරහසකි. මෙහි මා සිත බෙහෙවින් ම පුදුමයට පත් කළ කතන්දර ගණනාවකි. මාගේ මතයට අනුව, ඉන් ප්‍රබලතම කතන්දර ත්‍රිත්වය “සර්පයකු හා සටන් වැද,” “සුළඟට ගසා ගිය ගැහැනියක්,” හා “අපබ්‍රංස කතාවක්” යන කතන්දර ය. සර්පයකු හා සටන් වැද යන කෙටිකතා එකතුවෙන් පිළිඹිබු වන්නේ එකල නවක ලේඛකයෙකු වූ සමන් කුමාර මහතා කෙතරම් ප්‍රබලයෙකු වූයේ ද යන වග ය. අන්වර්ථ නාමයෙන් ඔහු සර්පයා වූයේ මෙහි එන සර්පයකු හා සටන් වැද නම් කෙටිකතාව නිසාවෙනි. සර්පයකු හා සටන් වැද යන කතන්දරය ගෙතී ඇත්තේ සිය දියණිය හා ව්‍යාභිචාරී සම්බන්ධයක් පවත්වාගෙන පියෙකු වටා වන අතර, කතන්දරය කියවන වාරයක් පාසා, පෙර කියැවීමේ දී හඳුනාගත නොහැකි වූ විශේෂ කරුණු කියවන්නාට හැඟෙන බව මාගේ පුද්ගලික මතය යි. මනසේ චිත්තරූප මැවීමේ කලා නියමය, එසේත් නැතොත් විෂුවල් ඉමේජරි, ඔහුගේ කතන්දරවල ප්‍රබලතම ස්ථානයක් ගන්නා බව මාගේ මතය යි. එමෙන්ම, සංකේතකරණයේ දී ඔහු කෙතරම් ප්‍රබලයෙක් ද කියා පාඨකයිනට දැනගත හැකිවන්නේ ද මෙම කතන්දර එකතුවේ එන මෙම කතාව මඟින් බව මාගේ මතය යි. පළමු කියැවීමේ දී මට හමු නොවූ එක් විශේෂ සංකේතයක් මෙම කතන්දරයේ තිබුණ’තර, එය අහම්බයක් දෝ කියා මට සිතුණ ද, ඔහු තුළ ඇති දැනුම නිසාවෙන් මෙය අහම්බයක් නොවන්නේ යැයි මම සිතමි. එකී විශේෂ කරුණ නම් ඊජිප්තුවේ උපත ලද සංකේතයක් වන ඖරෝබොරොස් ය. ඖරෝබොරොස් යන සංකේතයෙන් පිළිඹිබු වන්නේ සිය වල්ගය ගිලගන්නා සර්පයකු ය. “ඖරෝබොරොස්” යන වචනයේ තේරුම ද “වල්ග-බුදින්නා” ය. ඖරෝබොරොස්ගෙන් හැමවිටකම පාහේ කියැවෙන්නේ සෘණාත්මක අදහසක් නොවුණ ද, සමහර අවස්ථාවල දී එය එලෙසින් ද අර්ථකතනය කර ඇත. පොදුවේ ඖරෝබොරෝස් යන්නෙන් කියැවෙන්නේ ඒකතාව පිළිබඳ ව ය; අනන්තය පිළිබඳ ව ය; නව ජීවය පිළිබඳ ව ය. නමුත්, සුළුතරයට අනුව, ඉන් කියැවෙන්නේ තමාගේ ම පාපයන්ගෙන් තමා විනාශ කරගැනීම පිළිබඳව ය. ඒ අර්ථයෙන් එම සංකේතය පිළිබඳ ව සලකා බලන කල, එය “සර්පයකු හා සටන් වැද’ කතන්දරයට ඖචිත්‍ය වේ. සංකේතයෙන් හැඟෙනවා යැයි බොහෝ දෙනා පවසන අර්ථයට එය නොගැළපුන ද, සුළුතරය දරනා මතය හා සසඳා බලන කල්හි එය කතාවට බෙහෙවින් ගැළපේ. පිටු තුනක දිගින් යුතු වුව, නවකතාවල හෝ දැකගත නොහැකි මනබන්දන රචනා ශෛලියකින් මෙය රචනා වී ඇත. බොහෝ විදෙස් කෘතිවල උපුටන ලෙස දැක්විය හැකි කොටස්වල අතිශය නැවුම් ස්වභාවයක් මම දැක ඇත්තෙමි. එවැනි නැවුම් ස්වභාවයක් මෙම කතන්දරය පුරාවට ම ඇත. දුවණියගේ උපතේ සිට, ඇගේ වැඩිවිය දක්වා ම ඇති වැකි පෙළ, මාගේ මතකයේ තවමත් රඳා පවති යි. ඒ වැකිපෙළ අතරේ මා මතකයේ එකෙණෙහි රැඳුණු කොටස මෙය ය: “සඳ එළිය කැටි ගැසුණු සුදු වටොර ය. ගවුම පිරිමදින දෙ තන ලප තුඩු ය. මීන චංචල කිඳුරු දෑස ය. හදිසියේ ම පොළොව පළාගෙන සර්පයා උඩට මතු විය. මම ඇයට නොපෙනෙන්නට ඌ පයින් පාගා ගතිමි.” මේ කලකිරෙන සිද්ධි දාමය සහ සර්පයා කරන්නට කියනා ඕනෑම දෙයක් ඔවුන් සිදු කරන බව පියා අප හමුවේ පවසා අවසන් වූ සඳ, අප දෑස ගැටෙන කොටස මෙය ය: “ඌ අද හෝ හෙට මිය යා යුතු ය. නැතහොත් ගල්මුල්වලින් වැසී අපත් සමඟ ම මිය යා යුතු ය.”

මෙහි ම හමුවන “අපබ්‍රංස කතාවක්” මඟින් සිදුවන්නේ සම්මත ය කියා සැලකෙන පිළිගැනීම් තරමක් හාස්‍යයට ලක් කිරීම ය යන්න මාගේ පුද්ගලික මතය යි. දිවි තොර කර ගැනීමේ අදිටනින් යුතු ව රේල්පාරේ වැතිර සිටින තරුණියක්, එතැනට කඩා වදින තරුණයකුගේ අතින් බලහත්කාරකමට ලක් වෙයි. කෙලෙසීමට ලක් වීමෙන් අනතුරු ව පොලිස් නිළධාරීන් හට හමුවන ඇය ව පොලීසියට රැගෙන ආ පසු, ඇය පතන්නේ එක’මෙක දෙයකි. එය නම් එම තරුණයා ව තමන් හට නරඹන්නට ඉඩ ලබා දෙන මෙන් ඉල්ලීම ය. මිනිසා උපතේ සිට ම අභූත ජීවියෙකු බව අමුතුවෙන් කිව යුතු නොවේ. තමාට අනන්‍ය වූ අන්දමේ අභූතභාවයක්, නෛසර්ගික අභූත ගුණයක්, සමාජයේ අප දෑස ගැටෙන බොහෝ දෙනෙකුට ම ඇත. බොහෝ අවස්ථාවන් හි දී එම අභූත භාවය ඔවුන් තුළ ම පවතින්නකි. එය ඔවුනට ද හඳුනාගත නොහැකි ය. සමහර විටෙක දී එවැන්නක් අප තුළ තිබේ ද කියා ද අපි නොදන්නෙමු. නමුත්, එවැනි අභූත ගුණ තිබෙනා අයවලුන් සමාජයේ ඕනෑ තරම් දැකගත හැකි අතර, එවන් චරිතයක් ප්‍රධාන කරගනිමින්, පිටු දෙක තුනකින් සමාජයේ සිදු වෙතැයි සිතිය නොහැකි එවැනි සිද්ධියක් අප හමුවේ ගෙනහැර පාන රචකයා, මේ කෘතිය පුරාවට ම සිය අවිය කරගන්නේ භාෂාව ය. ඔහු ලියූ වැකියක අක්ෂරයකුදු වෙනස් වුවහොත්, අර්ථයට හානියක් සිදු නොවුව, ශබ්ද රසයට තරමක අසාධාරණයක් වීමේ ප්‍රවණතාවක් ඇති වග මගේ මතය ය. උදාහරණයක් ලෙස, ‘නාසය’ යන වචනය පිළිබඳ සලකා බලන කල, ඔහු නාසය යන වචනයට සමාන පද නොයෙක් නොයෙක් අවස්ථාවල දී භාවිත කරනුයේ කතන්දරයට ඔහු භාවිතා කරන වාක්‍ය ශෛලියට අනුගතව ය. උක්ත ‘නාසය’ යන වචනය සැළකුවහොත්, මා කියැවූ කතන්දරවල ඔහු විවිධ අවස්ථාවන්වල දී එය ‘නාසය,’ ‘නහය,’ ‘නැහැය,’ සහ ‘නාහෙ’ යන නොයෙක් නොයෙක් ආකාරයෙන් යොදා තිබෙනු මම දිටිමි. ඒ හුදු වචන හරඹය පුදුම උපදවන එකක් වන හෙයින්, එබැව් නැවත නැවත නිරායාසයෙන් ම ලිපියේ අන්තර්ගත වීම වළකාලිය නොහැක. එනමුදු පෙර සඳහන් කළ පරිදි ම, අපබ්‍රංස කතාවේ තරුණිය වටා මනුෂ්‍ය ආශාව සහ මනුෂ්‍යයා ගේ මනස මුල්කොටගෙන ඔහු මවන්නා වූ මනරම් සිද්ධිය කෙතරම් මායාකාරී වූයේ ද?
තෙවැනි කතන්දරය ලෙස මම තෝරාගත් කතන්දරය “සුළඟට ගසා ගිය ගැහැනියක්” ය. මෙය, අතිශය සංවේදී සිදුවීමක්, ශ්‍රී ලංකා ඉතිහාසයේ සිත කළඹනසුලු එක් අවස්ථාවක් ශ්‍රේෂ්ඨා’කාරයෙන් පන්හිඳ හසුරවා ගෙත්තම් කළ අවස්ථාවකි. කතාව ඇරඹෙන්නේ ම වීථියක ගමන් ගන්නා කතකගේ රුවක් අප මනසේ මවමිනි. ඇය, සිය දරුවා ද වඩාගෙන මාවත ඔස්සේ පිය නඟිමින් සිටින්නී ය. ඈ පසුපසින් එක් වරම නැවතුණේ පා පැදියකි. එය පැදවූයේ පොඩ්ඩේ ය. කරණවෑමියෙකු වූ මුත්තු නම් තම ද්‍රවිඩ සැමියා මිය යෑම නිසාවෙන් දුක් ව සිටින සෝමා ට තමා හා පදිංචි වන ලෙසට යෝජනාවක් කරන හේ, ඇගේ දෑසින් වෛරය දුටු කෙණෙහි ගිනිමරේට එතැනින් පිට ව යයි. ඇය, නැවතත් සිය දෙමව්පියන්ගේ නිවහන දෙසට ඇය ව ගෙන යන මාවත දෙස බලා සුසුම් හෙලන්නී ය. මෙම සිදුවීම රචනා වී ඇත්තේ 83 කළු ජූලිය පදනම් කොටගෙන බැව් පිටු එකහමාරක දිගින් යුතු මෙම කතන්දරය කියවන විට ඔබට නිසැකව ම පසක් වනු ඇත. පෙර මා කිව් පරිදි ම, මිනිසා කෙතරම් අපූර්ව ජීවියෙකුදැයි කියා නොවේ ද කතන්දරකරුවා අප හමුවේ පවසන්නේ? “ඔහු නිසා ලස්සන වූ මුහුණු ම මාරයින් ගේ මුහුණු මෙන් අවලස්සන ව ඔහු දෙසට හැර වී තිබූ අයුරු, ඔහුගේ අතින් ඒ මුහුණු උඩ ලස්සනට හීන් සීරුවේ එහෙට මෙහෙට ගිය දැලි පිහිය ඔහු දෙස කිසිඳු පරිස්සමක් නැති ව ඔරවාගෙන උන් අයුරු . . . ඇගේ නෙතින් කඳුළුවැල් රූරා බසින්නට විය.” මෙම වැකි අල්පයෙන් චිත්ත රූ මැවීම උපරිමයට ම සිදු ව ඇත ය යන්න මාගේ මතය යි. ඊටත් වඩා ප්‍රබල ව මෙම තේමාව පදනම් කරගෙන තවත් මෙවැනි ම කෙටිකතාවක් ලියූවේ ද මොහුම ය. මහාචාර්‍ය කුලතිලක කුමාරසිංහයන්ට අනුව, උක්ත ආන්දෝලනාත්මක කාල පරිච්ඡේදය පදනම් කරගෙන ලියැවුණු ප්‍රබලතම කෙටිකතා ද්විත්වය රචනා කළේ මොහු ය.

“සඳැල්ලෙන් වැටී මිය ගියහ ඔවුහු – කෙටිකතා එකතුව”

“සඳැල්ලෙන් වැටී මිය ගියහ ඔවුහු” යනු ද අතිශයින් ම විශේෂ කෙටිකතා එකතුවකි. මෙහි කතන්දර “සර්පයකු හා සටන් වැද” එකතුවෙහි එන කතන්දරවලට වඩා තරමක් වෙනස් ය. කතන්දර දහයකින් හෙබි මෙය, මීට පෙර ආ කෙටිකතා එකතූන් දෙකට ම මැද තැනක් ගන්නා බව මාගේ අදහස යි. සර්පයකු හා සටන් වැද යනු ඔහුගේ කෙටිකතා එකතූන් අතරින් පහසුවෙන් ම කියැවිය හැකි එකතුව වන අතර, ඊට පසු ආ එ’සඳ මම බලා සිටියෙමි Ergodic literature කතන්දරවල ගුණවලින් හෙබි කතන්දර එකතුවක් වන අතර, සාමාන්‍ය පොතක් කියවන අතට නොකියවා පොත ඒ මේ අතට හරවා, දෑස මහත් සෙයින් වෙහෙසවා කියවිය යුතු යමකි, “එ’සඳ මම බලා සිටියෙමි.” නමුත් “සඳැල්ලෙන් වැටී මිය ගියහ ඔවුහු” එයාකාර යමක් නොවේ. නමුත් “සඳැල්ලෙන් වැටී මිය ගියහ ඔවුහු” හි අන්තර්ගතය වියුක්ත ය; සංකීර්ණ ය; එනමුත් “එ’සඳ මම බලා සිටියෙමි” මෙන් සංකීර්ණ නැත. මෙම එකතුවේ “ගිනි වැදි මහ පොළොව,” “වංගගිරියක මංමුලා වී සිටිමු,” සහ “සඳැල්ලෙන් වැටී මිය ගියහ ඔවුහු” යන කතන්දර ත්‍රිත්වයට අවධානය යොමු කරන්නට සිතුවෙමි.

“ගිනි වැදි මහ පොළොව” යනු ඉහත දී සඳහන් කළ 83 කළු ජූලිය පදනම් කරගත් දෙවැනි කතන්දරය වන අතර ම, කතුවරයාට අනුව ඔහුගේ සිත මහත් සෙයින් කම්පාවට පත් කළ කතන්දරය යි. මෙහි සිදුවීම මා ද කම්පනය කළ එකකි. එවක මා උපත ලබා නොතිබුණු මුත්, මෙම කතන්දරය මා සලිත කරවාලූයේ එදා මා එවැන්නක් අත් වින්දේ ද කියා මා මාව ම ප්‍රශ්න කරගන්නට මෙහෙයවමිනි. ගමනක යෙදී, සිය වාහනයෙන් තම නිවෙස බලා එන ද්‍රවිඩ පවුලක ඛේදනීය ඉරණම පිළිබඳ කියැවෙන මෙහි මා වඩාත් ම කම්පනය කරවූයේ අවසන් සිදුවීම ය. පළමු වැකි දෙක මෙලෙස ය: වැටකොටු මැදින් පොළොව පැලී ‘හෝස්’ ගා නැඟුණු ගිනිදලුවක් පොළෝතලය වසා ගති. සැණින් මහ පොළොව ද ඉර මෙන් ගිනි බෝලයක් ම වී.” මා පෙර නිතර දෙවේලේ ම සඳහන් කළ චිත්ත රූ මේවා ය. වටපිට නිරීක්ෂණය කළ විට දී පවුලේ ගැහැනිය සලිත වනුයේ මෙසේ යි: “කඩින් කඩ නැඟෙන ලතෝනි හඬින් වරින් වර ඇගේ මුහුණෙහි මස් පිඬු හැකිලිණි. නළලේත්, උඩුතොල මතත්, නැහැය අග්ගිහේත් හීනියට දහදිය බිඳු බිඳු නැඟෙන්නට වී.” අනතුරු ව කාර් රථයට ගින්දර දමනු ලැබේ. නමුදු, ගිනි තබන්නට දායක වූ යමෙකු, වාහනයේ පසුදොර හැර, දරුවා උදුරා ගනී; ඔහු වාහනයෙන් ඉවත් කර දමයි. සිත කම්පනය කරවන, දරුවාගේ පියාගේ ක්‍රියාව සඳහන් අවසන් වැකිය මෙසේ යි: “දරුවා සිය දෑතින් ඔසවා තුරුලු කොටගත් හේ ගිනිගුලිය දෙබෑ කරගෙන එතුළට ම රිංගා ගති.” සිය දරුවා ද සමඟින් පියා ගින්නට බිලි වන්නේ ය. එම පවුලේ අනුවේදනීය කතා පුවත එතෙකින් නිමා වන්නේ ය.

වංගගිරියක මංමුලා වී සිටිමු” යනු විශේෂ කතන්දරයකි. රූබර තරුණියක ගේ මළසිරුරක් එම්බාම් කරන්නට පැවරුණු දෙදෙනෙකුගෙන් පළපුරුදු ඇත්තා, පළපුරුදු නැත්තා තනිකොට, වැඩය කිරීමට අවැසි බඩු බාහිරාදිය රැගෙන එන්නට ටවුමට යන්නේ ය. ඒ එන ටිකට පළපුරුදු නැත්තා ශවකාමය කෙබඳුදැයි පිරික්සයි. ඉනික්බිති, අසනීප වන ඔහු, වෛද්‍යවරයකු හමුවූ විට වෛද්‍යවරයා පවසන්නේ ඔහුට සමාජ රෝගයක් වැළදී ඇති බව ය. එමෙන්ම, සිදු වූ දෙය නිරායාසයෙන් ම සිදු වන්නක් බව ද ඔහු පවසයි. සදාචාර පොලීසිය වෙත යවනු ලැබූ තරුණියගේ ලියුමෙන් ඇය පවසන්නේ මෙය යි: “සෑම ගැහැනියක මෙන් ම මම ද දෙවතාවක් මළමිනියක් වීමි.” ඉනික්බිති අපට වැටහෙනුයේ ඇය පුරුෂයිනගේ ආශා වලට රූකඩයක් වූ කතක වන බව ය. මනුෂ්‍ය චිත්ත සන්තානයේ විකෘති අදහස් පිරික්සන සමන් කුමාර මහතා තරුණියගේ ලියුමේ අවසන ලියනා වැකිය මෙය ය: “මහත්වරුනි, මෘත ශරීරාගාරවල සිදුවන දෙයත්, ඔබේ නිදි ඇඳේ සිදුවන දෙයත් අතර වෙනසක් නැති බව නොදන්නා හෙයින් ඔබ ඔවුනට කැට කැබලිති විසි කරන බව නම් මට සහසුද්ද ය.”

කතුවරයාට අනුව, “සඳැල්ලෙන් වැටී මිය ගියහ ඔවුහු” යනු සමරිසි තරුණියන් දෙදෙනෙකු තම තමන්ගේ දිවි තොර කරගැනීමේ පුවතක් දුටු විට ඔහු ලියූවකි. පිරිමින් ජරා ජාතියකැයි හංවඩු ගසන ඉෂා සහ නිෂා සමරිසි තරුණියන් යුගලකි. මූදු වෙරළ ඔවුන් වැඩිපුර ම හමුවන ස්ථානය යි. මොවුන් දෙදෙනා දොඩන්නේ ද අමුතු ආකාරයකට ය; සිතන්නේ ද අමුතු ආකාරයකට ය. ඔවුන්ගේ දෙබස් තරමක් අපැහැදිලි ය. ඒ ආකාරයෙන් ලේඛකතුමා කතන්දරය ගෙත්තම් කරන්නට ඇත්තේ සුලභ ව ලොව වෙසෙනා ජනතාවට සමරිසි හැඟීම්වලින් යුතු මෙම තරුණියන් දෙදෙන වටහාගත නොවනු ඇත ය කියා පැවසීමට විය හැකි ය යන්න මාගේ මතය යි. නමුදු එම දෙබස් බෙහෙවින් මනබන්දනා සුළු ය. කෙළිලොල් බවින් යුතු ය; චිත්ත රූ මවන්නේ ය. දරුවන්ගේ විහිලු බස් හා සමාන ය. මෙහි එක් තරුණියක් වමනය කරනා අවස්ථාවක දී අප දෑස ගැටෙන වැකි පෙළකි මේ: “මෙන්න, මහා ප්‍රාචීරෙ ගැලවිලාද කොහෙද…….. පෙනහැල්ලකුත් ඇවිත්…….. ගලනාලෙත් ඇවිත් ස්වාසනාලෙ දිගේ……..” අනෙක් තරුණිය කියන්නේ ඇගේ පිටතට පැමිණ ඇති අතුණුබහන් නිය කටරයෙන් කපා දමා මාළුන්ට බුදින්නට ලබා දී, පසු ව එම මත්ස්‍යයින් මසුන් මරන්නන් මත්ස්‍ය වෙළඳසැලට දැමූ පසු උන් ගෙන අනුභව කරනා ලෙසට ය. කැමරාවක් මානමින් කතාවේ අවසානය සනිටුහන් කරන ලේඛකතුමා කවුරුන් විසින් හෝ ඔවුන්ගේ සිරුරු බැඳ දමා ඇති වග පවසමින් කැමරාව මළ සිරුරු දෙකට මානන්නේ ය.

මෙම ලිපිය බෙහෙවින් දිගු ය; මුලින් මා සිතා සිටියේ කේ. කේ. සමන් කුමාර මහතා ගේ කතන්දර එකතූන් සහ නවකතාවලට එක් ලිපියකින් ඇගයීමක් කරන්නට ය. පසුව එය කෙටිකතාවලට ලිපියක් ලෙස ද, නවකතාවලට ලිපියක් ලෙස ද වෙන් වුව, අවසන කෙටිකතා එකතූන් සඳහා ලිපි දෙකක් සහ නවකතා සඳහා ලිපියක් ලෙසින් වෙන් කරන්නට මට සිදු විය.

K. K. කාව්‍ය තත්සර 

https://agnilk.com/archives/1263 





මායා යතාර්ථවාදය





https://www.youtube.com/watch?v=aZ8cr0tbKng&list=PLG5mYZmJYit6cPNoDBoydtpo0uSS7CQFr&ab_channel=SriLankaRupavahini



මාක්ස් ලයිව් ඉන් ශ්‍රී ලංකා

 









: https://www.youtube.com/watch?v=AdjomlCjFJ8...

සුමුදු චතුරාණි ජයවර්ධන‍



Sunday, February 12, 2023





කවදාවත් හිතුවේ නෑ K.k. Saman Kumara වගේ දැවැන්තයෙක් අතින් අපේ නම් කියවෙයි කියල.

Author
Raamuwa Channel රාමුව
සාහිත්‍ය ලෝකයේ ආදරයට 'සර්පයා' කියන අන්වර්ථ නාමයෙන් හඳුන්වන කේ. කේ. කියන්නේ නිර්මාණකරණයේ පතාක යෝධයෙක්. ගැටවර වයසේදී මගේ චින්තනයට සාධනීය බලපෑමක් කල වැඩ්ඩෙක්. කේ.කේ. ව කියවපු අයට හිතාගන්න පුළුවන් ඇති ගැටවර පිරිමි විඥාණයකට කේ.කේ. ගේ නිර්මාණ වලට කරන්න පුළුවන් බලපෑම.
කේ.කේ. ගේ දැවැන්ත පරිකල්පනය ගවේෂණය කරන්න ඔබට යම් පරිචයක් තිබිය යුතුයි, සැලකිය යුතු චින්තන පරාසයක් තිබිය යුතුයි. එය ගොඩ නඟා ගැනීමෙන් තොරව කේ.කේ කියන ගොලායත්ව ගවේෂණය කරන්නට ගිහිල්ලා අතරමං වෙලා උතුර දකුණු මාරු වුණොත් ඒ පිළිබඳව වග කියනු නොලැබේ. 😉
එතුමා පල කොට ඇති අදහස් වල වලංගුභාවය ගැන තීරණය කිරීම ඔබට බාරයි.

'රාමුව', 'රන්දික විජේසිංහ' -

අවශ්‍ය අයට සම්පූර්ණ වීඩියෝව මෙතැනින්


Marks Live in Sri Lanka ( මාක්ස් ලයිව් ඉන් ශ්‍රී ලංකා ) | K.K Saman Kumara | Pothai Hitahai
YOUTUBE.COM
Marks Live in Sri Lanka ( මාක්ස් ලයිව් ඉන් ශ්‍රී ලංකා ) | K.K Saman Kumara | Pothai Hitahai

Tuesday, March 1, 2022

අර්ධ නාරි සහ දේදුනු ලිංගිකයන්ගේ අන්දරය






අනුසර වීරසිංහ
'අනිද්දා' පුවත්පත (2022/01/16)

"හැම උදෑසනකම මම මටම පොරොන්දු වෙනවා මම මුළු දවසම පිරිමියෙක් හැටියට ගත කරනවා කියලා. ඒත්, මම හිතන්නෙ මගේ ඇතුලාන්තයෙ පැළපදියම් වෙලා ඉන්න ලිලී නම් ගැහැනියගේ සිතිවිලි. මම දකින්නේ ඇයගේ හීන. ඇය හැමවිටම මගේ ආත්මය ඇතුලේ ජීවත් වෙනවා." මෙලෙස පවසා සිටින්නේ ලෝකයේ ප්‍රථම වාර්තාගත ලිංගික අවයව වෙනස් කරගැනීමේ සැත්කමට මුහුණ දුන් බවට සැලකෙන 'අයිනා වර්ග්නර්' (පසුව ලිලී එල්බේ ලෙස නාමකාය වෙනස් කරගත් ඩැනිෂ් සිත්තරාගේ ජීවිතය ඇසුරෙන් නිර්මාණය වූ "The Danish Girl" (ඩැනිෂ් කෙල්ල) නම් අපූර්ව සිනමාපටයේ තැනෙකය. එනමුත්, කේ.කේ. සමන් කුමාර විසින් රචනා කරන "අර්ධ නාරි" නම් පෙරළිකාර උභය ලිංගික සාහිත්‍ය කෘතිය (androgynous literary piece) එකී වික්ටෝරියානු යුගයටත් පෙර විසූ ප්‍රථම සංක්‍රාන්ති ලිංගිකයා ලෙස, ග්‍රීක මිත්‍යා අන්දරයන්ගේ අන්ධ අනාවැකිකරුවෙකු ලෙස නිරූපිත "තිරේසස්" නම් චරිතය හඳුන්වාදෙමින් ස්වකීය කතා වියමන ආරම්භ කරයි.
සැබැවින්ම, එලෙස ස්ත්‍රී-පුරුෂ ලක්ෂණ ද්විත්වයම දරන්නා වූ උභයලිංගික සාහිත්‍ය කෘතියක් පැවතිය හැකිද? "අර්ධ නාරි" නවකතාවේ ආකෘතිය සේම අන්තර්ගතයද ඒ බවට සාක්ෂි දරයි. මෙහි ආකෘතිය පොදු ලාංකීය පාඨකාගාරයට යම් තරමක් දුරස්ථව පවතින 'චයිනීස් පෙට්ටි' (Chinese Box) ආකෘතිය ගනී. එනම්, එක් පෙට්ටියක් තුළ තවත් පෙට්ටියක්, එම පෙට්ටිය තුළ තවත් පෙට්ටියක් ආදී වශයෙන් බහාලන්නා සේ එක් අන්දරයක් තුළ තවත් අන්දරයක්, එය තුළ තවත් අන්දරයක් ආදී වශයෙන් රාමුගත ආඛ්‍යානයකට (frame narrative) මෙය ගොඩනැගී ඇත. මීට පෙරාතුව, එමිලි බ්‍රොන්ටේගේ "වදරින් හයිට්ස්"(Wuthering Heights), මේරි ෂෙලීගේ "ෆ්‍රෑන්කන්ස්ටයින්" (Frankenstein) ආදී කෘතිවල සිට අරාබි නිසොල්ලාසය සේම පෙරදිග පංච තන්ත්‍රයේද මෙකී ලක්ෂණය දැකගත හැකිය.
එමෙන්ම, පෙරදිග පන්සිය පනස් ජාතක හරහා නිරූපණය කරන්නේද ලිංගිකත්වයේ ප්‍රේරණයන් (drives) පසුපස කිසිදාක නිම නොවන හඹා යාමක නිරත වූ සත්ත්වයන්ගේ ජීවිත අන්දරයන් හා සබැඳුනු පරිකල්පනීය විශ්වයකි. ඒ ආකාරයෙන්ම, අපට "අර්ධ නාරී" කෘතිය හරහා එක් අතෙකින් හමුවන උමයංගනා නම් සංක්‍රාන්ති ලිංගිකාවියද, නතාෂා නම් සමසරාගික ගැහැනියගේ චරිතය සහ ඇගේ රුවට පෙමින් බැඳුනු හාමුදුරුවන්ගේ චරිතයද එකිනෙකා හා වියවුල්සහගත මකුළු දැලක් සේ බැඳුනු ශෘංගාර කතාන්දරයක් පාඨකයාට සම්මුඛ කරයි.
කතාවේ මුල් අර්ධය තුළ මුනගැසෙන නතාෂා නම් ගැහැනියගේ ලාලසා දනවන රූපකායට ආසක්ත වූ හාමුදුරුවන්ගේ අන්දරය මට එක්වරම සිහි ගැන්වූයේ සයිමන් නවගත්තේගමගේ "ප්‍රේත වස්තුව" කෙටිකතාවයි. පෙර ආත්මභාවයන්හිදී සිදු කළ අකුසලයන් හේතු කොටගෙන ප්‍රේතාත්ම බවට රූපාන්තරණය වූ මිනිස් ජීවිත හරහා අසන්නාට පණිවුඩයක් ලබා දීමේ අටියෙන් නිමැවුනු මෙකී බෞද්ධ කතා කලාව විසින් දනවන්නා වූ ප්‍රේත රසය සයිමන්ගේ සේම කේ.කේගේ සාහිත්‍යයටද පොදු බැව් පෙනී යයි. සයිමන්ගේ එකී කෙටිකතාව තුළ කියැවෙන්නේ එක් පුණ්‍යවන්ත භික්ෂුවක් සාරසුබාවට කිරි පීදෙන කෙතක් හා එහි වැඩෙහි යෙදෙනා ගැහැනියක් දක්නා කල රාගයෙන් බැඳී, පන්සාලිස් වසරක් තමා ආත්ම විමුක්තිය උදෙසා සිදු කළ තවුස් දම් බිඳගෙන, ඉනික්බිති ඇගේ ස්වාමියාට රහසෙන් ඈ හා රමණයේ යෙදීමේ අකුසලය නිසා, කෙමෙන් ෆ්‍රාන්ස් කෆ්කාගේ "රූපාන්තරණ" (Metamorphosis) නවකතාවේ කුරුමිණියෙකු බවට හැරුණු ග්‍රිගෝර් සම්සා සේ ප්‍රේතයෙකු බවට රූපාන්තරණය වීමේ කතාවයි. මේ අන්දමින්ම, "අර්ධ නාරි" කෘතියේ භික්ෂුව ප්‍රේතයෙකු සේ තමාගේ රති දොළ සංහිඳින ස්ත්‍රියගේ නිවසට මුලින් ඇතුළු වන්නේ ඇගේ කිළුටු රෙදි සොරාගනිමින්, ගිරි දේවියගේ කිළුටු රෙදි පසුපස ඈ වෙසෙන ඉම සොයා ගිය බව සැලකෙන දළ කුමාරයා සේ ලිංගික තෘප්තිය ලැබීමටයි. එකම වෙනස වන්නේ "අර්ධ නාරි" තුළ එම සිදුවීම සමකාලීන තාක්ෂණික ධනේශ්වරය හා බැඳුනු ලෝකයට ගෙන ඒමය. එමතු නොව, සයිමන්ගේ කතාවේ භික්ෂුව, ගැහැනියට පෙර ඈ වැඩ කරමින් සිටි කෙතට රාගයෙන් බැඳීමද සංකේතාත්මක බැව් සියුම් නිරීක්ෂකයෙකුට පෙනී යන කරුණකි. මන්ද යත්, බෞද්ධයන්ගේ දීඝ නිකායේ "අග්ගඤ්ඤ සුත්‍රයේ" සඳහන් වන අන්දමට, අපගේ ලෝකය ආරම්භයේදී ආභස්සර බඹලොවෙන් එන ජීවීහු මෙලොව රස පොළොව දිවගාමින්, එහි වැඩෙන බිම්හතු, බාදාලතා ආදී වැල් ආහාරයට ගනිමින් මෙම භූමිය හා රාගයෙන් බැඳී එහි වැටකොටු බෙදාගත්තෝය. සේකරගේ "ප්‍රබුද්ධ" කාව්‍ය සංග්‍රහයේ තැනෙක එකී පුරාණෝක්තිය අපූරුවට, මිනිස් සමාජයක වැටකොටු බෙදීම, අතිරික්තය හා ප්‍රාග්ධනය ඇති වීම පිළිබඳ තියුණු ඉඟියක් ලබා දීමට භාවිත කෙරේ. කෙසේ නමුදු, එලෙස ශරීර රහිත වූ එකී ජීවීන් නිසි ලිංගික අනන්‍යතාවක් සහිත මිනිස් සිරුරක් ලබා ගැනීම දක්වා පරිණාමය සිදු වන්නේ ඒත් සමගය.
එහෙත්, කේ.කේ. සමන් කුමාරගේ "අර්ධ නාරි" තුළ හමුවන උමයංගනාගේ චරිතය, මුලින් අරුන්දතී රෝයිගේ The Ministry Of Utmost Happiness (පරම සන්තෘප්තියේ අමාත්‍යංශය) කතාවේ හමුවන අන්ජුම් නම් ප්‍රධාන චරිතය මෙන්, ගැහැනු හා පිරිමි අවයව දෙකම සහිත උභයලිංගිකයෙකුව (hermaphrodite) සිට පසුව ශල්‍යකර්මයකින් ස්ත්‍රී අනන්‍යතාවක් ලබාගත්තියකි. රචකයා ඊට සමාන්තරව, මා මුලින් සඳහන් කළ, ඇපලෝ දෙවියාගේ අන්ධ අනාවැකිකරුවා වූ 'තිරේසියස්'ගේ කතාවද කියාපාන්නේ එහි සුසම්බන්ධය පාඨකයාට දනවමිනි. හෙසියඩ් නම් ග්‍රීක කවියාට අනුව සෙලීන් කන්දේ සැරිසරන තිරේසියස්ට රමණයේ යෙදෙන සර්පයන් යුගලක් හමුවේ. ඔහු, ඉන් හැපින්නට පහර දීම නිසා හේරා නම් මව් දෙවඟන ඔහුව වසර හතකට ස්ත්‍රියක් බවට පත් කර දඬුවම් කළාය. වසර හතකට පසුව නැවත මගදී හමුවන සර්ප යුගලෙන් පිරිමි සර්පයාව මැරීමෙන් අනතුරුව ඔහු යලි පුරුෂ ස්වහාවයට පත් වූ බවද කියැවේ.
එලෙසින්ම, කතාවේ නාමය වන "අර්ධ නාරි" යෙදීමේදී පවා ස්ත්‍රී-පුරුෂ අර්ධයන් ද්විත්වයම නියෝජනය කරන ශිව දෙවියන් හා ඔහුගේ බිරිඳ වූ උමයංගනාව නිරූපණය වන 'අර්ධ නාරීශ්වර ශිව' රුවේ පුරාණෝක්තිය රචකයා මනාව යොදාගනී. එය උමයංගනා, රජීව්, භික්ෂුව හා නතාෂාගේ නූතන ජීවිත සමගද මනාව ගලපයි. එසේම එකී අර්ධ නාරිශ්වර ශිව රුව, ඩාවින්සිගේ මොනාලිසා සිතුවම එසේත් නැතිනම් පුරාණ ඊජිප්තු වැසියාගේ ලිංගික සශ්‍රිකත්වයේ දේවතාවිය වූ, පයෝධර මෙන්ම පුරුෂ ලිංගයක්ද ඇති අයිසිස් දෙවඟනගේ ප්‍රතිමාවන් සේ, මෙම ස්ත්‍රී-පුරුෂ අර්ධයන්ගේ සංහිඳියාව සාංසාරික සමබරතාවයට බලපාන අන්දම මනාව නිරූපණය කරයි.
එම අර්ධ නාරිශ්වර ප්‍රතිමාවෙන් නිරූපිත ශිව දෙවියන්ගේ බිරිද වූ උමයංගනාව සිහි ගන්වන මෙම කතාවේ එන 'උමයංගනා' නම් චරිතය, සිය සැබෑ දිවියේදී ශල්‍ය කර්මයකට මුහුණ දුන් සංක්‍රාන්තික ලිංගිකයෙකු ලෙස මුල සිටම තම සිරුරට අලුතෙන් එක් වූ ගැහැනු අවයවය සහ ඒ හා බැඳුනු නැවුම් හැඟුම් සමුදායත්, සුරතාන්තමය ලිංගික අද්දැකීම් ආදියත් සමග හාද වීමට දරන වෑයම ඉතා සියුම් ලෙස රචකයා විවරණය කරයි. කේ.කේ.සමන් කුමාර එය "මිනිත්තු එකොළහේ කතන්දරයේ" (Eleven Minutes) හමුවන මරියා නම් ස්ත්‍රිය සිය අඳුරු මහද්වීපයක් වන් සිරුර ගවේෂණය කරන හැටි ගැන පාවුලෝ කොයියෝ ලියා තැබූ ආකාරයට වඩා තියුණු ලෙස මෙම නවකතාවේ පිටු පුරා ලියා තබන බව කීම අතිශයෝක්තියක් නොවේ. එය ස්ත්‍රී සිරුරේ පවතින ඉඳිකඩු තුඩක් තරම් වූ කුඩා ඇමෙරිකා මහද්වීපය ලෙස "ව්‍යවඡ්චේදකයා" (The Anatomist) කෘතියේ හැඳින්වෙන 'ක්ලිටෝරසය' නම් අවයවය සොයාගත් කොලොම්බස් නම් මිනිසාට වඩා කුහුලකින් යුතුව රචකයා ගවේෂණය කරයි. එම ගවේෂණය තුළ කේ.කේ.ගේ 'සර්ප සාහිත්‍යයේ' අපට සුපුරුදු ලෙස මුනගැසෙන ස්ත්‍රීවාදීමය අරගලය නැතිවාම නොවේ. කතාවේ එක් තැනෙක උමයංගනා මෙසේ පවසන්නේ එබැවිනි; "උන්ට තියෙන පුරුෂ ලිංග දෙවියො දීපුවා, මගෙ ස්ත්‍රී ලිංගෙ මට දුන්නෙ දෙවියො නෙමේ. දෙවියන්ගෙ සැලසුම අපි හොරකම් කළා.කණපිට හැරෙව්වා."
එකී ස්ත්‍රීවාදීමය අරගලය දෙවියන්වහන්සේ විසින් මැවූ ඊඩ්න් උයන දක්වාද රචකයා රැගෙන යයි. මුල්ම මිනිසා වූ ආදම් සහ මුල්ම ගැහැනිය වූ ලිලිත් යන දෙදෙනාම නිමැවෙන්නේ ඊඩනයේ දූවිල්ලෙනි. එහෙත්, පසුව ලිලිත් දෙවියන්ට විරුද්ධව කැරලි ගැසීම නිසා ඈව පිටමං කර, දෙවියන්වහන්සේ ආදම්ගේ ඉල ඇටයකින් ඔහුගේ තනිකම මැකීමට ඊව් නම් ගැහැනියක් මැව්වේය. එහෙත්, ලිලිත් සමායෙල් යක්ෂයා හා නිදිවදිමින්, බාලගිරි යක්ෂණිය සේ දෙවියන්ගේ දරුවන් ලෙඩ කිරීමට පැමිණෙන්නීය. එසේම, පිරිමි සාතනීය සර්ප වේශයකින් ඊඩනයට විත් ඊව් නම් ගැහැනියව වශී කරගෙන ඈව දෙවියන් විසින් තහනම් කළ දැනුමේ පලතුර කන්නට පොළඹවන්නීය. එලෙස, ස්ත්‍රී වේශයක සිට පිරිමි සර්ප වේශයක් ගත් ලිලිත් නම් සංකේතය නැවතත් අපට සංක්‍රාන්ති ලිංගික සංඥාර්ථයක් ලබා දෙයි.
සැබැවින්ම, ලිංගිකත්වය යනු වර්ණාවලියකි(Spectrum). එහි එක් තැනෙක ඔබත්, තවත් තැනෙක මමත් සිටීමට පුලුවන. "අර්ධ නාරි" නවකතාවේ නතාෂාගේ චරිතය සිටින්නේ එහි 'ලෙස්බියන්'(lesbian) හෙවත් ස්ත්‍රී සමසරාගික කොටසේය. 'ලෙස්බියන්' යන නාමය ඉංග්‍රීසියට දායාද වන්නේම "ලෙස්බෝස්"යන ග්‍රීක දූපතේ නාමයෙනි. එම දූපතේ එකල සමසරාගික කතුන් විසූ බවද, එහි සිටි සැෆෝ නම් ප්‍රකට කිවිඳිය ගීතමය සමසරාගික කවි ලිවූ බවද මතයක් ඇත. කතාවේද, නතාෂාගේ සිරුර දෙස තාක්ෂණික නැරඹුම්කාමයෙන් බලා තෘප්ත නොවන භික්ෂුව, සිය චීවරය තුළ සැඟවුනු රාගී අසහනය පිට කරන්නට, සැෆෝ කිවිඳිය, එසේත් නැතිනම් සිය අඳුරු පෙම්වතියට හා සමසරාගී පෙම්වතාට සොනෙට් කවි ලියූ ශේක්ස්පියර් මෙන් කාව්‍ය රචනා කරයි.
කොහොම නමුත්, මෙලෙස සීමා බෙදා වෙන් කළ නොහැකි ලිංගික අනන්‍යතාවයන් සේම, මෙම රාග දැලේ පැටලුණු චරිත කිහිපය (විශේෂයෙන්ම පිරිමි චරිත) දකින සිහින පවා නිරීක්ෂණය ඉතා වැදගත් වේ. මන්ද ෆ්‍රොයිඩ් වැනි මනෝවිශ්ලේෂණවාදියෙක් පවා පැවසුවේ 'සිහින යනු මිනිසෙකුගේ අවිඥානයට ඇතුළු විය හැකි රජ මාවත' බවයි. ඉතින්, මෙහි පිරිමි චරිත දකින අවිඥානික සිහිනවලින් බොහෝ විට ප්‍රකාශ වන්නේ රමණය අතරතුර ඔවුන්ගේ සහ ලිංගික සහකාරියන්ගේ ලිංගික අනන්‍යතාවය කෙමෙන් මාරු වෙමින්, ලිංගිකත්වයේ පුරුෂ බලය ගැහැනුන් අතට යාමයි. එය යම් ආකාරයකට කාල් යුංග් වැනි චිකිත්සකවරයෙක් පෙන්වාදෙන 'ඇනිමාව' හෙවත් පිරිමියෙකුගේ යටිසිතේ පවතින ස්ත්‍රී ලිංගික අර්ධය සහ 'ඇනිමසය' හෙවත් ගැහැනියකගේ යටිසිතේ පවත්නා පිරිමි අර්ධය සිහි ගන්වයි. එය හරියටම, වර්ජිනියා වූල්ෆ්ගේ "ඕර්ලැන්ඩෝ" කෘතියේ වසර තුන්සීයක් ජීවත් වන ඕර්ලැන්ඩෝගේ චරිතය ක්‍රමිකව පිරිමි අනන්‍යතාවක සිට ගැහැනු අනන්‍යතාවකට මාරු වන අන්දමද සිහියට නගයි. එකී සංක්‍රාන්තික ලිංගික අනන්‍යතාවය, සිරුරේ උඩ කොටස පිරිමි හෝ ගැහැනියකගේ වූද, යට කොටස අවිනිශ්චිත වූද පෙරදිග සඳුකිඳුරන්, ලියකිඳුරන් ආදී සංකේත හරහාද නිරූපණය වේ.
එකල වික්ටෝරියානු දෘෂ්ටිවාදයන් විසින් මෙවන් වෙනස් ලිංගික අනන්‍යතා ඇත්තන් මානසික රෝගීන් ලෙස සැලකූ බැවින්, එවන් චරිත සිය නාට්‍ය තුළ සඟවා නිරූපණය කරන්නට ටෙනසි විලියම්ස් වැනි මහා නාට්‍යකරුවන්ට පවා සිදු විය. එහෙත්, මෙම "අර්ධ නාරි" කෘතිය ඊට වඩා නූතනවාදී නිර්භය ප්‍රකාශනයක් බව අවසාන වශයෙන් කිව යුතු වේ.

Tuesday, October 26, 2021

කේ කේ- එරික් ඉලයප්ආරච්චි- සිසිර කුමාර මහගමගේ කියවීම

 කේ කේ-     එරික් ඉලයප්ආරච්චි-  

සිසිර කුමාර මහගමගේ කියවීම



TIME code- 1.11.35  -1.49.25


https://www.youtube.com/watch?v=wMmI-mAojs0&ab_channel=NiroshaFernando